කාන්තාව පිටරට ගොස් සොයන මුදලට වඩා විශාල හානියක් ඇගේ පවුලට සිදුවෙනවා











කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ස්වර්ණා ඉහළගම



කාන්තාව විදේශගත වීම අද වන විට සමාජ පුරුද්දක් බවට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයෙන් වැඩිම මුදලක් උපයන්නේ විදේශ රැකියා සඳහා යොමු වී සිටින අපේ කාන්තාවන් විසින්. එම නිසා කාන්තාව විදේශගත වීම ආර්ථික වශයෙන් ප්‍රධාන ආදායමක් බවට පත්ව තිබෙනවා.
නමුත් සාම්ප්‍රදායික පෙරදිග සමාජ ක්‍රමය අනුව දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ කාර්යයේදී කාන්තාව සතු වගකීම වැඩියි. පවු‍ලේ ප්‍රධානියා පුරුෂයා වුවත් දරුවන් හැදීමේ කාර්යයේදී කාන්තාවට වැඩි වගකීමක් තිබෙනවා. එම නිසාම කාන්තාව විදේශ ගතවීම පවුල් ඒකකයේ පරිහානියට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා. පවුල පරිහානියට පත්වීම නිසා විශාල සමාජ පරිහානියකුත් සිදු වෙනවා.
කාන්තාවන් සම්බන්ධයෙන් තොරතුරු සොයා බලන විට පෙනී යන ප්‍රධාන කාරණයක් වන්නේ වැඩි ප්‍රතිශතයක් ඉහළ අධ්‍යාපනයක් නොලැබූ කාන්තාවන් බවයි. සමහර කාන්තාවන් උපාධිය තිබියදීත් රජයේ රැකියා අවස්ථා නොලැබිම හේතුවෙන් විරැකියාවට මුහුණ දෙනවා.
මෙවැනි තත්ත්වයන් මධ්‍යයේ ආර්ථික දුෂ්කරතා හමුවේ අසරණ වන බොහෝ කාන්තාවන් මැදපෙරදිග රැකියා සඳහා යොමුවීම සාමාන්‍යයි. නිසි පුහුණුව, උගත්කම හා පළපුරුද්ද පිළිබඳව සුදුසුකම් ගෘහ සේවය සඳහා නොසලකා හැර තිබිමත්, වැඩි වැටුපක් ලබා ගැනීමට හැකිවීමත් මෙයට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා.
අනෙක් පැත්තකින් කරුණු සෙවීමේදී විදේශගත ශ්‍රී ලාංකික කාන්තාවට එම රටවලදී ලංකාවේ රැකියාවක නිරතවන විට තිබෙන ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. තමුන්ට සුපුරුදු පරිසරය, කෑම බිම, සංස්කෘතිය පැවැත්ම ආදී සියල්ලටම වඩා වෙනස් පරිසර තත්ත්වයක රැකියාවක නිතරවන කාන්තාව ඉතා අසරණයි.
ඒ වගේම යම් පවුලක මව, බිරිඳ, සහෝදරිය විදේශගතවීම නිසා පවුලකට විශාල හානියක් සිදුවෙනවා. විදේශගතවීම මගින් හරි හම්බ කරන මුදලට වඩා විශාල හානියක් පවුලට සිදුවිය හැකියි.
විශේෂයෙන් වියළි කලාපයට අයත් හොරොව්පතාන, අනුරාධපුරය වැනි ප්‍රදේශවල කාන්තාවන් ආර්ථික අපහසුතාවයන්ට පත්වන අවස්ථාව වැඩියි. කෘෂිකර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්කර ගත් එම ප්‍රදේශවල නියඟය හෝ ගං වතුර වැනි තත්ත්වය ඇති වුවහොත් සියලු වගා හානියට පත් වෙනවා. සමහර අවස්ථාවන්වලදී ඔවුන්ගේ ගේදොර උකස් තබා බිජ වී ‍පොහොර ආදිය මිලදීගෙන වගා කටයුතු කරගෙන ආවත් හදිසි තත්ත්වයක් මත වගාව විනාශ වූවොත් ඔවුන් ඉතාම අසරණ වෙනවා. මෙවැනි අවස්ථාවලට මුහුණ දෙන නිසාම වියළි කලාපයේ බොහෝ කාන්තාවන් විදේශ ගත රැකියාවන්වල නිරත වීමට උත්සාහ දරන බව පෙනෙනවා.
විදේශගත කාන්තාව විසින් පවු‍ලේ දියණුවට කියා එවන මුදල් නිකරුනේ නාස්ති වන අවස්ථා අපි දකිනවා. ස්වාමියා තැබෑරුම්වලට ලෝබ නැතිව වියදම් කරනවා. එවැනි විදේශගත කාන්තාව මුහුණ දෙන, ඒ කාන්තාවගේ පවුලට විය හැකි ගැටලු, දුවා දරුවන් මුහුණ පාන අනපේක්ෂිත සිදුවීම් සම්බන්ධයෙන් කතා කරන නවකතා, කෙටිකතා, රූපවාහිනී නාට්‍ය, සිනමා බිහි කළ හැකියි.
හරසුන් ටෙලි නාට්‍ය මේ දිනවල ඕනෑ තරම් රූපවාහිනී මාධ්‍යයෙන් දැක ගැනීමට හැකියාව තිබෙනවා. ඒ හරසුන් නාට්‍ය වෙනුවට මෙවැනි සමාජයට බලපෑම් කරන මිනිසුන්ට දැඩිව බලපාන මාතෘකා තේමා කරගනිමින් නිර්මාණ බිහි කළ හැකියි.
විශේෂයෙන් වියළි කලාපයේ පවුල් මුහුණ පාන ප්‍රබල ප්‍රශ්න දෙකක් තිබෙනවා. ඉන් එකක් වන අලි ප්‍රහාරයන්ට නිරන්තරයෙන් මුහුණ දීමට සිදුවීම, අනෙක පවු‍ලේ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන මව විදේශගතවීම.
මෑතකදී රූපවාහිනී නාට්‍යයක කාන්තාව විදේශගතවීම නිසා පවුල විනාශ වන ආකාරය තවත් පැති කිහිපයක් ඔස්සේ කතා කරමින් විකාශනය කෙරුනා. නමුත් ඊට වඩා ප්‍රබල විදියට මෙම මාතෘකාව පිළිබඳව කතා කළ යුතුයි.
විදේශගත වන කාන්තාව වෙනුවෙන් කාන්තාවගේ පවු‍ලේ ආරක්ෂාව හා කාන්තාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි නීති රීති යෙදීම වගේම කලාකරුවන්ගේ දායකත්වයෙන් ඒ ප්‍රශ්න නිවස ඇතු‍ලේදීම ඔවුන්ට දැනෙන්නට සැලැස්විය හැකියි.
මැද පෙරදිග ගෘහ සේවයට ගිය රිසානා අද හොඳ මාතෘකාවක්, අඩු වයසේ සිටියදීත් වැඩි වයස් යොදා සියලු සහතික හොරාට නිර්මාණය කරන විදේශ රැකියා නියෝජිත ආයතන, මුහුණ පාන ගැටලුව සිනමාව ඔස්සේ කතා කළ හැකියි.
රිසානා අඩු වයස් දැරියක් වශයෙන් විදේශගත වීමත්, ඇයට මරණ දඬුවම වැනි අමානුෂික තත්ත්වයක් හිමිවීමත් නිසා ජනතාවගේ සිත් දැඩි ලෙස කම්පා කළා. නමුත් මැදපෙරදිග ගෘහ සේවය සඳහා විදේශගත වන බොහෝ කාන්තාවන්ගේ ඉරණම කණගාටුදායකයි.
අපේ කාන්තාවන් සෑහෙන වද හිංසාවලට මුහුණ දෙනවා. ඇණ ගසනවා. ගුටි කනවා. බොරු චෝදනා මත ‍පොලීසි ගෙන යනවා. සමහර කාන්තාවන්ට කන්න බොන්න දෙන්නෙත් නෑ. කිසිදු අනුකම්පාවකින් තොරව උදේ පාන්දර සිට මහ රාත්‍රිය වන තුරු පැය 18ක් පමණ සේවය කරන්න සිදු වෙනවා. රිසානාගේ සිදුවීම තරම් මෙම සිදුවීම් වාර්තා වන්නේ නැහැ. මේ සිදුවීම් වාර්තාවීම සිදුවුනා නම් සමහර විට කාන්තාව විදේශගත වීමට පෙර දෙවරක් සිතීමට පෙළඹිය හැකියි.
අත දරුවන් සිටින කාන්තාවන් මෙන්ම වැඩිවියට පත් දැරියන් සිටින කාන්තාවන් විදේශගත වීමට පෙර දෙවරක් සිතිය යුතුයි. ආර්ථිකමය වාසිය තකා විදේශගත වුවත් නැවත ලංකාවට පැමිණෙන විට තමන්ගේ දරුවන් වැරදි කටයුතු සඳහා යොමු වී තිබුණොත්, හිරගෙවල්වල දඬුවම් විදිනවා නම් හෝ තමන්ගේ දියණිය පියා අතින්, ඥාතියෙකු අතින් හෝ අසල්වැසියෙකු අතින් අතවරයට පත්ව තිබුණොත් මවකට දරාගත නොහැක. මිල මුදල් කොපමණ හරි හම්බ කරගෙන පැමිණියත් ඒවායින් කිසිදු ඵලක් නැති වෙනවා.
මෙවැනි තත්ත්වයන් අවධානයට ගනිමින් මැද පෙරදිග හෝ වෙනත් රටක ගෘහ සේවය සඳහා පිටත්වන කාන්තාවන්ගේ ජීවිත ආරක්ෂාවට අදාළව නීතිමය ප්‍රතිපාදන, රක්ෂණ ආවරණ, වගකිව යුතු නිලධාරීන් හා ආයතන විසින් සකස් කිරීමට පියවර ගත යුතුයි.
ඒ වගේම අඩු වයස් දැරියන් හා විවාහ ජීවිතයට ඇතුළත් නොවූ කාන්තාවන් විදේශගත වීමේදීත් දැඩි නීතිරීති අවශ්‍යයි. විශේෂයෙන් තමන්ගේ ආදායම ගැන පමණක් සිතා කාන්තාවන් විදේශගත වීමට ‍පොළඹවන, අනුබල දෙන විදේශ රැකියා නියෝජිත ආයතන, තැරැව්කරුවන් සම්බන්ධයෙන්ද දැඩි නීති රීති යෙදිය යුතුයි.
එවැනි තත්ත්වයන් සමාජයේ සුබ සිද්ධියට සහ යහපැවැත්මට අවශ්‍යයි. පෙරදිග රටක් වශයෙන් කාන්තාව පවුලෙන් වෙන්වීම සුදුසු බව කෙසේවත් කිව නොහැකියි.
ඒ වගේම ශ්‍රී ලංකාවේ දුප්පත් පවුල් නගා සිටුවීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් සකස් විය යුතුයි. ගෘහ ආශ්‍රිත ස්වයං රැකියා ව්‍යාපාර ඇති කිරීමට අවශ්‍ය දැනුම, උපකරණ හා ප්‍රාග්ධනය ලබා දී නිරන්තර අධීක්ෂණය යටතේ ඔවුන් නගා සිටුවිය යුතුයි.
කාන්තාව මුහුණ දෙන ආර්ථික ගැටලු නිරාකරණය නොකර විදේශගත වීම වැළැක්විය නොහැකියි. ආර්ථික ගැටලු නිරාකරණය වුවහොත් කාන්තාව විදේශගත වීමත් වැළැක්වෙනවා. දුවා දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, ඔවුන්ට හොඳ ආරක්ෂාවක් තිබිම නිසා පවුල් සංස්ථාව ශක්තිමත් වෙනවා. ඒ වගේම අනෙක් පසින් සමාජය පරිහානියට පත්වීම වෙනුවට ජීවත්වීමට සුදුසු පරිසරයක් ගොඩනැගීමත් සිදු වෙනවා.

සෑම කාන්තාවන් හතර දෙනෙකුගෙන්ම අයෙක් වධ හිංසාවට ලක්වෙනවා

නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සභාපතිදිමුතු ආටිගල

කාන්තාවන් මැද පෙරදිග යාම ප්‍රධාන තැනකට ඇවිත්. නමුත් ඔවුන් විදේශ ගතවන්නේ ඇයි යන්න සිතිය යුතුයි. ඈත ගම්වල ජීවත්වන කාන්තාවන්ට තමන්ගේ නිශ්චිත රැකියාවකට යොමුවිය හැකි මාර්ගයක් නැහැ. අධ්‍යාපනයකුත් නැහැ.
අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වී තිබෙන්නේ විදේශගත ශ්‍රමිකයන් මාර්ගයෙන් උපයන විදේශ විනිමය. ඔවුන් මැදපෙරදිග රටවල විනෝදයෙන් සහ පහසුවෙන් කරන රැකියාවක් මගින් නොවෙයි මේ ආකාරයට විදේශ විනිමය සොයන්නේ. විදේශගත ශ්‍රමික ප්‍රජාවෙන් 2/3ක් කාන්තාවන්. මෑතකදී කළ සමීක්ෂණයකට අනුව තහවුරු වී තිබෙනවා විදේශගත සෑම කාන්තාවන් හතර දෙනකුගෙන්ම එක් අයෙක් ශාරීරික වද හිංසනයට ලක්වෙනව බව.
ඒ වගේම විදේශගත කාන්තාවන්ගෙන් සියයට තිහක ප්‍රමාණයක් සඳහා වැටුප් ලැබෙන්නේ නැහැ. 2005 වසරේ සිට 2013 වනතුරු සිර ගෙදරට වී සිටි රිසානාට ඒ කාලය තුළ ඩිනාර් 1ක් ලැබුණේ නැහැ. අපි නොදන්න අපට වාර්තා නොවන තවත් ඕනෑතරම් සිදුවීම් අප අතර තිබෙනවා.
ඒ දේවල් ගැන කතා කරන්න කිසිසේත් ඉදිරිපත් වෙන්නෙ නැහැ. මෙය සුළුකොට තැකිය නොහැකි බරපතළ තත්ත්වයක්. නිෂ්පාදන ආර්ථිකය වැඩි කරනවා යන්නෙන් අදහස් වන්නේ භාණ්ඩ නිෂ්පාදනය වැඩිකිරීමයි. අද වනවිට ඇඟලුම්
නිෂ්පාදන කෝටාවක් අපට අහිමි වෙමින් තිබෙනවා.
එවැනි වටපිටාවක ආදේශකය වශයෙන් කාන්තාව යොදාගෙන විදේශ විනිමය සෙවීමට උත්සහා කිරීම අනුමත කළ නොහැකියි.
අපේ ජනාධිපතිවරයා අයවැය කතාවේදී කියනවා ඩොලර් බිලියන 6ක් වන විදේශ විනිමය ප්‍රමාණයක් විදේශගත ශ්‍රමිකයන් විසින් උපයන බව සහ 2014 වර්ෂය වනවිට එය ඩොලර් මිලියන 10ක් බවට පත්කරගැනීම ඉලක්කය බවත්.
ආණ්ඩුව එය කරන්න හිතාගෙන සිටින්නේ තවතවත් අපේ රටේ සිටින කාන්තාවන් පිටරට වහල් සේවය සඳහා යෙදවීම මගින් ආණ්ඩුවේ සංදර්ශනවලටත්, පාරවල් නිර්මාණයට පිහිණුම් තටාක ඉදිකිරීමටත් මුදල් සොයන්නේ අපේ කාන්තාවෝ විසින්. ආණ්ඩුව මෙහි තිබෙන ඛිෙදජනක තත්ත්වය ගැන හොඳින්ම දැන සිටියත් පියවර ගැනීමට පසුබට වන්නේ ඒ නිසයි.අපේ රටටත් වඩා දුප්පත් ඉතියෝපියාව, බංගලාදේශය, සුඩානය වැනි රටවල් පවා සෞදියට කාන්තාවන් රැකියා සඳහා යැවීම සිදු කරන්නේ නැහැ. ඒ වගේම පිලිපීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි රටවල කාන්තාවන්ද ගෘහ සේවය සඳහා සෞදියට යැවීමක් කරන්නේ නැහැ.
පිලිපීන ජාතික කාන්තාවකට මැදපෙරදිග රටක ගෘහ සේවයේ යෙදී සිටියදී එහි ගෙහිමි ස්වාමියා විසින් අතවර කිරීමට උත්සාහ කිරීමේදී ඊට විරුද්ධ වන කාන්තාව විසින් පිහියකින් ඇන එම ස්වාමියාව මරණයට පත්කරනවා. එම සිදුවීමේදී පිලිපීනය වහා මැදිහත් වී සටන් කර තම රටෙන් ගිය ගෘහ සේවිකාව ඉක්මනින්ම ගෙන්වා ගත්තා. ඒ වගේම ඔවුන් ඇයට විශාල වන්දියකුත් ලබාගත්තා.
නැවතත් ඉන්දුනීසියානු කාන්තාවකගේ හිස ගසා දැමීමක් සෞදියේදී සිදුවුණා. ඒ අවස්ථාවේ ඉන්දුනීසියාවේ රටේ පාලකයා වහාම ඉදිරියට ඇවිත් ඉන්දුනීසියානු කාන්තාවන් නැවත ගෘහ සේවය සඳහා සෞදියට යැවීම නොකරන බව කියනවා. ඒ වගේම අදත් ඉන්දුනීසියානු කාන්තාවන් ගෘහ සේවය සඳහා සෞදියට යන්නේ නැහැ.
නමුත් අපේ රටේ රිසානා වෙනුවෙන් බලධාරීන් මැදිහත් වුණේ නැහැ. හොර ඒජන්සිකරුවන්ට රිසානා රට යවන්න හොර ලියවිලි හදන්න හැකි වාතාවරණය රටේ බිහිවීමට මේ වගකිව යුත්තන් වගකිව යුතුයි.
රිසානා මරා දමා තිබියදීත් අපේ රටේ වගකිව යුතු අමාත්‍යවරයෙක් පාර්ලිමේන්තුවේ කියනවා අපි රිසානා මුදාගන්නවා කියලා. තර්කානුකූල බුද්ධියක් තිබෙන ඕනෑම කෙනෙකුට අවබෝධ වෙනවා මෙතැන ක්‍රීඩාවක් සිදුවෙන බව. රිසානාට තමන්ගේ ප්‍රකාශය තමන්ගේ භාෂාවෙන් කරන්නවත් මැරෙන තුරු තමන් මැරෙන බවවත් දැනගැනීමට නොහැකි වුණා.
රිසානා කියන්නේ මේ ඛිෙදවාචකයේ එක පැතිකඩක් පමණයි. තවදුරටත් කාන්තා ශ්‍රමය මගින් මුදල් සෙවීමට සිතන ආණ්ඩුවක් පවතින තුරු රිසානාලා මියයාම, ආරියවතීලාට ඇණ ගැසීම, සුරේඛලාගේ මිනිය මෙරටට ඒම සිදුවීම වළක්වන්න බැහැ. 2012 වර්ෂයේදී මැදපෙරදිග ගෘහ සේවයේ යෙදී සිටි කාන්තා මළ සිරුරු 436ක් මෙරටට ආවා. විදේශගත වන කාන්තාවගේ වයස අවුරුදු 25ට වැඩිවිය යුතුයි කී පමණින් ආණ්ඩුවට ඇඟ බේරාගැනීමට බැහැ. අවුරුදු 25ට වැඩි කාන්තාව සෞදි ගියත් කාන්තාවන් ලක්වන පීඩාවන්වල වෙනසක් සිදුවෙන්නේ නැහැ.
1988 ලෝක ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව ළමයින් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමට සෞදි රජය එකඟවී තිබියදීත් රිසානා ළමා වියේදී මරණ දඬුවමට ලක්වෙනවා. අපේ බලධාරීන්ට බැරි වුණා රිසානාගේ පාස‍ලේ තිබුණු උප්පැන්න සහතිකය රැගෙන ඒ රටට ගිහින් රිසානාගේ වයස ඔප්පු කරගන්න.
කාන්තාවන් විදේශගත වන්නේ ඇයි කියන ප්‍රශ්නය අපි ආණ්ඩුවෙන් අසනවා. ඒ වගේම කාන්තාවන් විදේශගත වන්නේ ඇයි කියන හේතුව සොයා බලා විසඳුම් ලබාදිය යුතුව තිබෙන බවත් අප පෙන්වා දෙනවා. තවදුරටත් කාන්තා ශ්‍රමයෙන් ජීවත් නොවී මිනිසුන්ගේ ජීවිත සාර්ථක කරන වැඩපිළිවෙළක් අවශ්‍යයි.
අපේ රටේ යහපාලනයේ සැබෑ ස්වරූපය මෙයින් හෙළිදරවු වෙනවා. විදේශ ශ්‍රමිකයන්ගේ අවධානය හා රැකවරණය කෙරෙහි ඔවුන්ගේ ජීවිත කෙරෙහි තිබෙන අවතක්සේරුව මින් පිළිබිඹු වෙනවා.

මැදපෙරදිගින් සෙවූ මුදලින් සතුටින් ජීවත්වන පවුල් තිබෙනවා

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය දයා අමරසේකර

කාන්තාවන් මැදපෙරදිග සේවයට යාම නිසා ඔවුන්ගේ පවුල්වල පවතින ආර්ථික දුෂ්කරතා මගහැරී සතුටින් ජීවත්වන අවස්ථා තිබෙනවා. එවැනි පවුල් පිළිබඳව වාර්තා වන්නේ නැහැ. නමුත් මැදපෙරදිග රටවලට සේවයට ගොස් නොයෙක් වදහිංසාවලට ලක්වන කතුන් සම්බන්ධයෙන් විශාල වශයෙන් වාර්තාවීමට පටන්ගෙන තිබෙනවා.
තමන්ගේ පෞද්ගලික ආර්ථික
දුෂ්කරතා හේතුවෙන් මැදපෙරදිග ගෘහ සේවය සඳහා කාන්තාවන් යොමු වුවත් එමගින් විශාල සමාජයීය ප්‍රශ්න සංඛ්‍යාවක් උද්ගතවීමට පටන්ගෙන තිබෙනවා. නුපුහුණු, භාෂා දැනුමකින් තොර ශ්‍රමිකයෙකුට සිය ආර්ථික දුෂ්කරතාවලට පිළියමක් වශයෙන් තෝරාගත හැකි එකම විකල්පය බවට පත්ව තිබෙන්නේ මැදපෙරදිග ගෘහ සේවයට යොමුවීමයි.
තමන්ගේ දරුවෝ බඩගින්නේ සිටින විට, පාසල් උපකරණ නැතිව පාසල් යැවීමට නොහැකිවූ විට, ලස්සනට අඳින්න ඇඳුමක් නැති වුණාම, හිසට වහලක් තනාගන්න තියන ඕනෑකම වැනි තත්ත්වයන් නිසා කාන්තාවන් ගෘහ සේවය සඳහා යොමුවෙනවා.
මැදපෙරදිග රටවල ගෘහ සේවිකාවන් වශයෙන් සේවය කිරීමට කැමැති කාන්තාවන් වෙනුවෙන් හොඳ ඉල්ලුමක් පවතිනවා. කාන්තාවන් මැදපෙරදිග සේවය සඳහා යොමුවීම එකවරම නුසුදුසුයි කියන තීරණයට එළැඹීම සුදුසු නැහැ.
තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවන් ඉටුකරගැනීමටවත් නොහැකි තත්ත්වයක් උදාවූ විට එම කාන්තාවන් වෙනුවෙන් ඔවුන් නගාසිටුවීමේ විකල්ප ක්‍රමවේදයක් සකස්කර නැතිනම් හැකි එකම ක්‍රමයට ඔවුන් යොමුවීම සාමාන්‍යයි. ආර්ථික තත්ත්වය පිරිහීම නිසා ජීවිත අවදානම ගැන පවා නොසිතා කටයුතු කිරීමට
පෙළඹෙනවා.මැදපෙරදිග ගෘහ සේවය සඳහා කාන්තාවන් යොමු කිරීමට පෙර විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් සිදුකෙරෙන වැඩපිළිවෙළ ප්‍රමාණවත් නැහැ. තමන් ගෘහ සේවයට පිටත් වන රටේ පවතින නීතිය, ඔවුන් සේවය කරනතුරු වගකීමට බැඳෙන ගිවිසුම ගැන මෙන්ම සේවය කරන අතරතුර සිදුවන අනතුරකදී හෝ හදිසි තත්ත්වයක් මත ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් දැනුවත් කළ යුතුයි.විශේෂයෙන් කාන්තාව මැදපෙරදිග සේවය කර උපයා ගන්නා මුදල්, ආර්ථික සවිමත් භාවය ගැන වගේම ඔවුන් මැද පෙරදිග ගෘහ සේවයට යාම නිසා ඔවුන්ගේ පවුල්වල ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳව දැනුවත් කළ යුතුයි.
සාමාන්‍යයෙන් වැඩිවිය පත් දියණියක් පියා සමග තනිකර යාම නිසා ඇතිවිය හැකි තත්ත්වය, ස්වාමියා වෙනත් කාන්තාවන් ඇසුරට යොමුවීම, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම, දරුවන් නොයෙකුත් නීතිවිරෝධී ක්‍රීඩාවලට යොමුවීම, දරුවන්ගේ භාරකරුවන් විසින් දරුවන්ට තාඩනපීඩන සිදුකිරීම ආදිය සිදුවිය හැකි බවට ඇයට ඒත්තු ගැන්විය යුතුයි. එවැනි සිදුවීම් ඕනෑතරම් වාර්තා වන නිසා පුවත්පත් සිරස්තල යොදා ගනිමින් ඔවුන්ගේ සිත්තුළ තම පවුල පත්විය හැකි අවදානම පිළිබඳ දැනුවත් කළ යුතුයි.
එවැනි දැනුවත් භාවයක් ලැබිම නිසා සමහර විට කාන්තාවන් විදේශගත වීම වෙනුවට වෙනත් විකල්ප ආර්ථික වැඩපිළිවෙළකට යොමුවිය හැකියි. නොඑසේ නම් තමුන් තම රටෙන් බැහැරව සිටින තුරු පවු‍ලේ ආරක්ෂාව දරුවන්ගේ ආරක්ෂාව සහ එකිනෙකා අතර බැඳීම් දුරස්ථ නොවන ආකාරයෙන් කටයුතු කිරීමට පෙළෙඹෙයි.
මැදපෙරදිග ගෘහ සේවයට යන කාන්තාවන්ට වසරකට වරක් හෝ නැවත තම මව්රටට පැමිණ යාමට හැකිවන ලෙස කටයුතු යෙදිය හැකි නම් එය වඩාත් සුදුසුයි. එවැනි ක්‍රමවේදයක් යෙදීමෙන් පවුල් අතර සබැඳියාව බිඳී යනවා වෙනුවට සබැඳියාව වැඩි විය හැකියි. ස්වාමියාත් දරුවාත් සිය භාර්යාව, මව ඉතා ඉක්මනින් තමන් වෙත එන බව දැන සිටින නිසා සමාජයේ අද පවතින තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් දැකගැනීමට හැකියාව උදාවිය හැකියි. කාන්තාවන් මැදපෙරදිග ගෘහ සේවයට යොමුවුණු බොහෝ පවුල් අද වනවිට බිඳුණු පවුල් බවට පත්ව තිබෙනවා.මෙහිදී සමාජ සේවා අමාත්‍යංශය සමග සම්බන්ධ කර මව, බිරිඳ මැදපෙරදිග ගෘහ සේවයට පිටත් වුණු පවුල්වල තත්ත්වය නිරන්තරයෙන් සොයා බැලෙන ක්‍රමවේදයක් සකස් කෙරෙනවා නම් එයද වැදගත් විය හැකියි. තමන්ගේ රටේ ජීවත්වීම සඳහා සුදුසු ආර්ථික තත්ත්වයක් ගොඩනංවාගැනීමට නොහැකි නම් ඔවුන්ට වෙන ගත හැකි පියවරක් නැහැ.
නගරබද ප්‍රදේශයෙන් තරමක් ඈතට යනවිට හමුවන නිවෙස්වල සිටින සමහර කාන්තාවන් පවසන්නේ හිසට වහලක් ඇතිව ඉන්නේ මැදපෙරදිග ගෘහ සේවයට ගිහින් සොයා ගත්ත මුදල් නිසා බවයි.රිසානා නෆීක් තරුණිය දරුණු ඛිෙදවාචකයකට මුහුණපෑවේ අරාබි නීතියේ තිබෙන දැඩි දරදඬු ස්වභාවය නිසයි. තමන් සේවය කරන රටේ නීතිය ගැන විශේෂයෙන්ම දැනුවත් භාවය තිබිය යුතුයි. අපේ සමහර කාන්තාවන් ගෘහ සේවය සඳහා වෙනත් රටකට පිටත්ව ගිය අවස්ථාවල ඒ රටවල අනාචාරයේ යෙදෙනවා. ඔවුන්ගේ පවුල් අමතක කර දමා තමන් ජීවත්වූ සංස්කෘතිමය වටපිටාව සම්පූර්ණයෙන්ම අමතක කර දමනවා. තවත් සමහරෙක් මැදපෙරදිග රටවල වසර ගණනක් ගෘහ සේවයේ යෙදී නැවත ලංකාවට පැමිණීමෙන් පසු අවුරුදු ගාණක් තමුන් ජීවත් වූ වටපිටාව අමතක කර වසර කිහිපයක් සේවය සඳහා ගොස් සිටි රටේ ජීවන රටාව අනුව ජීවත්වීමට උත්සාහ කරනවා. වෙනස්ම සංස්කෘතියක් අපේ සංස්කෘතිය තුළ අනුකරණය කිරීමේ උත්සාහයක යෙදෙනවා.මෙවැනි තත්ත්වයන් නිසාත් සමහර කාන්තාවන්ගේ පවුල් ජීවිත විනාශ වෙනවා. වැටුප ගැන පමණක් දැනුවත් නොකර මැදපෙරදිග රටකට යාමට පෙර ඒ නිසා ඇතිවිය හැකි තත්ත්වයන් දැනුවත් කළ යුතුයි.විශේෂයෙන් මැදපෙරදිග ගෘහ සේවයට යවන කාන්තාවන් වෙනුවෙන් සමාජ ආරක්ෂණ
වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි.




http://lakbima.lk/index.php?option=com_content&view=article&id=6729:2013-01-30-05-33-46&catid=48:2012-04-02-08-50-52&Itemid=75

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons