Showing posts with label කොපි පේස්ට්. Sinhala Islam. Show all posts
Showing posts with label කොපි පේස්ට්. Sinhala Islam. Show all posts

ඉස්ලාමය පිලිබඳ යතාර්ථය සහ සත්‍යය

ලොව වඩාත්ම වැරදි අවබෝධයට ලක්වූ ධර්මය ඉස්ලාම් ධර්මයයි. සමහරු ඉස්ලාමයට ඇති බිය ලොව ඉස්ලාම් භීතිකාවක් ඇති කිරීමට තුඩු දී තිබේ. තවත් සමහරු ඉස්ලාම් ධර්මය ශක්තියක් ලෙස වර්ධනය වූ විට තමන්ගේ පැවැත්මට හානියක් වේ යැයි වැරදි ආකල්පයක් ඇතිකර ඉස්ලාමයට විරුද්ධව බොරු ප්‍රචාර ලොව පුරා පතුරවා ඉස්ලාමයට භයානක ප්‍රතිරූපයක් ගොඩ නැගීමට තැත් කරයි.
කෙසේ කවුරු මොනවා කලත් ඉස්ලාමය දිනෙන් දින ඉතා වේගයෙන් පැතිරෙන ධර්මය බවට පත්ව තිබෙන බව නම් රහසක් නොවේ. ඉස්ලාමිය සංකල්ප හා එහි ප්‍රතිපත්ති වැරදි ආකාරයට නිර්වචනය කිරීමට ඉස්ලාම් භීතිකා ඇති අය ක්‍රියාකළ ද කෙසේ හෝ නිවැරදි ඉස්ලාමය පුද්ගලයන් තුල ජනිතවීම වැළැක්විය නොහැකි බව දිනෙන් දින ඉස්ලාමයට ඇතුළු වන්නන්ගේ සංඛ්‍යා ලේඛන මගින් පැහැදිලිය. විශේෂයෙන් ඉස්ලාමය තුල කාන්තා හිංසනයක් මවා පෑමට විශාල ලෙස මහන්සිවන සියල්ලන්ගේ බලාපොරොත්තු සුන්වන ආකාරයට ඉස්ලාමයට අලුතෙන් ඇතුළු වන්නන්ගෙන් 75% කට වඩා කාන්තාවන් වීම ආශ්චර්යකි.එසේ නම් ඉස්ලාම් යනු කුමක්ද එහි ප්‍රතිපත්ති මොනවාද යන්නපිළිබඳව ඉතා කෙටි අධ්‍යනයක යෙදීම මෙම ලිපියේ අරමුණ වේ.

සම්පුර්ණ ජීවන මාර්ගයක්. සාමාන්‍ය ආගමක් නොවේ.

මුස්ලිම්වරු ලෝක ජනගහනයෙන් බිලියන 1.6 වන අතර එයින් 15%ක් පමණක් අරාබි ජාතිකයන් වේ.
Ø  ඉස්ලාම් යන අරාබි වචනය අවනතවීම සහ සාමය යන අර්ථය ගෙනදේ
Ø  එනම් අල්ලාහ්ට පමණක් අවනත වීම/කීකරුවීම/යටත්වීම.
Ø  අල්ලාහ්ට පමණක් අවනතවීම තුලින් තමන් තුල සාමය ඇතිවිය යුතු වන අතර තමන් භුක්තිවිඳින එම සාමය තම සමාජයටත් පැතිර විය යුතුය.
Ø  එනම් ඉස්ලාම් යනු අල්ලාහ්ට පමණක් සම්පුර්ණයෙන් අවනතවීම තුලින් සාමය අත්කර ගැනීමවේ.

ප්‍රතිපත්තිමය ජීවිතයක් ගත කිරීම

මුස්ලිම්වරයකු ඉස්ලාමයේ ප්‍රතිපත්තිවලට හා සාරධර්මවලට අනුව තම ජීවිතය සකස් කර ගන්නා තුරු නියම මුස්ලිම්වරය්කු නොවේ. ප්‍රතිපත්ති අවශ්‍ය ඇයි?

මිනිසා ප්‍රධාන වශයෙන් ප්‍රශ්න තුනකට පිළිතුරු සොයාගත යුතුය.

1.      මා මෙලොවට කොයි සිට පැමිණියේද?
2.      මෙලොව කුමක් කල යුතුද?
3.      නැවත මා යන්නේ කොහාටද?

මෙම ප්‍රශ්න වලට ඉස්ලාමය ඉතා පැහැදිලිව පිළිතුරු සපයයි.

1.      මා අල්ලාහ්ගේ මැවීමක් වන අතරම අල්ලාහ්ගේ කැමැත්ත පරිදී  මෙලොවට යවනු ලැබුවෙමි.
2.      මා අල්ලාහ්ගේ නියෝජිතයකු වන අතර ඒ නියෝජනත්වය නිසියාකාරව මෙලොව ස්තාපීත කල යුතුය. එබැවින් අල්ලාහ්ට පමණක් අවනත වී සාමයෙන් ක්‍රියා කල යුතුය.
3.      මගේ නියෝජනත්වය පිළිබඳව නැවත මා කැඳවා අල්ලාහ් විසින් විමසනු ලබයි. ඒ සඳහා සම්මානද පිරිනමනු ලබයි.

 අරමුණක් කරා ගමන් කිරීම -Objective of life

මෙලොව හා පරලොව ජයගැනීම මුස්ලිම් වරයකගේ ප්‍රධාන අරමුණ වේ. ඒ නිසා අල්ලාහ් විසින් අපට ලබාදී ඇති ජීවිතය ස්වභාවික ලෙස අල්ලාහ්ගේ සීමාවන්ට අනුකුලව සකස් කර ගත යුතුය. සීමාවන් යනු ස්වභාවයයි. මේ ලොව හා එහි ඇති සියලු වස්තුන් සමග මිත්‍රශීලීව ක්‍රියාකළ යුතුය. ඒවා නියෝජනය කල යුතුය. අල්ලාහ්ගේ මැවීම් වලින් මිනිසා ශ්‍රේෂ්ඨය. ඒ ශ්‍රේෂ්ඨත්වය රැක ගැනීම මිනිස් සම්භවයක් සහිත ජීවත්වීම වේ.

ස්වභාවධර්මයට පටහැනි නොවන ආකාරයට ජීවිතය සකස් කර ගැනීම - නියෝජිතයා

ලොව සියල්ල යම් අල්ලාහ්ගේ සැලැස්මකට අනුවක්‍රියාකරයි. එය ස්වභාවය වේ. ඒ ස්වභාවයට පටහැනිවන ආකාරයට මුස්ලිම්වරයකු ක්‍රියා නොකලයුතුය. ස්වභාවධර්මයට ආදරය කල යුතුය. එය නිකරුනේ දුෂණයට ලක් නොකළ යුතුය.

නබි තුමා වරක් මෙසේ පැවසුහ.
“ඔබ ගසක් සිටුවන අවස්ථාවේ මේ ලෝක විනාශය පැමිණියහොත්, එය නොතකා ගස සිටුවා නිමකරන්න.”

මිනිස් සම්භවයක් සහිතව ජීවත් වීම.

අල්කුරානයේ අල්ලාහ් පහත පරිදී අපට උපදෙස් දෙයි.
“පෙරදිගට හෝ බටහිරට මුහුණ හැරවීම ශීලයක් නොවේ. ශීලය වන්නේ අල්ලාහ්, කියාමත් දවස (ලොව අවසන් දිනය) හා මලායිකාවරු ආගම් හා නබිවරුන් කෙරේ විශ්වාසය පිහිටුවීම, අල්ලාහ් කෙරේ ස්නේහයෙන් ලේ ඥාතීන්, අනාථයින් දිළින්දන්, මගීන් හා යාචකයින් වෙනුවෙන් ස්වකීය වස්තුවෙන් විය පැහැදම් කිරීම, වහලුන් නිදහස් කරවීම, සලාත් හී නිරතව සකාත් ගෙවීමද වේ. තවද ඔව්හු පොරොන්දු වූවිට තම පොරොන්දුව ඉටුකරන,  දුෂ්කරතාවන්හිදීද දිළිඳු බවෙදීද, (සත්‍ය අසත්‍ය අතර) සටනේ දීද ඉවසිලිවන්ත වන්නොවෙති. ඔවුහු සත්‍යවාදීහුය. තවද බැතිමත්වූ අයද ඔවුහුමය.” ( 2: 177)

මෙසේ  ජීවත්වීමේදී එකිනෙකා සමග සම්බන්ධතා ඇතිකළ යුතුය. ඒ සම්බන්ධකම් තුලින් ඇතිවිය හැකි යහපත් දේ වුවද අයහපත් දේ වුවද ඉවසා විඳදරා ගත යුතුය. ඒ සඳහා පුහුනුව ලැබිය හැක්කේ ඊමාන් හෙවත් විශ්වාසය තුල සිටීමෙන් පමණක්ය.

නබි තුමා වරක් මෙසේ පැවසුහ.
මා මේ ලොවට යවනු ලැබුවේ යහ ගතිගුණ සම්පුර්ණ කිරීම සඳහා පමණක්ය” (අහ්මද්)

ඉස්ලාමයට අනුව මිනිසා විනයානුකූලව ධර්මය පිළිපැදිය යුතු අතරම  අල්ලාහ්ට හා හුදී ජනතාවට සෙනෙහෙවන්ත වීමෙහිලා නිරතුරු සැළකිළිමත් විය යුතුය. මෙහිලා අවශ්‍යතා සතරක් ඉදිරිපත් කෙරේ.
  1. අපේ ඊමාන් (විශ්වාසය) භක්තිව අව්‍යාජ විය යුතුය. අවංක විය යුතුය.
  2. සහෝදර ජනතාව වෙනුවෙන් දාන පරිත්‍යාග කළ යුතුය.
  3. සමාජ සංවිධාන යනාදියට ඇප උපකාර කරමින් හොඳ පුරවැසියන් විය යුතුය.
  4. සෑම විටකම සෑම මොහොතකම චිත්ත ස්ථාවරත්වය පවත්වා ගත යුතුය.
ඉස්ලාම් හී මානව හිත සුව පිණිස වූ මූලික අයිතිවාසිකම් රැසක් දැක්වේ. සෑම මොහොතකදීම ඊට ගරු කළ යුතුය. ඒවා පිළිපැදිය යුතුය. යථෝක්ත අයිතිවාසිකම් අත්කර ගැනීම උදෙසා නීත්‍යානුකූල රැකවරණය පමණක් නොව ඵලදායි සදාචාරාත්මක සැලැස්මක්ද ඉස්ලාමය ඉදිරිපත් කරයි. මෙසේ පෞද්ගලික හා පොදු යහපත පිණිස සිදු කරන්නා වූ සියල්ලක්ම සදාචාරාත්මක වශයෙන් යහපත් වේ. අල්ලාහ් කෙරේ දක්වන භක්තියට අතිශය වැදගත්කමක් හිමිකර දෙන ඉස්ලාමය ගතානුගතිකත්වයට වහල්ව සිටීමේ ක්‍රියාවට එරෙහිව අනතුරු හඟවයි.
මේ කරුණු ගොනුකර මුස්ලිම්වරයකු ඉස්ලාම්යතුල ස්තාපීත වීමට අල්ලාහ් විසින් අපට ප්‍රතිපත්ති පැහැදිලි කරදී තිබේ. ජීවිතය යහපත් කර ගැනීමට ප්‍රතිපත්තිමය ජීවිතයක් ගත කිරීමට නම් යම් ක්‍රියාපටිපාටියක් තුල සිට ක්‍රියා කල යුතුය. යම් ඉලක්කයක් කරා ගමන් කිරීමේදී ඒ සඳහා චිත්ත දෛර්යය හා චින්තන ශක්තියක් අවශ්‍යයි. එය ලබා ගත හැක්කේ මෙලොව හා එහි සියලු වස්තුන් මවා පාලනය කර පෝෂණය කරන සර්වඥ අල්ලහ්ගෙන් ලැබුණු මේ ප්‍රතිපත්ති තුලින් පමණයි.

ඉස්ලාම් ආගමික පිළිවෙත් හෙවත් ප්‍රතිපත්ති

ප්‍රථම ප්‍රතිපත්තිය එනම් ඉස්ලාමයට ඇතුලුවීමේ ප්‍රධාන දොරටුව විශ්වාසයේ ශාක්ෂි දැරීම වේ.
  1. දේවත්වයට සුදුස්සා අල්ලාහ් හැර වෙන් කිසිවකු සුදුසු නැත.
  2. මුහම්මද් නබි තුමා අල්ලාහ්ගේ පණිවිඩකරු වේ.
Ø  කවුරු හෝ පුද්ගලයකු අවංකව මෙම වදන පවසන්නේද ඔහු හෝ ඇය මුස්ලිම් ලෙස සැලකේ.
Ø  කවුරු හෝ පුද්ගලයකු මෙම විශ්වාසය සමග මියයන්නේද, ඔහු හෝ ඇය අල්ලාහ්ගේ පව් ක්ෂමාවට පත්‍රවුවිට ස්වර්ගයට ඇතුළුවේ.  

මා සාක්ෂි දරමී, දේවත්වයට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවකු නැත. නැවත සාක්ෂි දරමි මුහම්මද් නබි තුමා අල්ලාහ්ගේ පණිවුඩකරු හා ගැත්තා වේ, යනුවෙන් සාක්ෂි දැරීමේ අර්ථය පහත පරිදී පැහැදිලි කල හැකිය.

  v  අල්ලාහ්ට  පමණක් නැමදීම
  v  අල්ලාහ්ට පමණක් බිය බැතිමත්වීම
  v  අල්ලාහ්ට පමණක් බලාපොරොත්තු තැබීම
  v  අල්ලාහ්ට පමණක් ආයාචානා කිරීම
  v  අල්ලාහ්ට පමණක් සියල්ල ඉදිරිපත් කිරීම

කෙනෙකු ප්‍රතිපත්තිමය ජීවිතයක් ගත කිරීමට ඔහු ඒ ප්‍රතිපත්තිය පිළිබඳව විශ්වාස කල යුතුය. ඔහු ප්‍රතිපත්තිය තුලින් ගමන් කරන දර්ශනය මනාව පැහැදිලිකර ගත යුතුය. ඒ සඳහා ඔහුට මග පෙන්වීමක් අවශ්‍යයි. ඒ මග පෙන්වීම ඊමන්හි එනම් විශ්වාස කල යුතු කරුණු හය තුලින් ලබා ගත හැකිය.
 1. අල්ලාහ් පිලිබඳ විශ්වාසය
 2. මලාහිකාවරුන් පිලිබඳ විශ්වාසය
 3. ආගමික ග්‍රන්ථ පිලිබඳ විශ්වාසය
 4. ධර්ම දුතයන් පිලිබඳ විශ්වාසය
 5. විනිශ්‍ය දිනය පිලිබඳ විශ්වාසය
 6. කලාකද්ර්  - අල්ලාහ්ගේ කැමැත්ත පිලිබඳ විශ්වාසය.
(ඉහත විශ්වාසයේ කරුණු හය විස්තරාත්මකව පැහැදිලිකල යුතුව ඇතත් මෙම ලිපිය කෙටි කිරීම සඳහා කරුණු පමණක් සඳහන් කර ඇත්තෙමු)

දෙවනි ප්‍රතිපත්තිය සලාතය හෙවත් දේව නැමදුම


කවුරු හෝ පුද්ගලයෙක් ඉස්ලාමයට ඇතුළුවූ විගස නැමදුම අනිවාර්යවේ. මෙම නම්දුමෙහි අරමුණ පහත සඳහන් දේ මිනිසාට පුරුදු පුහුණු කිරීම් වේ.
  v  මිනිසා දුශ්ශීල හා පප්ක්රියාවන්ගෙන් ඈත්වීමට
  v  නියමිත පිලිවෙලකට හැඩගැසීමට (Discipline)  (විනයානුකුලවීමට,       කාලානුගතිකත්වය)
අල්ලාහ් දෙවියන් නැමදීමට කිසිම දෙයක් අවශ්‍ය නැත. වියදම් කල යුතු නැත. වෙලාවට අනුව ඕනෑම තැනක නැමදිය හැකිය.

තුන්වන ප්‍රතිපත්තිය සකාතය හෙවත් දුගීබද්ද

සකාතය යනු පවිත්‍රකරණය සහ දියුණුව යන අර්ථය ගෙනදේ. එනම් සකාත් ලබා දෙන්නා ගේ වස්තුව පවිත්‍රවන අතර සකාත ලබාගන්නා ඒ මගින් දියුණුවට පත්වේ. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ නැති බැරි අය ඇති හැකි අය බවට පරිවර්තනය කර සමාජය තුල ආර්ථික සමතුලිත භාවයක් ඇති කිරීමයි. මුස්ලිම් වරයකු තමන්ගේ වස්තුවෙන් යම් කොටසක් වසරක් ගතවූ පසු දුප්පත් ජනතාවට බෙදා දිය යුතුය.

සතරවන ප්‍රතිපත්තිය සවුම් හෙවත් උපවාසය

කිසිම දෙයක් නිකම් ලබාගත නොහැකිය. ඒ සඳහා වෙහෙස මහන්සි වී ක්‍රියා කල යුතුය. ඇසෙත් නැත්නම් පුහුණුවිය යුතුය. එසේ යහපත් දේ පරුදු පුහුණු වීමටත් අල්ලාහ් පිලිබඳ බිය භක්තිය වැඩි කර ගැනීමටත් මුස්ලිම්වරු සෑම මුස්ලිම් වරයකුම වසරකට එක මසක් සම්පුර්ණයෙන්ම මෙම පුහුණු වීමෙහි යෙදිය යුතුය. මෙය රාමදාන් මස උපවාසය ලෙස හැඳින්වේ. ඉරු උදාවේ සිට ඉරු බැසයන කාලය දක්වා, ආහාර පාන හා ලිංගික ක්‍රියාවලින් සම්පුර්ණයෙන්ම වැලකී සිටීම සහ තමන්ගේ පන්චේන්ද්‍රයා සියලුම පාපක්‍රියා වලින් ආරක්ෂා කිරීම උපවාසය ලෙස හැඳින්වේ.
 මෙහි ප්‍රධාන අරමුණ වන්නේ සෞක්‍යය, අධ්‍යාත්මිකය හා ආත්මය පාරිශුද්ධ කිරීම වේ.
අල්ලාහ් අල්කුරානයේ මෙසේ පවසයි.

“විශ්වාසවන්තයිනි, නුඹලාට පෙර සිටි අය කෙරෙහි පවරනු ලබුවාක්මෙන් නුඹලා කෙරෙහිද උපවාසය පවරා ඇත. මෙමගින් නුඹලාට බිය බැතිමත් විය හැකිය.”

පස්වන ප්‍රතිපත්තිය හජ් සඳහා මක්කමට පිටත්වීම/ වන්දනාගමන

පහසුකම් ඇති අය ජීවිතයේ එක්වතාවක් හෝ මෙම හජ් වන්දනා ගමනයෙහි යෙදීම සියලු මුස්ලිම්වරුන් කෙරෙහිම අනිවාර්යවේ. සෑමවසරකම මිලියන 2 කට වඩා වැඩි පිරිසක් එකම ස්ථානයට එක්වී මෙම විශ්ව ධර්මය වන ඉස්ලාමය හෙවත් සාමය ප්‍රාණවත් කරයි. මෙම මක්කාවේ පිහිටි අරෆා නම් ස්ථානයට ලොව සියලුදෙනා එක්වී අල්ලාහ් ඉදිරියේ සියල්ලන්ම එක හා සමාන බව උප්පු කරනු ලබයි. කළු සුදු, උස් පහත්, දුප්පත් පොහොසත්, කුලවත්-අඩු කුලයේ අය, උසස් බුද්ධිමතුන් - සාමාන්‍ය ජනයා, පාලක-පාලිත යනාදී මෙකි නොකී සියල්ලන්ම රෙදි කෑලි දෙකකින් තම විලි වසා එකම ස්ථානයේ කිසිම ලෞකික ආශාවකින් තොරව සර්වඥ සර්ව බලධාරී අල්ලාහ් දෙවියන්ගේ තෘප්තිය පමණක් අපේක්ෂාවෙන් තම දෑත් ඔසවා ප්‍රාර්ථනා කරන දර්ශනය දැකීම භාග්‍යයකි.


මිනිසා මැවීම් අතරින් ශ්‍රේෂ්ඨ වන අතර මෙලොව පාලනය කිරීමේ ශක්තිය ඇත්තාද වේ. මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට නම් සියලු අයහපත් කාරයන්ගෙන් වැලකි යහපත කරා ලඟාවිය යුතුය. එසේ යහපත් ජීවිතයක් ගත කිරීමේදී තමන් පමණක් වැරදි වලින් වැලකි සිටීම ප්‍රමාණවත් නොවේ. මුළු මහත් සමාජයම යම් කිසි පිළිගත් නිපුණත්වයෙන් යුත් කෙනකුගේ මගපෙන්වීම යටතේ ක්‍රියාකළ යුතුය. ඒ මග පෙන්වීම මෙලොව හා එහි සියල්ල මවා පෝෂණය කර රකින සර්වඥ, සර්ව බලධාරී අල්ලාහ් දෙවියන් විසින් අපට ලබාදී තිබේ. එය වූ කලී ශුද්ධවූ  අල්කුරානය වන අතර එම අල් කුරානීය ජීවිතය ප්‍රායෝගික වශයෙන් ජීවත්වී අපට මග පෙන්වීම සඳහා අල්ලාහ්ගේ වක්තෘ වරයාණන් වන මුහම්මද් තුමා තෝරා ගන්නා ලදී. එතුමා තම ජීවිතය තුලින් මනුෂ්‍ය ආත්මයක් ලබපු අප කෙසේ ජීවත් විය යුතුද යන්න ඉතා පැහැදිලිව තම ජීවිතය තුලින් මග පෙන්වා දුන්හ.

අප මෙම ලිපිය මගින් ඉස්ලාමය සාමකාමී ධර්මයක් වන අතර එසේ එය පිළිපැදීමට ප්‍රතිපත්තිමය ජීවිතයක් ගත කල යුතුබව පැහැදිලි කර ඇති අතර ඒ ප්‍රතිපත්ති මොනවාද යන්න ඉතා සරලව හඳුන්වා දී ඇත්තෙමු.
නමත් අප ප්‍රථමයෙන් සඳහන් කල පරිදී ඉස්ලාමීය භීතිකාවක් ඇතිකර ගෙන සිටින සමහර අන්තවාදී කොටස් ඉස්ලාමයට හා මුස්ලිම්වරුන්ට මඩ ගැසීම පිළිබඳව අප ඔවුන්ට අනුකාම්පා කල යුතුව ඇත. හේතුව ඔවුන් මඩ  ප්‍රචාර දියත්කරන සෑම වාරයකදීම ඉස්ලාමයම ජයගන්නා අතර ඉස්ලාමය කරා ජනතාව වැල නොකැඩී ඇදෙන බව ඔවුන් නොදන්නා රහසවේ.

මුස්ලිම්වරු වන අප මේ අවස්ථාවේ නොසැලී පහත පරිදී ඥානාන්විතව ක්‍රියා කල යුතුය. අපේ කෝපයට මුල්තැන නොදී බුද්ධියට මුල්තැන දිය යුතුය. එනම්.

ü  ඉස්ලාමය හඳුනාගැනීම - අප ප්‍රථමයෙන් ඉස්ලාමය හඳුනාගත යුතු අතර පසුව අන් අයටද එය හඳුනවා දීමට උත්සහ කල යුතුය.
ü  ඉස්ලාමිය සංකල්පයන් පිලිබඳ මනා අවබෝධයක් ලබා ගත යුතුය.
ü  මුස්ලිම් නොවන අයගේ ප්‍රශ්න වල පිළිතුරු සැපයීමේදී බුද්ධිමත්ව ක්‍රියාකළ යුතු අතර අප ආවේගශීලී නොවිය යුතුය.
ü  ඉස්ලාම් භීතිකාව මුහම්මද් තුමාගෙන්ම ආරම්භ වූ අතර ඒ සඳහා මුලික වුවන් වශයෙන් අබු ජහීල් සඳහන් කල හැකිය. ඔවුන් ඔබව ඉලක්ක කරන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය ඉස්ලාමයේ පණිවුඩය වලක්වා ගැනීමටය.
අල්ලාහ් කුරානයේ මෙසේ සඳහන් කරයි. – “ෆහින්නහු ලා යුකද්දීබුනක වලාකින්නල් ලාලිමීන බිආයාතිල්ලාහි යජ්හලුන්” - ඔවුන් ඔබව පෞද්ගලික ඉලක්ක කරන්නේ නැත. එනමුත් අපරාධ කරන්නෝ අල්ලාහ්ගේ ආයාත් අනපනත් බොරු යයි කියමින් ඒවා ප්‍රතික්ෂේප කරන්නෝ වෙති. ඔවුන් මේ පණිවුඩය ඉලක්ක කර තර්ජනය කරනවා. (6:33)
ü  අබු ජහල් /අබු ළහබ් - බොරුකීම්, අවලාද නැගීම, තර්ජනය කිරීම නබි තුමාගේ ඉතිහාසයේ අප කොතෙකුත් අසා ඇත්තෙමු. නබි තුමා ඔවුන්ට අනුකම්පා කල අතර ඔවුන්ට යහ මග ලැබීමට දුහා ප්‍රාර්ථනා කළහ.        
ü  සමහරු දැනුම ලබාගන්න ප්‍රශ්න කරන අතර තවත් සමහරු අපට විරුද්ධ වීම සඳහාම ප්‍රශ්න අසා අපහාස කරයි. ඔවුන් ප්‍රශ්නයක් සකච්චාකිරීමේදී එයට නිසි පිළිතුරු සපයනු ලැබූ විට වෙනත් ප්‍රශ්නයක් ගෙන එයි.
ü  ඉතා උණුසුම් සාකච්චාවකදී (serious Discussion) අනවශ්‍ය දේ කතා කරයි. විහිළු තහළු කරයි. අපව තරහ ගන්වන සුළු දේ පවසයි. මුස්ලිම්වර්යකු හැටියට වාචිකව අප දෝෂ දර්ශනයට ලක් නොකළ යුතුයි. අනවශ්‍ය කතා නොකලයුතුයි.අසභ්‍ය වචන පාවිච්චි නොකළ යුතුය. අපේ මේ මුවින් පිටවන වචන ඉතා පරිස්සමෙන් පාවිච්චි කල යුතුයි. හේතුව මේ මුවින් අප ආහාර ගන්නා අතරම මේ මුවින්ම අල්ලහ්වද අල්ලහ්ව ප්‍රසංශා කරනනෙමු . සුබ්භානල්ලාහ්/අල්හාම්දු ලිල්ලාහ් උඅනුවෙන් පවසන මුවින් අසැබි වචන පිටවීම වලක්වා ගත යුතුය.
ü  ඇයි ඔවුන් ඉස්ලාමයට පහර දෙන්නේ.  - මතක තබා ගන්න අද ලොව ඉතාම වේගයෙන් පැතිරෙන ධර්මය ඉස්ලාම් වන බැවිනි. ඒ නිසාම ඔවුන් තුල ඇතිවී තිබෙන ඊර්ෂ්‍යාව හා ක්‍රෝධය නිසාය.

ඉහත කරුණු පිළිබඳව අවධානය යොමු කර සාමකාමී පියවර පමණක් ගත යුතු අතර අපගේ අනවශ්‍ය උද්වේගය හෝ ආවේගයට ඉඩදී ඉස්ලාමය හා මුස්ලිම්වරුන් අභියෝගයට ලක් නොකරන මෙන් අල්ලාහ්ගේ නාමයෙන් මුස්ලිම්වූ ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු. 

අත හරින්න, වෙනස් වෙන්න!!!!!!!!!! ( හිජ්රත්)


මිනිස් ජීවිතය අස්ථාවරය, කෙටි කාලීනය, කරදර කම්කොටුලුවලින් පිරී දුෂ්කර ගමනකි. මෙය මනුෂ්‍යයන් අතර පොදුවූ මතයකි. සමහරු වර්තමානයේ අප සමඟම සිටී, නමුත් ඔවුන් ජීවත් වන්නේ නැත. ඔවුන්ව කිසි කෙනෙකු නොදනී ඔවුන්ට ජීවිතයේ කිසිම අරමුණක් නැත. සමහරු අප සමග සිටීමත් කරුමයකි.
"ඔවුන්ට හෘදයන් ඇත, නමුත් ඔවුන් එමගින් අවබෝධ කර නොගනිති.  ඔවුන්ට නෙත් ඇත නමුත් එමගින් ඔවුහු අවධායෙන් නොබලති. ඔවුන්ට සවන් ඇත නමුත් ඔවුන් එමගින් ශ්‍රවණය කර නොගනිති.ඔවුහු තිරිසන් මනි, නැත, ඔවුහු එයටත් වඩා පහත්ය." (ශු  අල් කුරානය 7:179)

මිනිසා තම ජීවිතය වරදවා තේරුම් ගත්තා පමණක් නොව ඔහු ජීවිතය ශාපයක් කොට සලකයි. හේතුව ඔහු තුල ඇති අත්තොමතිකත්වය, නොහැකියාව, කම්මැලිකම, බියගුලුකම, ප්‍රතිවිරුද්ධ බව, ඉවසීම නැතිකම හෝ අඥණභාවය සඳහන් කල හැකිය.
නමුත් ජීවිතය සුන්දර කිරීමටත්,  ජීවිතය ප්‍රයෝජනවත්ව ගත කිරීමටත් මනුෂ්‍ය ආත්මයක් ලැබූ අපට කලහැකිය. අපට පෙර ජීවත්වූ සමහර යහපත් මිනිසුන් තවමත් අප සමග කතා කරයි, සිනාවෙයි, අවවාද අනුසාශනා කරයි, කෙටියෙන් සඳහන් කරනවා නම් ඔවුන් අප සමග ජීවත් වෙයි. ජීවිතයේ අරමුණක් ඇති දුරදර්ශීව සිතන අයට මෙය පැහැදිලිව තේරුම් ගත හැකිය.
”විශ්වාසවන්තයිනි, ඉවසීමෙන් හා සලාතය ඉටු කිරීමෙන් අල්ලාහ්ගෙන් උදව් පතන්න. නියත වශයෙන්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමග සිටී.” (ශු අල්කුර්ආනය 2: 153).
මගේ මිත්‍රයෙක් කියූ කතාවක් මෙය තේරුම් ගැනීම සඳහා කෙටියෙන් පහත සඳහන් කරමි.
ඔහු නමින් හුසෛන්ය. හුසෛන් අවු 5ක් පමණ විදේශයක රැකියාව කරමින් යමක් කමක් ඉතුරු කරමින් කාලය ගෙවීය. දිනක් ඔහුගේ මිත්‍රයෙක්වූ අසාද් ඔහුට අදහසක් ඉදිරිපත් කළේය. එනම් කොපමණ කලක් විදේශයන්වල සිට කාලය ගත කරන්නද, ඇයි අපිට ලංකාවේ යමක් කරලා දියුණු වෙන්න බැරි? මේක ඇසු හුසෛන් කල්පනා කරන්නට විය. මෙහි යම් සත්‍යයක් තිබෙන බව හුසෛන්ටද වැටහුණී. නැවත අසාද්ට දුරකතනයෙන් කතා කල හුසෛන් යමක් ලංකාවේ කරන්න පුළුවන් නම් දන්නවන ලෙසද ඔහුට‍ ඒ සඳහා මුල් මුදලක් සොයාගත හැකි බව ද පවසන ලදී.
ටික කලකින් අසාද් යම් ව්‍යාපාරයක් පිළිබඳ දැනුම් දුන් අතර හුසෛන් ඊට එකඟව තම රැකියා ස්ථානයට අස්වීමේ ලිපිය බාර දුන්නේය. ප්‍රථමයෙන් රැකියා ස්ථානයේ එයට එකඟ නොවූ අතර හුසෛන් දැඩි ප්‍රතිපත්තිය මත ඔවුන් ඔහුට ලංකාවට යාමට ඉඩ දුන්හ. මෙය අරංචිවූ ඔහුගේ අනිත් සියලුම මිත්‍රයන් ඔහුට නැවත වාරයක් සිතා බැලීමට අවවාද දුන් නමුත් හුසෛන්ගේ දැඩි කැමැත්ත ලංකාවේ යමක් කිරීම වූ නිසා ඔහු සියල්ලන්ගේම අකමැත්ත මැද ලංකාවට පැමිණ අසාද් සමඟ ව්‍යාපාරයක් ආරම්භ කලා.
මෙසේ මෙම ව්‍යාපාරය කරගෙන යන අතරතුර දිනක් ඔහුගේ ගනුදෙනු කරුවකු චෙක් පතක් පෙන්වා එය බැංකුවෙන් හරවා යැවු බවටත් ඒ සඳහා මුදල් ගෙවන ලෙසටත් හුසෛන්ට දැනුම් දෙනා ලදී.  මේ බව විමසීමට අසාද්ට දුරකතනයෙන් කතා කලවිට එය වීසන්දී කර ඇති බව හුසෛන් දැනගත්තේය. සතියක් ඇතුලත තවත් ගනුදෙනු කරුවන් කිහිප දෙනෙකුම බැංකුවෙන් හරවා යැවු චෙක් පත් ඉදිරිපත් කරන්නට විය. අසාද්ව විශ්වාස කර චෙක් පත් කිහිපයකට හුසෛන් අත්සන් කල බවට පසක්වුයේ එවිටය.
අසාද් ආගිය අතක් නැත. සියලුම ගනු දෙනු කරුවන් වහාම මුදල් ගෙවන ලෙසත් නැත්නම් පොලිසිය යනබවත් තර්ජනයා කළහ.  කරකියාගත නොහැකි තැන හුසෛන් තමන්ගේ සියලුම දේ ගනුදෙනු කරුවන්ගේ චෙක්පත් සඳහා ගෙවීය. අවසානයට හුසෛන් නතර වුනේ හිස් අතිනි.

තිබුණු හොඳ රැකියාවත් අහිමිකරගත් හුසෛන් අතේ තිබුණු සියලුම මුදල් ව්‍යාපාරයට යොදවා බංකොලත් විය. තම බිරිඳයි දරුවන් දෙදනයි සමඟ හුසෛන් තමන්ගේ මාමන්ඩිගේ නිවසේ වෙසෙන්නට විය. දවසින් දවස හුසෛන්ගේ තත්වය බරපතල විය. කා  සමගත් කතා නොකර පවුලේ අය සමග රණ්ඩු දඹර කරගෙන කිසිම දෙයක් නොකර ජීවිතය කලකිරී පිස්සෙක් මෙන් අවුරුදු දෙකක් පමණ ගෙවන්නට විය. ඔහුගේ හිස මත ඉසිලිය නොහැකි බරක් තිබෙන බව ඔහුට දැණුනී.
ඔහු පැවසුවා අවසානයට මා හිජ්රත් කරන්න තීරණය කලා. සියල්ලම අත්හැර මගේ හිත සැහැල්ලු කර ගත්තා. ඒ පීඩාකාරී ජිවිතයෙන් සමු ගෙන අලුත් ජීවිතයකට යොමුවුණා.

මෙය ඇසු මා විමතියට පත් වුනෙමි. හිජ්රත් යනු මුහම්මද් නබි තුමා (ඔහුට ක්ෂාන්තිය හා සමාදානය අත්වේවා) මක්කා නගරය අතහැර මදීනා නගරයට යෑම නොවේද? නමුත් හුසෛන් තමන්ගේ ප්‍රශ්ණ, කරදර හා මානසික ආතතියෙන් මිදීමට ඔහු හිජ්රත් කල බවට පවසනවා.
මේ පිලිබඳ වැඩිදුරටත් අධ්‍යයනය කිරීමේදී ඔහු පැවසූ දේ සත්‍ය බව මට වැටහුණී. එනම් මුහම්මද් නබි තුමා (ඔහුට ක්ෂාන්තිය හා සමාදානය අත්වේවා) අවුරුදු 40ක් මක්කා නගරයේ කිසිම ප්‍රශ්නයක් නොමැතිව ජීවත් වූ අතර සත්‍ය ඉස්ලාම් දහම ප්‍රචාරය කිරීමේදී එතුමාට නොයෙක් විද හිංසා පීඩනවලට මුහුණ පාන්නට සිදුවිය. එතුමාගේ අනුගාමිකයන්ට හා ඔවුන්ගේ පවුලේ අයටද කුරෛශී ගෝත්‍රිකයන්ගේ තාඩන පීඩනවලට ලක්වෙන්නට සිදුවිය. වසර 13 ක කාලයක් තිස්සේ මෙසේ දරුණු වදහිංසාවන්ට ගොදුරුවූ ඔවුන් අල්ලාහ්ගේ අණ අනුව තමන්ගේ දේපල යානවාහන නෑදෑයින් සියල්ලන්ව අත්හැර යහපත් වෙනසක් උදෙසා වෙනත් අලුත්ම ප්‍රදේශයකට නික්ම යෑම හිජ්රත් වේ. අධිෂ්ඨානය හා අරමුණ නොවෙනස් විය. සියල්ල අත්හැර දැමුවේ අලුත් වෙනසකටය. එය ප්‍රථමයෙන් ඉතා කටුක යයි බැලු බැල්මට තිබුනද එය ජයග්‍රාහී මාවතේ ආරම්භය විය.
මෙසේ මක්කාවෙන් මදීනා නම් නගරයට යෑම ඉස්ලාමීය ඉතිහාසයේ ඉතා විශාල වෙනස්වීමකට තුඩුදුන් හේතුවක් විය. එනම් මදීනා වාසීන් මෙම අලුත් දහම එකසිතින් පිළිගත් අතර මක්කාවෙන් පැමිණි මුස්ලිම් වරුන්ට උදව් උපකාරද කළහ. මදීනාවේ ඉස්ලාමීය රාජ්‍යයක් ගොඩනැගුණි. අනේක විද හිංසා පිඩාවට ලක් කල මක්කාවසින්ව කිසිම යුද්ධයකින් තොරව කිසිම ලේ ගැලීමකින් තොරව ජයග්‍රහණය කිරීමට මුස්ලිම් වරුන්ට හැකිවිය. මේ හේතුව මත දෙවන කලීෆා හෙවත් දෙවන ඉස්ලාමීය අධිරාජ්‍යයා  මුහම්මද් නබිතුමාගේ (ඔහුට ක්ෂාන්තිය හා සමාදානය අත්වේවා) හිජ්රත් අවස්ථාව සිහිවීම උදෙසා ඉස්ලාමීය වසරට හිජ්රි වසර යන නාමය දුන්හ.
මා මිත්‍ර හුසෛන් ද දැන් ඉතා දියුණු තත්වයක සිටින අතරම අන් අයද දැනුවත් කිරීමේ ආයතනයක් පිහිටුවාගෙන සමාජ සේවයක්ද කරයි.
 ඒ පීඩාකාරී ජිවිතයෙන් සමුගෙන අලුත් මාවතක් නිර්භීතව තෝරාගත හැක්කේ??????? එනම් හිජ්රත් කල හැක්කේ අපෙන් කීයෙන් කීදෙනාටද ?????????????

ඉස්ලාමය හා කාන්තාව

ස්ත්‍රීන්

මිනිසා බිහිවීමට ස්ත්‍රීයක් අත්‍යවශ්‍යයි. නමුත් ප්‍රථම ස්ත්‍රීය බිහිවුයේ පිරිමියෙකුගෙනි. එනම් ආදම් (අලෙයි) තුමාගේ ඉල ඇටයෙන් ප්‍රථම ස්ත්‍රීය වන අවිව (රලි) තුමියව බිහිකරන ලදී. ඉන්පසු සෑම මිනිසකුම  ස්ත්‍රීය න්ගෙන්ම බිහිවන්නෝය. 

අල්ලාහු තආලා ස්ත්‍රීන් හා පුරුශයින්ව එක සමානව බලන්නේය. ඔවුන්ගෙන් උසස්වන්නේ "තක්වා" නැමැති දේව බිය භක්තිය ඇති අයයි. නමුත් අද පිරිමියා ස්ත්‍රීය තම කෙලි බඩුවක් ලෙස සිතා නොයෙකුත් වදවේදනාවලට ලක්කරයි. සමහරු ස්ත්‍රීය යනු දුෂ්ට බලවේග යයිද ඔවුන් පවුලට අවමානය ගෙනදෙන අය වශයෙන්ද සලකයි.

මෙයට අවුරුදු 1500 කට පෙර අරාබියේද  මෙයටත් වඩා දරුණු ආකාරයට ස්ත්‍රීන්ගේ උරුමයන් කප්පාදුකර ඔවුන්ට පහත නීච ආකාරයට වදදෙනු දක්නට ලැබුණි. ස්ත්‍රීයට වඩා ඔවුන්ට ඔවුන්ගේ අශ්වයා උසස් විය. සමහර ගෝත්‍රිකයින් ගැහැණු දරුවන්ව පණපිටින් වැලලුහ. පිරිමියකුට ඕනෑ තරම් සංඛයාවක් විවාහ කරගෙනීමට හෝ සුරතලියන් ලෙස තබාගැනීමට පුළුවන් විය. ඉස්ලාමියිය ආධිපත්‍ය යටතට ලෝකය පත්වෙත්ම, ස්ත්‍රීන්ගේ තත්වය යහපත් වන්නට විය.

වර්ථමාන ලොව පවා විද්වතෙකු ලෙස සලකන, ග‍්‍රීකවරුන්ගේ ප‍්‍රබලතම විද්වත් මතවාදියකු වන සොක්රටීස් නැමැත්තාගේ කාන්තාව පිලිබදව අදහස වුයේ
කාන්තාවන් සිටීම ලෝව පරිහාණියට ප‍්‍රබල හේතුකාරකයක් වේ. තවද කාන්තාව යනු විෂ ගසකට සමාන පිරිසකි. එම ගසේ භාහිර ස්වරුපය අලංකාර වේ. නමුත් එහි පලය බට්ටිත්තන් කෑ විගසම එම බට්ටිත්තන් මියයති.

ග‍්‍රීකවරුන් එසේ තීරණය කරද්දී ඊට දෙවැනි නොවී රෝමාවරුන් ද කාන්තාව සම්බන්ධයෙන් විවිධ තීරණ හා අදහස් සමාජ හමුවේ ප‍්‍රකාශ කරන ලදී. එහි වැදගත්ම කාරණය වන්නේ ඔවුන් කාන්තාව පණ නැති වස්තුවක්ලෙස සලකනු ලැබීමයි. එදා රෝමාවරුන්ගේ සමාජයේ කාන්තාවට කිසිදු ගෞරවයක් හෝ සැලකිල්ලක් හිමි නොවී පැවතුණි. මොවුන් කාන්තාව පණ නැති භාණඩයක් ලෙස සැලකූ නිසා එම සමාජයේ කාන්තාවන්ට රත් කරන ලද තෙල් ශරීරයේ වැක්කිරීම වැනි මිලෙච්ච දඩුවම් පවා කාන්තාවන්ට පමුණුවන ලදී. එසේම කාන්තාව හිංසනයට ලක්කිරීම එම සමාජයේ විනෝදාංශයක්ව පැවතුණි. එය කොතරම් කුරිරු ද යයි පවසනවා නම්, කාන්තාවක් අශ්වයකුගේ වලිගයේ බැද එම අශ්වයන් වේගයෙන් දුවවමින් එම කාන්තාවට හිංසනයන් සිදුකරමින් එය බලා විනෝද වීම එම සමාජයේ පිරිමීන්ගේ විනෝදාංශයක් වූ බව ඉතිහාසයේ සදහන් වේ.

කාන්තාව සම්බන්ධයෙන් එදා ලෝක ප‍්‍රතිචාරය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා අප අසැල්වාසී ඉන්දීයාව කෙරෙහි අවදානය යොමු කලේ නම්, ඔවුන් කාන්තාව සම්බන්ධයෙන් දැක්වු ප‍්‍රතිචාරයත් ඉහත සදහන් රටවල් දැක්වු ප‍්‍රතිචාරයන්ට දෙවැනි නොවීය. විටෙක ඉන්දියාව ලොව අනිකුත් රටවලට වඩා ඉදිරියෙන් සිටී බව පැවසිය හැක. එනම් සතිපූජාවනමින් තම ස්වාමියා මියගිය පසු එම මෘතදේහය ආදාහනය කරන මොහොතේ ඔහුගේ බිරිද ද එම ගින්නෙහිම පණපිටින් ආදාහනය කරන සිරිතක් එම සමාජයේ පැවතුණි. එනම් තම ස්වාමියාගෙන් තොර ලොවක් ඇයට සිතීමේ පවා අයිතියක් නොපැවතුණි.

අද දියුණුයැයි කියාගන්නා යුරෝපය හා ඇමෙරිකාව වැනි රටවල් ස්ත්‍රීයව  වැළඳ භාණ්ඩයක් ලෙස සලකා ඔවුන්ව ප්‍රදර්ශනය කර මුදල් උපයයි. ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයවන ආකාරයට ඔවුන්ව මුල්‍යකරණයකර අන්ත අසරණ තත්වයකට පත්කර ඇත. ඔවුන්ගේ ආරක්ෂාවට හා සෙනහසට සිටිය යුතු පියා, සහෝදරයා හෝ ස්වාමි පුරුෂයා ඔවුන්ලවා මුදල් උපාය ගන්න තරමට පහත් තත්වයකට පත්ව ඇත.  මෙම රටවල්වල මෑතක වනතුරුත් ඔවුන්ගේ අයතිවාසිකම්වලට වැටකොළු දමා වසා තබන ලදී. ඔවුන්ගේ නමින් වස්තූන රැස්කිරීම හෝ පාලනය කිරීම තහනම් කර තිබුණි.  

කාන්තා සංවිධාන මහමගට බැස සටන් වැදී තම උරුමයන් ලබගැනීමට වෙහෙසවුහ. ජීවිත පරිත්‍යාග කළහ. මෙයට ප්‍රධාන හේතු වශයෙන් අප දකින්නේ පිරිමියා විසින් නීති රීති සම්පාදනය කර පිරිමි ආධිපත්‍යයට ඔවුන්ව නතු කිරීමයි.

නමුත් ඉස්ලාම් ධර්මයට මෙයට හාත්පසින්ම වෙනස් ස්වරුපයක් ගනී. ස්ත්‍රීන් හා පුරුෂයන් ඔවුන්ගේ ශාරීරික හා මානසික ස්වභාවය අනුව ඔවුනොවුන්ට ආවේනිකවූ නිදහසක් ඉස්ලාමය පිරිනමා ඔවුනොවුන්ගේ අයිතිවාසිකම්, වගකීම් හා යුතුකම් මානව පැහැදිලි කර දී තිබේ.

ගැහැණු දරුවෙකු උපත ලැබ ඇය පන පිටින් නොවළලා, ඇය අගෞරවයට පත් නොකර, ඇයට වඩා පිරිමි දරුවාට වැඩි සැළකිල්ලක් නොදක්වා, ඇය පෝෂණය කරයිද ඔහුව අල්ලාහ් ස්වර්ගයට ඇතුල් කරන්නේයයනුවෙන් නබි (සල්) ප‍්‍රකාශ කළහ. ග‍්‍රන්ථය : අහ්මද්

දියණියන් තිදෙනෙකු සිට, ඔවුන්ව ඉවසීමෙන් හා කරුණාවෙන් තමන්ගේ හැකියාවට අනූකුලව ඔවුන් හදා වඩා ගත්තේ නම්, ඔවුන් ඔහුට අපාය ගින්නෙන් ආරක්‍ෂාව සපයනු ඇතයනුවෙන් නබි (සල්) තුමන් ප‍්‍රකාශ කළහ. ග‍්‍රන්ථය : බුහාරි

අධ්‍යාපනය ලබා දීම, හොද (යහපත් අරුතක් ඇති) නමකින් ඇමතිම, යොවුන් වියට පත්වූ විට විවාහ කරදීම සියළු පියවරුන්ට තමන්ගේ ගැහැණු දරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් වෙයි. ග‍්‍රන්ථය : බුහාරි.

තවද කාන්තාවන්ගේ ස්වභාවය අනුව ඔවුන් ඉතා සියුම් ගතිපැවතුම් ඇති සුන්දර මැවීමකි. ඔවුන්ට කළහැකි දේ හා කලනොහැකිදේද තිබේ.  ඒ අනුව ඔවුන්ට ඉස්ලාම් ක්‍රියාකිරීමට ඉඩ ප්‍රශ ලබාදී තිබෙන අතර සෑම ඉගෙන්වීමක්ම ඔවුන්ගේ යහපතට ආරක්ෂාවට පාදක වෙයි.

දෙවියන් ශුද්ධ අල්-කුර්ආනයේ 4:1 වාක්‍යයෙන් ගැහැණු පිරිමි දෙපාර්ශවයම එකම ආත්මයකින් මවන ලදී. ඔවුන්ගේ දුබලතා සමහරක් හේතුකොට ගෙන ඇති කළ වෙනස්කම් හැරෙන්න වෙන කිසිවක් නැත. ඔවුනොවුන්ගේ අයිතිවාසිකම් ඉල්ලීමට හා ලබා ගැනීමට දෙපාර්ශවයටම අයිතියක් ඇත. අයිතිවාසිකම් ලබාදීමේදී අල්ලාහ් ගැන බියෙන් කටයුතු කරන්නැයි තදින් ප‍්‍රකාශ කර තිබියදී කාන්තාවන්ගේ පමණක් සමහර අයිතිවාසිකම් උදුරාගනු ලබන්නේ මන්ද? දෙවියන් විසින් ඔවුන්ට ලබාදුන් අයිතිය උදුරා ගැනීමට අපට ඇති අයිතිය කුමක්ද?

ඉස්ලාමය කාන්තාවන්ට ලබාදී ඇති අයිතීන් සමහරක්

* විවාහයකදී මනමාලියගේ කැමැත්ත
* දික්කසාද වීමට පුර්ණ අයතිය
* මව, පියා, සහෝදරයා, පුත්‍රයා හැ ස්වාමිපුරුෂයාගේ අභාවයෙන් පසු වාස්තුවැල අයිතිය.
* තම දේපල තමා කැමැති ආකාරයට පරිහරණය කිරීම.
* අධ්‍යාපනය ලබා තම හැකියාවන්  ප්‍රගුණ කිරීම.
* අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය.

ඉස්ලාමය කාන්තාවන්ට ලබාදී ඇති ආරක්ෂාවන් සමහරක්

* බාලවියේ දෙමව්පියන්ගේ ආරක්ෂාව.
* විවාහයෙන් පසු ස්වාමිපුරුෂයාගේ ආරක්ෂාව.
* අනාත දැරියන්ට ඉස්ලාමියය රජයේ ආරක්ෂාව.

පුරුෂ වුවද ස්ත‍්‍රී වුවද (මෙම දහම) විශ්වාස කර හොද ක‍්‍රියාවන් කරන්නෝද ඔවුන් ස්වර්ගයට ඇතුල් වන්නෝය. ඔවුනට ස්වල්ප ප‍්‍රමාණයකින් හෝ අසාධාරණයන් සිදු නොකරන්නේය. ශුද්ධ වු අල්කුර්ආනය 4-124

යහපත් ක‍්‍රියාවන් කරන කෙනෙකුට ස්ත‍්‍රීය වේවා පුරුෂයා වේවා සැබෑ ව්ශ්වාසවන්තද වේ නම් එවැන්නාට අප මෙලොවේදී ඉතා යහපත් ජීවිතයක් සකස් කර දෙන්නෙමු. එලොවේ දී ඔවුන් ඔවුන්ගේ ශ‍්‍රමයට ප‍්‍රතිපල ලබා දී මේදී ඔවුන් කල ප‍්‍රමාණයට වඩා හොද ප‍්‍රථිපල ලබා දෙන්නෙමු. ශුද්ධ වු අල්කුර්ආනය 16:97

ස්තී‍්‍රය හා පුරුෂයා එකිනෙකාගේ ඌනපූරක ලෙස ඉස්ලාම් සලකයි.
ඔවුන්ගේ ප‍්‍රාර්ථනයට සවන්දුන් ඔවුන්ගේ ස්වාමියා කීවේය. ඔබලාගෙන් ස්තී‍්‍රය හෝ වේවා පුරුෂයා හෝ වේවා කිසිවකුගේ යහකම්වලට යහපත් ප‍්‍රථීපල නොදී මා අපතේ නොයවන්නෙමි. ඔබලා එකින් එකා අනෙකා මත රැඳීසිටින්නෙහිය. ශුද්ධ වු අල්කුර්ආනය 3:195

මේ ආකාරයට දෙවියන් ඉදිරියේ තීරණාත්මක සාධකය වන්නේ ලිංග භේදය නොව ඇයගේ හෝ ඔහුගේ අවනතභාවය හා විශ්වාසණියත්වය බව ඉස්ලාම් අවධාරණය කිරීම තුල ඉස්ලාම් කාන්තාවට ඇයගේ අපේක්‍ෂිත සීමාවට වඩා බොහෝ දෑ ලබාදී ඇති බව පැහැදිලිය. මෙහි සුවිශේෂි කාරණය වන්නේ ලොව සෑම සමයක්ම කාන්තාවගේ ආගමික අයිතිය පවා අහිමි කරද්දී ඉස්ලාම් ඇයගේ ආගමික අයිතිය පමණක් නොවේ ලෞකික ජීවිතයේ ඇයට අවශ්‍ය සියළුම ආකාරයේ වරප‍්‍රසාදයන් නොඅඩුව ලබාදෙන්නේ ඇයගේ කිසිදු ආකාරයක මැදිහත්වීමක් හෝ ආයාචනයකින් තොරවය.

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons