ඇත්තටම කව්ද මේ මුහම්මද්??


ඇත්තටම කව්ද මේ මුහම්මද්??

  
ආගම් හා දර්ශන නොවන්නට මේ ලෝකය මහා දරුණු තැනක් බවට පත් වන්නේ ය. එසේ නො වුයේ නම්; මිනිස් සංහතිය මේ වනවිටත් විනාශ වී තිබෙන්නට පුළුවන. සෑම ආගමක ම අර්ථය මිනිසා ශිෂ්ට සම්පන්න කිරීම ය. මිනිස් සමූහයාගේ සහජීවනය මතු කොට ජීවිතයේ පරමාර්ථ ඔවුනට කියා දීම ය. ලෝක සමාජය විසින් අදටත් පිළිගනු ලබන හා අදහනු ලබන පුරාණ ආගම් කිහිපයක් තිබේ. බුදු දහම, ක්‍රිස්තියානි දහම, හින්දු දහම හා ඉස්ලාම් දහම ඒ අතර ප්‍රධාන වේ. ඒ අතර ඉස්ලාම් දහමේ දේව පණිවුඩකරුවා වූ නබීනායකතුමාගේ අනුස්මරණ දිනය අදට යෙදී තිබේ.

අරාබිකරයේ ශුෂ්ක කාන්තාර අතර දිවි ගෙවූ ගෝත්‍රික ජනයා ශිෂ්ට සම්පන්න කිරීම සඳහා භාවිත වූ ප්‍රධාන ආගම ඉස්ලාම් ය. එම දර්ශනය ඇතුළත් ශ්‍රේ්ෂ්ඨ ග්‍රන්ථය අල් කුරානය ලෙස හැඳින් වේ. කුරානයේ ඇති දේව භාෂිතයන් ද, නබීතුමාගේ ජීවන ආදර්ශයන් ද ඉස්ලාම් දහමේ හරය ලෙස ගත හැකි ය. සාමය, සමාදානය, සමානාත්මතාව, සහජීවනය හා පාපයෙන් වැළකීම ඉස්ලාම් දහමේ පදනම ය. නූතන ලෝකයට අවශ්‍ය සාමය හා සහජීවනයට ඉස්ලාම් දහමෙන් ලද හැකි පාඩම් ඉමහත් ය. අද දිනය ඒවා ස්මරණය කිරීමට කදිම අවස්ථාව සේ ගත හැකි ය.

ශ්‍රී ලංකාවේ රිසානාගේ සිද්ධියත් සමඟ ඉස්ලාම් දහම දෙස වපරැසින් බලන්නටත්, අරාබි රාජ්‍යයන් කෙරෙහි යම් විරෝධතාවක් දක්වන්නටත් මෙරට සමහරු පෙලඹුණහ. මෙය වැරැදි අවබෝධයක් මත ඇති වූ වැරැදි අවබෝධයෙකි. ෂරියා නීතිය අපට හෝ සෞදියේ රජතුමාට හෝ අමෙරිකාවේ ජනාධිපතිට හෝ වෙනස් කළ හැකි දෙයක් නො වේ. එම නීති පැළපදියම් වී ඇත්තේ දරුණු සමාජයක් ශිෂ්ට සම්පන්න කිරීම සඳහා ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස ය. එදා අරාබියේ ගෝත්‍රික සමාජ, ස්ත්‍රී දූෂණවලින්, මිනීමැරීම්වලින්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් කොල්ලකෑමෙන් පෙරමුණේ සිටියේ ය. එබඳු සමාජයක් යහපත් කිරීම සඳහා දරදඬු නීති ක්‍රියාත්මක කළ යුතු ව තිබිණි.

පුරාණ අරාබි ගෝත්‍රික ජනයා ස්ත්‍රීන් පහත් කොට සැලකූහ. උපදින ගැහැනු දරුවෝ උපන් ගෙයිම මරා වළ දැමූ හ. මේ ගෝත්‍රික සමාජයේ පිරිමි දිනපතා ම මත්පැන් පානය කළහ. පිස්සුවෙන් ජීවත් වූහ. වෙළෙඳාමේ දී බොරු කළහ. පළමු මිනිසා දෙවන මිනිසාගේ සතුරා විය. ඔව්හු එකිනෙකා තිරිසනුන් මෙන් මරා ගත්හ. එබඳු සමාජයක් ශිෂ්ටත්වය කරා ගෙන ගියේ නබීතුමාගේ ඉගැන්වීම් ය. ෂරියා නීතිය බිහිවූයේ ද එම ඉගැන්වීම් ගුරුකොට ගෙන ය. නබීනායකතුමෝ අරාබියේ උසස් ම ගෝත්‍රයක් වූ කුෙරෙෂී කුලයෙහි උපන් හ. ජීවිතයේ බොහෝ යස-ඉසුරු ප්‍රතික්ෂේප කළ එතුමෝ පොදු ජනයාගේ යහපත උදෙසා සිය ජීවිතය කැප කළහ.

ඉස්ලාම් අදහන පුද්ගලයා ශිෂ්ට මනුෂ්‍යයෙකි. ඔහු අනෙකාට සලකනුයේ සහෝදරයකුට මෙනි. මුළු මහත් මිනිස් වර්ගයාම එක සමානය යනු නබීතුමාගේ ඉගැන්වීමකි. ශ්‍රී ලංකාව හා අරාබිය අතර දේශපාලන සම්බන්ධයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. අපේ පුරාණ රජවරු මුස්ලිම් ජාතිකයෝ කැටුව විවිධ ගනුදෙනු පැවැත්වූහ. රජුගෙන් ගම්වර ලද මුස්ලිම් ජාතිකයෝ මෙරටෙහි විසූහ. රජුට විවිධාකාරයෙන් සහයෝගය දැක් වූ මුස්ලිම් ජාතිකයෝ ශ්‍රී ලංකාවේ දියුණුව හා චිරස්ථිතිය නිරන්තරයෙන් ප්‍රාර්ථනා කළ හ. අදත් එම තත්ත්වය එලෙසම පවතී. බටහිර යුරෝපයට වඩා පෙරදිග ශ්‍රී ලංකාව වැනි රටවලට ආදරය කිරීම ඉස්ලාම් භක්තිකයාගේ සිරිත වේ.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අරාබි රටවලින් ලැබෙන අනුබලය ඉමහත් ය. විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා අරාබි රටවලින් ලැබෙන ආධාර හා ණය සුළු පටු නැත. තෙල් ගනුදෙනුවල දී මෙන් ම තේ ගනුදෙනුවල දී ද ශ්‍රී ලංකාවට ප්‍රමුඛ තැනක් ලබාදීම අරාබි රටවල සිරිත වේ. ලෝක මානව හිමිකම් සමුළුවේ දී අරාබි රටවල සහාය බොහෝ විට ශ්‍රී ලංකාවට ලැබී තිබේ. ඔව්හු ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය හා භෞමික අඛණ්ඩතාව මහ ඉහළින්සලකති. ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන සැලැකීමේ දී ද අරාබි රටවල් දක්වන සහයෝගය බලවත් ය. ඛනිජ තෙල් සහිත ධනවත් රාජ්‍යයන් ශ්‍රී ලංකාවට හිතවත් වීම අප ලැබූ භාග්‍යයක් කොට සැලැකිය හැකිය.
දේශපාලන වශයෙන් සලකන විට ද ආර්ථික වශයෙන් සලකන විට ද අරාබි රටවල් අපට ඉතා වැදගත් ය. ඒ හැරුණු කොට ශ්‍රී ලංකාව හා අරාබි රටවල් අතර ඓතිහාසික සම්බන්ධයක් ද තිබේ. එය ගොඩනැඟී ඇත්තේ වෙළෙඳාම, දේශපාලනය හා ආගම මුල්කරගෙන ය. ඉස්ලාම් අදහන විශාල පිරිසක් මෙරට පුරවැසියෝ වෙති. ඔව්හු දීර්ඝ කාලයක පටන් මෙරටෙහි සහජීවනයෙන් කල් යවති. අපගේ නිදහස් සටනට උරදුන් විරුවෝ අතර ද මුස්ලිම් ජාතිකයෝ විශාල පිරිසක් ද උන්හ.

මේ සියලු කරුණුවලින් සනාථ වන්නේ කිසිදු භේදයකින් තොරව අප සියලු දෙනා සාමූහිකව ජීවත්විය යුතු බව ය. නබීනායකතුමාගේ ඉගැන්වීම ද එය ම වේ. දැන්-දැන් පුංචි-පුංචි විරසක හා විභේදන මතු වී ඇති බවක් පෙනෙන්නට තිබේ. සමහරු මූලධර්මවාදී අදහස් දරමින් ජාතීන් අතර හා ආගම් අතර භේදයක් ඇති කිරීමට වෑයම් කරති. මේ අය එක්කෝ මානසික රෝගීහූ ‍ෙවති. නැතහොත් කාගේ හෝ අනුකාරකයෝ වෙති. ශ්‍රී ලංකාව මෙබඳු දේශපාලන ප්‍රශ්නයක් නිසා දීර්ඝ කාලයක් තිස්සේ පීඩනයට පත් වූ රාජ්‍යයෙකි. එහි ප්‍රතිඵලය ලෙස දසක තුනක බලවත් ත්‍රස්තවාදයකට මුහුණ දෙන්නට අපට සිදුවිණි. මුලධර්මවාදීන්ගේ නො මනා ක්‍රියා නිසා ත්‍රස්තවාදය උග්‍රවිය. යුද්ධය බරපතළ විය. එය දේශපාලන පාඩමක් ලෙස ගන්නට තව ම අප පුරුදු වී නැත.

මැදපෙරදිග ගෘහ සේවය තුළ විවිධ දුෂ්කරතා තිබෙන්නට පුළුවන. ඒවා විධිමත් කළ යුතු ය. එහෙත් රටට ලැබෙන විශාල විදේශ විනිමයක් ප්‍රතික්ෂේප කොට අරාබි රටවල් ද අමනාප කර ගැනීමට උත්සුක වීම බුද්ධිමත් තීන්දුවක් නො වේ. රිසානාගේ මරණයෙන් පසු ශ්‍රී ලංකාවේ ගෘහ සේවිකාවන් පිළිබඳ ප්‍රශ්නයක් මතු වී තිබේ. මෙරට සමාජය තුළ ඒ සම්බන්ධයෙන් ඇත්තේ බලවත් විරෝධයකි. සිදුවිය යුත්තේ විධිමත්ක්‍රමවේදයක් සකස් කොට ගෘහ සේවිකාවන් අරාබි රටවලට ඒ මඟින් යැවීම විනා අපේ අවස්ථාවන් අහිමි කර ගැනීම නො වේ. ඒ රටවල් සමඟ අමනාප වීම කොහොමටත් යහපත් දෙයක් නො වේ.

නබීනායකතුමාගේ ඉගැන්වීම් සිහිපත් කළ යුතු වැදගත් ම දිනය අද බව අමුතුවෙන් කිව යුතු නො වේ. එතුමාගේ ප්‍රධාන ඉගැන්වීම වන්නේ අප මුලින් ද සඳහන් කළ පරිදි සාමය, සමාදානය හා සහජීවනය පැතිරවීම ය. සෑම මනුෂ්‍යයා ම එක සමාන යැයි නබීතුමා කියා ඇත. මෙය ඉස්ලාම් භක්තිකයාට පමණක් නො ව අන්‍යාගමිකයනට ද ඉතා වැදගත් ඉගැන්වීමකි. මූලධර්මවාදයට කත් අදින කෙනකුට මිස බුද්ධිමත් හා සාධාරණ තැනැත්තකුටනබීනායක ඉගැන්වීම්වල අයහපතක් දකින්නට පුළුවන්කමක් නැත. නබීනායකතුමන් කියන ලෙස සාමය හා සහජීවනය ලෝකය පුරා පැතිරේවා! ලෝකය එක යායක් බවට පත් වේවා!

මුස්ලිම් වොච් හි පලවූ ලිපියකි.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons