ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට විරුද්ධව යම් යම් මතවාදද මුස්ලිම් රටවල් විරෝධී යම් යම් මතවාදද මේ දිනවල පැන නැගෙමින් පවතී. සැබවින්ම එය එසේ විය යුතුද?මේ සඳහා පළමුව සලකා බැලිය යුතු වන්නේ ශ්‍රී ලංකාවට වඩාත්ම හිතවත් මිතුරන් සිටින්නේද? සිටින්නේ නම් ඒ කවර රටවල්ද යන්නයි.
සැබෑ විපතකදී යුරෝපය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරන් ලෙස ඉදිරියට නොආ බව අද වන විට ඔප්පු වී තිබේ. 1970 ට පෙර යුරෝපිය රටවල් ශ්‍රී ලංකාවේ ආරක්ෂකයන් බවට පත්ව සිටියද මෑත කාලීන වර්ධනයත් සමග එය කලාපීය මුස්ලිම් රටවල් කරා මාරු වී තිබේ.
1947 පාකිස්තානය බිහි වූ දා සිට පාකිස්ථානය අපේ මිතුරු රටකි. ඇත දිග හැර වියදම් කරන හිතවතෙකි. ඉරානය, ලිබියාව, සෞදී අරාබිය, බංගලාදේශය, ඉන්දුනීසියාව, මැදපෙරදිග බහුතරයක් වූ සෙසු රටවල් ඒ හිත මිතුරු ලයිස්තුවේ මුලටම වේ.
ප්‍රභාකරන්ගේ දමිල ඊලාම් විමුක්ති කොටි සංවිධානය ඊලාම් සටන අරඹා රට දෙකඩ කරන ව්‍යාපාරය උච්ච මට්ටමට පත් කල පසු ශ්‍රී ලංකාවේ උදව්වට ආවේ මෙම මුස්ලිම් රාජ්‍ය පෙළයි.
හැත්තෑ ගණන්වල ඇරඹි රට බෙදන ඊලාම් ව්‍යාපාරය ඔවුන්ගේ පැත්තෙන් බිහිසුණු හා සාර්ථක මට්ටමට ගෙනගියේ ප්‍රභාකරන් විසිනි. එතෙක් යම් තරමකට හෝ වාමාංශික මුහුණුවරක් ගත් කුට්ටුමනී, උමා මහේෂ්වරන්, ආදීන් පැත්තකට කර සටන අතට ගත් ප්‍රභාකරන් මේ පොලව ලේ ගංගාවක ගිල්වද්දී දමිල ඊලාම් න්‍යායවාදීන් උත්සහ කලේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වන මුස්ලිම් ප්‍රජාවද සටනේ පංගුකාරයන් කර ගැනීමටය. එහෙත් මුස්ලිම්වරුන් කිසිදු අවස්ථාවක බෙදුම්වාදී උවමනාවන් පසුපස ගියේ නැත. යම් යම් පුද්ගලයන් එල්.එල්.ටී.ටී.ඊ හිතවාදීන්ව සිටියා වුවද බහුතර මුස්ලිම් ජනතාවද මුස්ලිම් ආගමික නායකයන්ද ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා හමුදාව සමග මිත්‍රත්වයෙන් යුතුව කටයුතු කළහ. ඔවුන්ද තම පොදු සතුරා ලෙස සැලකුවේ ඊලාම් ත්‍රස්තවාදයයි.
1970 තරම් ඈත කාලය වන විට ඉන්දියාව ඊළාම් සංවිධානවල ප්‍රධාන ආරක්ෂකයා වී තිබු අතර අප සමග තිබු හමුදා සම්බන්ධතා ටිකෙන් ටික ඈත් කරමින් පැවතින. ඒ වන විට ඉන්දියාවේ කොටි පුහුණු කදවුරු 12ක් තිබු අතර නවීන මෝටාර්, මැෂින් තුවක්කු ආදියෙන් සන්නන්ධ වූ ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර හමුවේ අපේ ආරක්ෂක හමුදා යම් පීඩනයකට හසු වෙමින් තිබිණි. මේ අවස්ථාවේ අපේ උදව්වට ආවේ පාකිස්ථානයයි.
ජනරාල් සියා උල් හක් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණ උතුරේ ඇති වෙමින් තිබු තත්වය පිළිබද සැබෑ තත්වය දැක බලා ගත්තේය. අනතුරුව ජනරාල්වරයා එවකට පාකිස්ථාන යුධ හමුදාවේ විශේෂ බලකා ප්‍රධානි බ්‍රගේඩියර් තාරික් මොහොමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු යුතු විශේෂ හමුදා කණ්ඩායමක් මෙරටට එව්වේ අපේ හමුදාව පුහුණු කිරීම සදහාය. අනුරාධපුර සාලියපුර කදවුරේදී පාකිස්ථාන හමුදා ප්‍රධානීහු අපේ හමුදාව සදහා පුහුණුවීම ආරම්භ කලහ. මෙම පුහුණුව ලබා දුන්නේ අපේ හමුදාවේ නිලධාරින් නොවන සෙසු නිලයන්ට වීම විශේෂත්වයක් වෙයි.
එයට හේතුව ඒ වන විට අපේ නිලධාරීන්ට මිස සෙබළුන්ට විදේශ පුහුණුව ලැබෙන ක්‍රමවේදයක් නොතිබීමයි. ජේෂ්ඨතම හමුදා නිලධාරීහු කිහිප දෙනෙක් බ්‍රිතාන්‍යයේ යේ සන්ධර්ස්ට් ආරක්ෂක පීඨයේද තවත් පිරිසක් ඉන්දියාවේද පුහුණුව ලැබුහ. එහෙත් නැග එන ගරිල්ලා ත්‍රස්තවාදයට එරෙහිව කාලීන යුද උපක්‍රම ඉගැන්වීම් මේවායේ සිදු නොවීය.
බ්‍රිගේඩියර් තාරික් අසිස් ජනරාල් සීයාගේ සමීපතමයෙකු වූ අතර අසීස්ට අන දුන්නේ සෘජුවම පාකිස්ථාන ජනාධිපතිවරයාය. එවකට ශ්‍රී ලංකා හමුදාවට ආගන්තුක වූ මෝටර් හා රොකට් ලෝන්චර් පාකිස්ථානයෙන් ගෙනවීත් මෙම පුහුණුව ලබා දීමට තරම් රටවල් දෙකේ මිත්‍රත්වය ශක්තිමත් වී තිබිණි. පුරා මාස තුනක් බ්‍රගේඩියර්වරයා හා කණ්ඩායම ලංකාවේ නැවතී මෙසේ අපේ හමුදාවට පුහුණුව දුන්හ. ඉන්පසු මෙම පුහුණුව පාකිස්තානයේදී ලබා දීම සිදු කෙරිණි. හමුදා උපකරණද, අවි ආයුධද, පාකිස්ථාන අයි.එස්.අයි. රහස් ඔත්තු සේවයේ තොරතුරු හුවමාරුවද දිගින් දිගටම අපේ රටට ලැබිණි. පාකිස්ථාන හමුදා නායකයෝ ඊලාම් ත්‍රස්තවාදී අරගලය පුරාම ලංකාවේ සමීප මිතුරන්ව සිටියහ. 1985 දී ඉන්දියාව අපේ හමුදාවට ලබා දුන් පුහුණුව සම්පුර්ණයෙන් නතර කල පසු නිලධාරීන් සහ සෙබළුන් පුහුණු කිරීමේ තනි බර පාකිස්ථානය අතට ගත්තේය. එයට බංගලාදේශයද හවුල් විය. 1987න් පසු ඉන්දියාව යලි අපේ හමුදාවේ කණ්ඩායම් කිහිපයක් පුහුණු කිරීම ඇරඹිය.
විටින් විට වෙනස් වන කලාපිය දේශපාලන තත්වයන් හමුවේ වුවද පාකිස්ථානයත් බංගලාදේශයත් ශ්‍රී ලංකාව සමග මිත්‍රත්වය අත හැරියේ නැත.
අලිමංකඩ යුද හමුදා කදවුර බිද වැටී කොටි ත්‍රස්තවාදීන්ගේ කාලතුවක්කු බලය පලාලි යුද හමුදා හදවත වෙත විහිදෙන්නට පටන් ගත් 2000 අඳුරු සමයේදී අපේ ආරක්ෂාවට ආවේ පාකිස්ථානයයි. දෙරටේ රාජ්‍ය නයක හා හමුදා නායකයන්ගේ ක්ෂණික දුරකථන සංවාද මත පාකිස්ථාන ගුවන් යානා කිහිපයක් කොළඹ බලා පියාසර කළේය. ඒවායේ තිබුනේ හොදම ජංගම ප්‍රහාරක බලයවූ මල්ටි බැරල් රොකට් විදින යන්ත්‍රයයි. එම මල්ටි බැරල් රොකට් ලෝන්චර් ඒ වන විට පාකිස්ථාන හමුදා කඳවුරු වලින් එකතු කරගෙන කොළඹට ගෙන එන ලදී.
ඒවා ක්ෂත්‍රයේ පහර දෙමින් තිබු ඒවා විය. මෙමගින් ප්‍රභාකරන් නොසිතු ප්‍රහාරයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා හමුදාවට පුළුවන් වූ අතර මල්ටි බැරල් යන්ත්‍ර ක්‍රියාත්මක කලේද පාකිස්ථාන සෙබළුන්ය. චෙකොස්ලෝවකියාවෙන් ඇනවුම් කර තිබු මල්ටි බැරල් යන්ත්‍ර මෙරටට ගෙන එන තුරු මෙම ගිනි බලය යොදා ගනිමින් ප්‍රභාකරන්ගේ යාපනය අල්ලා ගැනීමේ සිහිනය බොද කරලීමට හැකි විය.
ජනරාල් පර්වේස් මුෂාරෆ් පාකිස්ථාන ජනාධිපති ධුරයට පත් වූ විට දෙරට අතර සම්බන්ධතා අතිශය ශක්තිමත් විය. ජනරාල් ශ්‍රී ලාල් වීරසුරිය මුෂාරෆ් ජානධිපති සමග බ්‍රිතාන්‍ය නැෂනල් ඩිෆෙන්ස් කොලේජ්හි එකට අධ්‍යාපනය ලැබීම සලකා එවක රජය ශ්‍රී ලාල් වීරසුරිය විශ්‍රාම ගිය පසු පාකිස්ථාන මහා කොමසාරිස් ලෙස පත් කළේය. ඔහුට හිතවත්කම් මත තවත් බොහෝ දේ කල හැකි විය.
මාවිල්ආරු සොරොව්ව වසා ප්‍රභාකරන් තම අන්තිම ගමන යාමට සැලසුම් කල අවස්ථාවේ අපේ පිහිටට ආවේද පාකිස්ථානයයි. මහා ප්‍රහාරයකට සරිලන කාලතුවක්කු උණ්ඩ හා මල්ටි බැරල් උණ්ඩ සිය දහස් ගණන් පිරවූ නැව් විශාල ප්‍රමාණයක් පාකිස්ථානයෙන් මෙරටට එව්වේ ආයුධ සදහා මුදල් පසුව ලබා ගැනීමේ පදනමිනි. එම මුදල් අදටත් ගෙවනවා විය යුතුය. පාකිස්ථාන ආයුධ සහය නොතිබුනේ නම් මාවිල්ආරු සොරොව්ව මුදා ගෙන මුලතිව් දක්වා එතරම් ඉක්මනින් යාමට නොහැකි වනු ඇත. පාකිස්ථානය මෙම මහා මානුෂිය මෙහෙයුම් පිටුපස දැවැන්ත කාර්යභාරයක් කළේය. ඊලාම් ත්‍රස්තවාදී අරගලය මැඩලන ශ්‍රී ලංකා රාජ්‍යයේ සමස්ත අරගලය පුරාම පාකිස්ථානය දැවැන්ත සෙවනැල්ලක්ව නැගී සිටියේය. ශ්‍රී ලංකාවේ සාමකාමී ජනතාව තම නිදහස දිනා දුන් රණවිරුවන්ගේ අරගලයට දායක වූ මෙම මුස්ලිම් රාජ්‍ය පන්තියට සදාකාලිකවම ගරු බුහුමන් කල යුත්තෝය. කිට්ටුම අසල්වැසියා පිටුපාද්දී උදව්වට ආවෝ ඔවුහු වෙති.
1984-85 සහ 86 ඊලාම් ත්‍රස්තවාදය නැගෙනහිර පළාතේ පතුරුවා හැරීමට ඊලාම් සංවිධාන උත්සහ කල කාලය විය. එම කාලයේ නැගෙනහිර පළාතේ ත්‍රස්තවාදී සාමාජිකයන් හා උතුරේ සාමාජිකයන් අතර බරපතල සමාජීය වෙනස්කම් තිබිණි. මුස්ලිම් ජනයාගෙන් තම ශක්තිය වැඩි කර ගැනීමට එල්.එල්.ටී.ටී.ඊය උත්සාහ දැරුවද නැගෙනහිර මුස්ලිම්වරු එසේ නොගියහ. අවසානයේ මුස්ලිම් නම් යොදවා ත්‍රස්ත නායකයන් පත් කර එව්වද ඔවුන් දමිල බව පසුව හෙළිදරව් විය. අම්පාර දිස්ත්‍රික්කයේ පානම සිට පොතුවිල්, අක්කරපත්තුව, කාරතිව්, කල්මුනේ, කාතන්කුඩි, වාලච්චේන යන ප්‍රදේශ දක්වාම බහුතර ගම්බිම් මුස්ලිම් ප්‍රදේශ විය. මෙම ප්‍රදේශවල එල්.ටී.ටී.ඊ ක්‍රියා සිදු නොවූ අතර බිම් බෝම්බ පහරදීම් ආදිය බහුලව සිදු නොවීය. කාත්තන්කුඩි මුස්ලිම් වැසියන්ට 1986 දි යුද හමුදාව තුවක්කු පවා සැපයුවේ ඔවුන්ගේ ආරක්ෂාවටය. මේ පිරිස තම ගම්බිම් සතුරාගෙන් රැක ගත්හ. සිංහල ගම්මානවල ආරක්ෂාවට තුවක්කු සැපයීම ආරම්භ වුයේත් මේ කාලයේය. මඩකලපුවේ සිංහල ගම්මාන නොවුයෙන් යුද හමුදා කදවුරු අලුතෙන් ඇතිවුයේ මේ ගම්මාන වලය.
1990 දි දෙවැනි ඊලාම් අරගලය ඇතිවීමෙන් පසු එල්.ටී.ටී.ඊය මෙම මුස්ලිම් ගම්මානවලට පහර දුන්නේය. තමන්ට නැගෙනහිර ශක්තිමත් වීමට ඉඩ නොලැබුණේ මොවුන් නිසා බව එල්.ටී.ටී.ඊය තේරුම් ගෙන තිබිණි. කාතන්කුඩි පල්ලියේ යාඥා කල බැතිමතුන්ට පහර දී 147 ක් අලන්චිපොඨාන, 69ක්ද පල්ලියගොඩැල්ල 171ක්ද යන ලෙස මහා සංහාර සිදු වුයේ මුස්ලිම් ජනතාව ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍යයට සහයෝගය දැක්වූ නිසාය. මෙම ගම්මාන නොතිබුනේ නම් ඊලාම් අරගලය ඇරඹෙනු ඇත්තේ පොළොන්නරුවේ සිටය. පොළොන්නරුවට දිඹුලාගල අසරණ සරණ සරණංකර නාහිමියන් අයෝමය පලිහක් වුවා සේම මෙකී මුස්ලිම් ගම්මානද නැගෙනහිර රැක ගැනීම පිණිස ශ්‍රී ලංකා රජයට අයෝමය පලිහක් විය. අදටද මුස්ලිම්වරු විශාල පිරිසක් ත්‍රිවිධ හමුදාවේ සේවය කරති. රට වෙනුවෙන් දිවි දුන් උත්තුංග ශ්‍රී ලංකා පුත්‍රයන් අතර මුස්ලිම්වරුද විශාල පිරිසක් වෙති. මුලතිව් කදවුර බේරා ගැනීම සදහා වික්‍රමාන්විතව සටන් වැද මිය ගිය එවකට 1 වැනි විශේෂ බලකා ප්‍රධානි කර්නල් ෆස්ලි ලෆීර්, බුද්ධි අංශයේ මේජර් තුවාන් මුතාලිෆ් ආදීහු ඒ දීර්ඝ ලැයිස්තුව සරසති. එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සාමාජික ලයිස්තුවේ මෙවෙනි නම්ගම් විරලය. එක්කෝ ඇත්තෙම නැත.
එහෙත් ඇතැම් මුස්ලිම් දේශපාලකයන් සතුරාගේ පැත්ත ගෙන ජාතිබේදය වැපිරූ බව ජනතාවට මතකය. කල යුත්තේ ඔව්න් හදුනාගෙන හුදෙකලා කිරීම මිස සමස්ත මුස්ලිම් ජනතාවට පහර දීම නොවේ.
දැන් යුද්ධය අවසන්ව තිබේ. සාමකාමිව තමන්ගේ පාඩුවේ ජීවත් වන සිංහල දෙමල මුස්ලිම් තුන් වර්ගයාටම තවත් බිහිසුණු යුද සමයක් අවශ්‍ය නොවනු ඇත. ඒ සදහා සියලුම ජනවර්ගවල පටු අරමුණු ඉවත් කර ගැනීමට කාලය උදා වී තිබේ.
රංග පෙම්කිත්
සතියේ කතාව
ඉරිදා ලංකාදීප 2013 පෙබරවාරි 03 ඉරිදා
0 comments:
Post a Comment