පැපරාසියා සඟරාවේ කතෘ සේපාල් අමරසිංහ මහතාගේ ලිපිද ඉන් සුවිශේෂයි. ඉතිං මාර්තු මාසේ පටං ගන්නකොටම ඒ මහතාට ලැබුණු එස්.එම්.එස් එකක් ගැන ලියපු ලිපියක් මෙසේ පලකරමි.
මචං සාදුලාගේ කෑදර වර්ගවාදය
2032 දී සිංහල ජාතියට වඩා මුස්ලිම් සීයට පනස් තුනක් වෙනවා. අපේ සිංහල රට උන්ට නීතියෙන් අයිති වෙනවා. දැන්මම මුස්ලිම් කඩවල්වලින් බඩු ගන්න එක නතර කරමු. හලාල් ලකුණ සහිත බඩු මිලදී ගැනීම වර්ජනය කරමු. උන්ට අපේ ඉඩකඩං විකුණන්න එපා. අපේ ගෑනු දරුවෝ තම්බින්ට බඳින්න දෙන්න එපා. එටිසලාට් වැනි ආයතන වලින් පල්ලි හදන්න විශාල වශයෙන් මුදල් දෙනවා. ෆැෂන් බග්, නෝලිමිට් වලින් රෙදි ගන්න එපා. අපේ රට බේරා ගමු. නියම සිංහලයෙක් නම් සිංහලුන්ට යවන්න.
ඉහත සටහන sms හෙවත් කෙටි පණිවුඩයකි. මේක මට ආවේ 0770747955 කියන ජංගම දුරකථන අංකයෙන්. මම අදටත් දන්නේ නෑ මේක එවපු පුද්ගලයා කවුද කියලා. මොනවා වුණත් ඒ කෙටි පණිවුඩේ අවසානෙට කරලා තිබුනු ඉල්ලීම වුණේ “ඔබ නියම සිංහලයෙක් නම් මේක සිංහලුන්ට යවන්න” කියලයි. මම කලේ ඒ පණිවුඩය කොළයක ලියාගෙන ඒක මකලා දැම්මා. ඒ එක්කම ඉහත අංකයට ආපසු පණිවුඩයක් යැව්වා. ඒකෙන් මම ඇහැව්වේ, “කවුද මේ බූරුවා?” කියලයි.
මම හිතන විදියට නම්, බූරුවෙකුට තරම්වත් මොළයක් තියෙන මනුස්සයෙකුට අර ඉහත සටහනේ කියලා කියන දේවල් වගේ ඒවා කියන්ඩ බැහැ. මොකද, ඔය වර්ගවාදය කියන දේ පිළිගත්තු අදහපු, ඒක මහ ලොකු දෙයක් විදිහට විශ්වාස කරපු මිනිස්සු හිටියෙ මේ ලෝකය ඉතා නොදියුණු කාලවලයි. එත් පස්සේ නූතන කාලෙදිත් ඔය වර්ගවාදය ජාතිමාමකත්වය, ජාතිවාත්සල්‍යය වගේ අලංකාර වචනවලින් ඉස්සරහට ආවා. හැමදාම උදේට ගුවන් විදුලියෙන් දේශාභිමාන ගීත ප්‍රචාරය වීම සිද්ධ වුණේ ඒකයි.
රණබිම මැරුණේ සිංහලයෙක් නම්
පපුවෙයි වෙඩි සළකුණ ඇත්තේ
සතුරට ළය දී මිස මැරුණේ නැහැ
ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ
ඒ කියන්නේ සිංහලයො විතරයි දුවන්නේ නැත්තේ, අනිත් සේරම දුවනවා කියලයි. ඒ සිංදුවෙන් කියන්නෙ. ඉතිං මොකක්ද මේ වර්ගෝත්තමවාදය කියන්නේ? වර්ගවාදය කියන්නේ Racism ඒ කියන්නේ, තමා අයත් වර්ගය පමණක් මේ ලෝකයේ පැවතිය යුතුයි කියන අදහස. නමුත් වර්ගෝත්තමවාදය කියන්නේ, Racial discrimination ඒ කියන්නෙ, තමන් අයත් වර්ගය මුළු ලෝකයෙන්ම ඉහළම වර්ගය යැයි ඇදහීම, හිට්ලර්ට තිබුණෙත් මේ ලෙඩේම තමයි. මේක මානසික රෝගයක්. මොකද, ඉතාම සරලව මේ ලෝකයේ විශ්වයේ පැවැත්ම ගැන තේරුම් ගන්නට පුළුවන් සාමාන්‍ය කෙනෙකුට වුණත් තේරෙනවා තමා සහ වටා ඉන්න අනිත් වර්ගවලට අනිත් ආගම්වලට අයත් මිනිස්සුත් අපි වගේම මිනිස්සු බව. අපි කොහොමද ඒ අයගෙන් උසස්වීමක් ලබලා වෙනස් වෙන්නේ? එහෙම වෙන්න බැහැ. අපි වෙනස් වෙන්න පුළුවන් සංස්කෘතිකව විතරයි. සංස්කෘතිකව අපි අතර තිබෙන වෙනස්කම් නිසා තමයි, මේ ලෝකයේ විවිධ වර්ණවලින් ලස්සන වෙලා තියෙන්නෙ. ඒත් එතැනදී කිසිම වර්ගයක් තවත් වර්ගයකින් උසස් හෝ පහත් කියන වර්ගීකරණයකට අනුව වෙනස් වෙන්නේ නැහැ. එහෙම උසස් හෝ පහත් විදිහකට මේ වෙනස සිද්ධ වෙනවා කියලා හිතන අයට තියෙන්නේ මානසික රෝගයක්. ඒක අද මේ භෞතිකව දියුණු වුණු ලෝකයේ මේ කතිකාව ගැන දන්න බොහෝ අය හොඳින්ම දන්න දෙයක්. ඒකට කියන්නෙ, Zසීනොෆෝබියා Xenophobia කියලයි.
Zසීනොෆෝබියා කියන්නෙ, තමාට පිටස්තර ආගන්තුක දේවල්වලට තියෙන බිය, අකැමැත්තයි. ඒ නිසා ඒකට අපට අන්‍ය භීතිකාව කියන නම සිංහල තේරුම විදිහට කියන්න පුළුවන්. මේ අන්‍ය භීතිකාව ගොඩනැගෙන්නේම පුද්ගලයා තුළ අන්‍ය අය කෙරේ ඇති අකැමැත්ත හෝ ද්වේෂය පෙරදැරී කරගෙනයි. තමා අයත් කණ්ඩායම Ingroup ස්වකණ්ඩායම සහ අන්‍ය කණ්ඩායම Outgroup අතර ඇති වාර්ගික, ආගමික හෝ වෙනත් තත්වයක් මූලික කරගෙනයි. මේ අන්‍ය භීතිකාව ඇති අයට මෙකී මානසික තත්වය ඇති වෙන්නෙ. ඒ මානසික අවපාත තත්වය සාධාරණීකරණය කරන්න තමයි ඔවුන් ඊට ආරක්ෂණ තාක්ෂණය හෙවත් Defense mechanism හැටියට විවිධ දේවල් ආරෝපණය කරන්නෙ. අපේ ජාතිය, අපේ ආගම, අපි බේරාගනිමු. අපේ මව්බිම, අපේ පොළව, අපේ අරක, අපේ මේක කිය කියා මෙවැනි පිස්සන් දඟලන්නෙ, ඉහත කිව්ව මානසික විකාරය නිසා බව අපි ඉතාම පැහැදිලිව තේරුම් ගන්නට අවශ්‍යයි. පෝලන්තයේ ඉපැදුණු බ්‍රිතාන්‍ය ජාතික හෙන්රි ටෆෙල් (Henri Tafel-1919 -1982) වැනි අය විග්‍රහ කළ සමාජ අනන්‍යතා න්‍යාය Identity Theory තුළ මේ තත්වය ඉතාම හොඳින් විස්තර කරලා තියෙනවා. සමාජ විද්‍යාවේදී Sociology සහ සමාජ මානසික විද්‍යාවේදී Social Psychology මේ දේවල් ගැන විස්තරාත්මකව සාකච්ඡා කෙරුණත් මේ ශ්‍රි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ එහෙම අත්‍යවශ්‍ය දේවල් කිසිම උසස් අධ්‍යාපන ආයතනයක උගැන්වෙන්නෙත් නැති නිසා මේ දේවල් අපට අහන්න දකින්න කියවන්නට ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි, අර බොදුබල සේනාව වගේ අන්තවාදී මානසික රෝගීන් කරන දේවල් ඇතුළෙ තියෙන සමාජ විද්‍යාත්මක හෝ මනෝ විද්‍යාත්මක හරය ගැන මේ රටේ සාමාන්‍ය මිනිසුන්ට පැහැදිළිව දැනගන්නට නොලැබෙන්නෙ. ඒ නිසා තමයි පැපරාසියා ඔබට මේ දේවල් මේ විදියට පහදලා දෙන්නට උත්සාහ කරන්නෙ.
අපි අයෙත් බලමු අර කෙටි පණිවුඩය දිහා…
2032 දී මුස්ලිම් වර්ගය සියයට පනස්තුනක් වෙනවලු. ඉතිං ඒකට අපි මොනවා කරන්නද? අපට ඒ මිනිස්සු ළමයි හදන එක නවත්වන්ඩ බෑ. ඒ මුස්ලිම් මිනිස්සු බහුතරයකට වෙළඳාම් කරලා සල්ලි තියෙවා. ඒ හින්දා ඒ අය ළමයි හදනවා. සමහරවිට එක පිරිමියෙක් කාන්තාවෝ තුන් හතර දෙනෙකුට ළමයි හදනවා. ඒක ඒ අයගේ වර්ගයේ, ආගමේ හැටි! ඉතින් ඒකට අපි මොනව කරන්නද? අපට කරන්ඩ පුළුවන් එක දෙයක් තියෙනවා. ඕනෙ නම් අපටත් ඒ වගේ ළමයි හදන්ඩ පුළුවන්. කවුරුත් එපා කියන්නේ නෑ. හැබැයි සිංහල බහුතරයකට තියෙන ප්‍රශ්නෙ තමයි ඒ ගොල්ලො ඒකට කැමති නෑ. ඒගොල්ලන්ට ඕනෙ අතිසාර්ථක ආතල් ජීවිතයක්. ළමයි එකයි වැඩි වුණොත් දෙකයි. ඒ විදියට පරම්පරා දෙක තුනක් දැන් ඇවිල්ලා පස්ස බලනකොට තමයි අර පිස්සො කට්ටියට මේක දැං පෙනිලා තියෙන්නෙ.
හැබැයි මේක සෝම හාමුදුරුවෝ මීට කලින් කිව්වා. උන්වහන්සේ කිව්වේ, ඔය ඇත්තොත් අර මුස්ලිම් අය වගේ ළමයි හදන්ඩ කියලයි. ඒත් ඒක කරන්න තරම් සාර්ථක වටපිටාවක් සිංහල සමාජයේ නැති එකට මුස්ලිම් මිනිස්සු පලි නැහැ. එක සිංහල මිනිහෙක් අවුරුද්දකට බොන අරක්කු වලට වියදම් කරන සල්ලි එකතු කරලා බැලුවොත් වෙලා තියෙන්නේ මොකක්ද කියලා තේරෙයි. මුස්ලිම් මිනිස්සු අරක්කු බොන්නෙ නැහැ. ඉතින් ඒක ඒ මිනිස්සුන්ගෙ වරදක් නෙමෙයි. සිංහල මිනිස්සුන්ටත් තියෙන්නෙ අරක්කු නොබී මුස්ලිම් මිනිස්සු වගේ දියුණු වෙන්නයි. ඒත් මොන සිංහල බෞද්ධයාද ඒක කරන්න කැප වෙන්නේ? අනික ලංකාවේ ප්‍රකට රේස් බුකිකාරයෝ වන සුමතිපාලලා බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිකම් දැරීම ගැන මේ බොදුබල සේනාවට ප්‍රශ්නයක් නැද්ද කියන එක.
ඊළඟට කියනවා, මුස්ලිම් කඩවල් වලිං බඩු ගන්න එක නවත්තන්ඩ කියලා. ඇයි ඒ? කඩෙකින් බඩු ගන්න පුද්ගලයෙකුට වැදගත් වෙන්නෙ ඒ කඩේ අයිතිකාරයාගේ වර්ගය, ආගම නොවේ. ඒ අදාළ පාරිභෝගික භාණ්ඩ නියම ප්‍රමිතියට සහ නියම මිළ ගණන් වලට තියෙනවද? කියන එකක්. ඒ වගේම ඒ වෙළඳ ව්‍යාපාර කරන අය මොනතරම් විනයානුකූල ද සහ මිත්‍රශීලීද කියන වගේ දේවලුයි. ඒ අතින් බැලුවහම අපි අත්දැකීමෙන්ම දන්නවා ලංකාවේ තියෙන වෙළදසැල් අතුරින් ඉතාම විනයානුකූල, මිත්‍රශීලී සහ වගකිවයුතු විදිහට තමන්ගේ වෙළඳාම කරන අය තමයි මුස්ලිම් වෙළෙන්ඳන්. ඉතින් ඒ හින්දා, කවුරුත් කිසිම භේදයක් නොබලා ඒ අයගේ වෙළදසැල් වලට යනවා. යනවා නෙමෙයි ඇත්තටම යැවෙනවා. ඒක කෑම කන හෝටලයක්ද, රෙදි කඩයක්ද, වෙන මොන මොන දේ විකුණන තැනක් වුණත් කවුරුත් ඉතා කැමැත්තකින් ඒ මුස්ලිම් වෙළදසැල් වලට යන්නෙ ඒකයි. ඉතින් ඒකට සියළු බෞද්ධ වෙළෙන්ඳන්ට කරන්න තියෙන්නේ, මේ විදිහට ඉතාම පහත් ගෝත්‍රික ඉල්ලීම් බලපෑම් කරන එක නෙමෙයි. තමුන්ගේම වෙළඳාම් ක්‍රමයත් ඒ විදිහේ සාධාරණ මිත්‍රශීලී වෙළඳාමක් බවට පත් කර ගන්න එකයි.
ඊළඟට කියනවා, අපේ ඉඩකඩං උන්ට විකුණන්න එපා කියලා. ඉතින් ඇයි ඉඩකඩම් විකුණන්න වෙන්නේ? අපි දන්න විදිහට නම් තමුන්ගේ ඉඩකඩම් විකුණන්නට සිද්ධ වුණු සෑම සිංහල බෞද්ධ පවුලකටම සිද්ධ වුණේ ඉතාම පැහැදිළිව තේරුම් ගන්නට පුළුවන් සරල කාරණා ටිකක්. ඒවා තමයි. එක්කො ගෙදර මහ මිනිහා නොසෑහෙන්න බොනවා. නැත්තම් හම්බ කරන සල්ලි වලින් රේස් දානවා හෝ බූරු ගහනවා. එහෙමත් නැත්තං තමන්ගේ ආදායමට නොගැළපෙන විදිහට තවත් ගෑනුන්ට වියදම් කරනවා. ඔය සේරම නෙමෙයි නම්, ඒ ගෙදර පුතෙක් හෝ දෙන්නෙක් කුඩු ගහනවා. එක්කො තාත්තා කුඩු ගහනවා. ඉතිං කලක් මෙහෙම ගත වෙන කොට ඉබේටම තමුන් ඉන්න ඉඩම විකුණවා ඇරන්න වෙන කරන්න දෙයක් නැති වෙනවා. එතකොට ඒ ඉඩම සල්ලි වලට ගන්න ඉන්නේ මුස්ලිම් මිනිස්සු තමයි. මොකද ඒ අය අර කියන පරිහානි වෙන දේවල් නොකරන නිසා ඒ අය ඉන්නේ දියුණු තත්වයකයි. ඊට සාපේක්ෂව අනිත් සිංහල අයත් ඉන්නේ දුර්වල තත්වයකයි. ශක්තිමත් සිංහල බෞද්ධයෝ සේරම ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇමෙරිකාව, එංගලන්තය වගේ රටවල තමන්ගේ මහන්තත්ත කම් රකිමින් සිංහල කතා කරන්නවත්, දන්නේ නැති සිංහල බෞද්ධ දරුවන් හදාවඩා ගනිමින් ඉන්නවා. ඉතින් මේ වගේ මායා ලෝකයක හිරවෙලා ඉන්න සිංහල බෞද්ධයන්ට මේ රටේ භුමිය ක්‍රම ක්‍රමයෙන් අහිමි වෙන එක මුස්ලිම් මිනිස්සුන්ගේ වරදක්ද? ඒක පුදුම අසාධාරණ චෝදනාවක්.
ඊළඟට කියනවා, අපේ ගෑනු දරුවෝ තම්බින්ට බඳින්න දෙන්න එපා කියලා. මටත් කෙල්ලෝ තුන්දෙනෙක්ම ඉන්නවා. ඒත් ඉතින් උන් බඳින්නේ තම්බිද, සිංහල, දෙමළද ඉංගිරිසිද කියලා තීරණය කරන්නේ ඒ ළමයි මිසක් මම නෙමෙයි. මොකද මේ 2013 මිසක් 1913 නෙමෙයි. වැඩිහිටි වයසට පත්වුණු ළමයි තමන් විවාහ වෙන්නෙ කා එක්කද කියලා තීරණය කරන්නෙ ඒ අයමයි. අනික ඉන් ඒවා නවත්තන්ඩ ඒ ළමයින්ගේ ලිංගික අවයව තියෙන්නෙ අපේ අල්මාරි පෙට්ටගං වල දාලා නොමෙයිනෙ. ඒ ළමයි ළඟමයි. ඒ හින්දා ඔය ගොං කතා කියන කොට ඒවා ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල්ද කියලත් හොඳට හිතලා බලන්ඩ වුවමනායි.
මේ කෙටි පණිවුඩයේ තවත් දෙයක් තියෙනවා. ඒ තමයි මුස්ලිම් පල්ලි හදන්ඩ උදව් කරනවා කියලා. සමහර වෙළඳ ආයතන එක්ක ගනුදෙනු කිරීම කරන්න එපාලු. එතකොට පාසල් හදන්න උදව් කරන්නෙ කවුද? මුස්ලිම් ව්‍යාපාරිකයො නෙමෙයිද? මොකද්ද ඒකේ තියෙන වැරැද්ද?
ලංකාවේ තියෙන රෙදි පිළි සාප්පු අතරින් නොලිමිට් සහ ෆැෂන් බග් කියලා කියන්නේ පළමුපෙළේ ජනප්‍රිය වෙළඳ ආයතන. ඒවායින් මේ රටේ මිනිස්සු ඇඳුම් පැළඳුම් මිළට ගන්නෙ ඒවා අයිති අය මුස්ලිම්ද සිංහලද දෙමළද කියලා හොයල බලලා නෙමෙයි. ඒ ආයතන ජනප්‍රිය වුණේ මේ රටේ මිනිස්සුන්ට සාධාරණ වෙළඳාමක් කරලා මිනිස්සුන්ගේ හිත දිනා ගත්තු හින්දයි. ඉතින් ඒකට අපි ඉරිසියා කරලා මේ විදිහේ දුෂ්ඨ පණිවුඩ යවලා ඒ ආයතන විනාශ කරන්ඩ උත්සාහ කරන එක නෙමෙයි අපි කරන්ඩ තියෙන්නෙ. ඒ අය දියුණු වීමේ රහස මොකක්ද? කියලා හොයලා ඒ රන් රහස අපේ වෙළදාම් සංකල්ප වලටත් ඇතුළු කරගෙන අපිත් දියුණු වීමයි. ධනවාදයේදී වෙළඳාම කියන්නෙ ඒකාධිකාරයක් නෙමෙයි. තරඟකාරි දෙයක්. ඒ තරඟයට මුණ දෙන්නට පුළුවන් කමක් නැති අය අදක්ෂයි. කියලා කියන්න වෙන්නෙ. එහෙම නැත්තම්, ඒ තරගයට කැමැති නැති අයත් ඉන්න පුළුවන්. ඒ කොහොම වෙතත් වෙළඳාම් කරනවා නම් ඒ තරඟයට මූන දෙන්නම සිද්ධ වෙනවා. දක්ෂ විදිහට ක්‍රමෝපාය නිර්මාණය කර ගන්නට සිද්ධ වෙනවා. ඒ වෙනුවට මේ වගේ ගෝත්‍රික කෙටි පණිවුඩ යවලා තමන්ගේ හිත ඇතුළේ තියෙන දුෂ්ඨ චේතාන්විත කාලකණ්ණි ස්වභාවය හෝ නොහැකියාව ප්‍රදර්ශනය කරන එක මේ තරම් දියුණු ලෝකයක් ඉදිරියේ ලැජ්ජාවට පත්විය යුතු කාරණයක් කියලයි අපි නම් හිතන්නෙ.
මතකනේ, මහත්මා ගාන්ධි ඉංගිරිසියට විරුද්ධව එදා ඉන්දියාව පුරා ඇති කරපු “ස්වරාජ් ව්‍යාපාරය”. ඒ යටතේ “ස්වදේශි ප්‍රතිපත්තිය” ක්‍රියාවට නගන්නට ගාන්ධි කටයුතු කළා. ඉන්දියාවේ මිනිස්සුන්ට කිව්වා. බ්‍රිතාන්‍යයෙන් ආනයනය කළ රෙදි පිළි හෝ පාරිභෝගික භාණ්ඩ වෙනුවට ඉන්දියාව තුළම නිෂ්පාදනය කළ “කාඩ්” හෙවත් “කදාර්” රෙදි පාවිච්චියට පෙළඹෙන්න කියලා. මිනිස්සු තම තමන්ගේ ගෙවල්වල කදාර් රෙදි වියාගෙන අඳින්න පුරුදු වුණා. පිටරට දේවල් නගරවල මැද ගොඩගහලා ගිනි තියලා පෙන්නුවා. ඒ වේලාවේ ඒ ජනතාව තුළ තිබූණු ස්වදේශානූරාගය. නමුත් මේ ක්‍රියාව පවා අද වර්තමානයට කොහොමටවත් ගැළපෙන්නේ නැති බව අර ගොංවංශයේ ගූගල් හා කොකාකෝලා වර්ජන ඉල්ලීම ඇපත් නැතුව ප්‍රතික්ෂේප වීමෙන් ඉතාම පැහැදිලිව පේනවා. නමුත් ගාන්ධි කවදාවත් ඉන්දියාවේ හින්දු මුස්ලිම් ජනයා අතර ඝට්ටනයක් නිර්මාණය කරන්නට කටයුතු කළේ නැහැ. ඒ වගේ ඉන්දියානු නිදහස් සටනට උර දුන්නු සර්ව මුසල්මානු panislamic ව්‍යාපාරයක් වුනු කිලාෆත් kilafat ව්‍යාපාර වෙනුවෙන් ගාන්ධි තමන්ගේ දායකත්වය දෙනවා. එදා මුස්ලිම්වරයෙකුට වත් නොලැබුණු විශාල ජනප්‍රියත්වයක් ගාන්ධිට ඉන්දීය දේශපාලනය ඇතුළේ මුල්කාලේදි හිමිවෙන්නේ එහෙමයි. ගාන්ධි ඉන්දියාව අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් කරගන්නට සටන් කළා මිසක් ඉන්දියානු හින්දුන් හා මුසල්මානුවනු අතර යුධ අවුලුවන්නට කවදාවත් කටයුතු කළේ නැහැ. සමහරවිට ඒ නිසාම වෙන්න ඇති එදා ජනවාරි තිස්වැනිදා (30) 1948 දවසෙදි “නතුරාම් ගොඩ්සෙ ” කියන අන්තවාදී හින්දු වර්ගවාදියාගේ වෙඩිපහරින් ගාන්ධිට තම ජීවිතය අහිමි වෙන්නේ.
ඉතින් ඒ අනුව නිකන් හිතලා බලන්න. එදා ගාන්ධි ගෙන ගිය ජනතා ව්‍යාපාරය සහ අද මේ බොදුබල සේනාව කියන අන්තවාදී වර්ගවාදීන් ගෙනියන කාලකණ්ණී වැඩපිළිවෙළ අතර මොනතරම් වෙනසක් තියෙනවද කියලා. ඇත්තටම බැලුවොත් මේ බොදුබල සේනාව කියන්නෙ, ගාන්ධි වගේ උතුම් අදහස් තිබුණු පුද්ගලයෙකුට සමාන වෙන සංවිධානයක් නෙමෙයි. මේ අය සමාන වෙන්නෙ. අර ගාන්ධිව ඝාතනය කළ අන්තවාදී හින්දුවා වන ගොඩ්සේ දැරූ මතවාදයටයි. ඒ හින්දා ඔය බොදුබල සේනාව කියන ගෝත්‍රික හමුදාවට අපි කියන්නේ නිකන් අපරාදේ ලෝකයා ඉදිරියේ වනචාරී ගෝත්‍රිකයෝ වෙන්නට උත්සාහ නොකර තමන්ගේ කණ්ඩායම යැයි හිතන සිංහල බෞද්ධයන්ට ඒ අයගේ අඩුපාඩු හදාගෙන ජීවිත දියුණු කර ගන්නට අවශ්‍ය අවවාද අනුශාසනා ලබා දෙන්නට වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලයි. එහෙම නූනොතින් ලංකාවේ බෞද්ධ භික්ෂුව සහ මචං සාදුලා අතර වෙනස සටහන් කරන්නට ඉදිරියේදී අමාරු වේවි. ඔය කෑදර වර්ගවාදය වෙනුවට තම රටේ ජනයාට මොළය පාදාගන්නට අවශ්‍ය මග පෙන්වීම කරනවා වෙනුවට අන්‍ය වර්ගවල මිනිසුන්ට තුච්ඡ ප්‍රහාර එල්ල කිරීම මොන පහත් වැඩක්ද?
ඇත්තටම මේ විදිහෙ බුද්ධ ධර්මයක් තියෙන්න විදිහක් නැහැ. මේ විදිහෙ දේවල් නිවැරදියි කියනා බුද්ධ ධර්මයක් තියෙනවා නම් ඒක හිස නැති කයකින් උපුටාගත් දෙයක් විය යුතුයි. ඒ කියන්නේ කවන්ධයකින් ගත් ධර්මයක් විය යුතුයි. නමුත් බුද්ධ කියන්නෙම බුද්ධියයි. හිස නැති කය පමණක් ඇති තැන ඇත්තේ බුද්ධවාදයක් නොවෙයි. කවන්ධවාදයක් හෙවත් කය අරමුණු කරගත් පෙළගැසීමක්. ඒ හින්දා නිර්මල බුද්ධ ධර්මය (බුද්ධ) කවන්ධ ධර්මයක් බවට පත් කිරීමෙන් වැළකෙන ලෙසයි අපි ඔය ඊනියා බොදුබල සේනාවේ මචං සාදුලාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ.
සේපාල් අමරසිංහ
පැපරාසියා සඟරාව, 2013 ජනවාරි- පෙබරවාරි කලාපය 2, 3 පිටු
- See more at: http://www.anvermanatunga.com/2013/03/01/anthawadee-sms/#more-3422
0 comments:
Post a Comment