හලාල් මිථ්‍යාව - මෙය මව්බිම පුවත් පතෙහි පලවු ලිපියකි


හලාල් මිථ්‍යාව

"පාකිස්තානයේ ජනගහනයෙන් 50%ක් අයඩීන් උෟනතාවයෙන් පෙළෙනවා. එහෙත් ජනතාව අයඩීන් මිශ්‍ර ලුණු පරිභෝජනය කරන්නේ නැහැ" -පුවතක්.



ඔව්! පාකිස්තානය ජනගහනයෙන් 50%ක්ම අයඩීන් උෟනතාවයෙන් පෙළෙනවා. නමුත් ජනතාව විශ්වාස කරන්නේ අයඩීන් ලුණු ආහාරයට ගතහොත් කාන්තාවන් වඳ භාවයට පත්වන බවයි. අයඩීන් උෟනතාවයෙන් පෙළෙන ගැහැනු අයඩීන් නැතිකම නිසා බෙල්ලේ ගෙඩි ඇති කරගෙන මන්දබුද්ධික දරුවන් බිහි කරනවා. අයඩීන් ආහාරයට ගත් විට කාන්තාවන් වඳ භාවයට පත්වේ යැයි කියන අදහස් ජනතාවට දෙන්නේ කවුද?


ආගමික නායකයෝ! යුනිසෙෆ් වැනි එක්සත් ජාතීන්ගේ ආයතන සහ බටහිර රටවල ඇත්තෝ අපට අයඩීන් කවන්න හදන්නේ ඇයි දැයි ඔවුන් අසනවා. ඒ වගේම ඊට හේතු විදියට ඔවුන් කියන්නේ එය කරන්නේ බටහිර රටවල් ඔවුන්ට කරන කුමන්ත්‍රණයක් බවයි. ඒ කුමන්ත්‍රණය වන්නේ අපේ ගැහැනුන්ට අයඩීන් කවා ඔවුන් වඳ කාන්තාවන් බවට පත් කරවීමයි! ඔන්න පාකිස්තානයේ ආගම් නායකයෝ ජනතාවගේ චින්තනය පාලනය කරන විදිය.

• මිථ්‍යාව තුළින් ජනතා චින්තනය පාලනය කිරීම

රටක බලය ලබා ගැනීමට නම්, නම් කළ යුතු දේ වන්නේ ජනතා චින්තනය පාලනය කිරීමයි. එනම් ජනතාවට තම කල්ලියේ හෝ පක්ෂයේ චින්තනය ආදේශ කිරීම තුළින් තමන්ට යා යුතු මාර්ගයේ ජනතාව ගමන් කරවීම. ඔය විදියට මුළු ඉතිහාසයේම සෑම ආගම් නායකයාම ඔය දේ කළා.

රජවරුන්ද කළේ එයයි. නමුත් මෑතකදී ද්වේෂ සහගත අන්තවාදී විදියට වර්ගවාදී චින්තනයක් ජනතාවට පෙවූ පුද්ගලයා සහ කල්ලිය තමයි හිට්ලර් සහ ඔහුගේ නාසිවාදී පක්ෂය. එදා කාර්මික අතින්, අධ්‍යාපනය අතින් සහ සිවිල් නිදහස අතින් අපට වඩා බොහොම ඉදිරියෙන් සිටි ජර්මනිය පවා ඔය විදියට හිට්ලර්ගේ වර්ගවාදී චින්තනයට යටත් කර ගත්තා නම් අපේ වැනි දුර්වල සිවිල් සමාජයක් යටත් කර ගැනීම කෙතරම් පහසුද?

අපේ රටේ එදා දේශපාලන බලය ලබා ගත්තේ වර්ගවාදී චින්තනය තුළින්. උතුරේ දෙමළ නායකයෝ සිංහල විරෝධී සටන් පාඨ කියලා 50-50 බලය ඉල්ලන විට දකුණේ බණ්ඩාරනායකලා සඟ, වෙද, ගුරු, ගොවි කම්කරු යන පංච මහා බලවේග ගැන කතා කොට සිංහල වර්ගවාදී චින්තනය ගෙන ආවා. ඔය කියන සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන පංච මහා බලවේගය යනුවෙන් හඳුන්වන්නේ වෙනත් වචනවලින් කියන්නේ නම් සිංහල බෞද්ධ බලවේග කියලයි. වෙනත් ආගමික පූජකතුමන්ලා නැහැ නොවැ. වෙද මහත්තුරුත් සිංහල බෞද්ධයෝනෙ. ගොවියෝ සහ කම්කරුවොත් ඒ වගේම තමයි. කොළේ වහලා වර්ගවාදී ආගම්වාදී චින්තනයක් ඇති කළේ එහෙම තමයි. එහි ප්‍රතිඵල අපි දැක්කා නොවැ ඇති වුණ යුද්ධයෙන්.

• දැනට ඇති හලාල් පිස්සුව

එදා දෙමළ විරෝධී චින්තනය දැන් ගෙනැවිත් තිබෙන්නේ මුස්ලිම් විරෝධී චින්තනයක් විදියටයි. ඔය මුස්ලිම් විරෝධී චින්තනය පටන් ගත්තේ ගව ඝාතනයට විරුද්ධවයි. එසේ ගව ඝාතනයට විරුද්ධ වුණේ ගවයන්ට තිබෙන ආදරය නිසා නොවෙයි.

ගවයන්ට ආදරේ නම් අර වැලි පාර දිගේ යන හරකුන්ට තණකොළ ටිකක්, පුන්නක්කු ටිකක් දෙන්න පුළුවන් නොවැ. ගව ඝාතනයට විරෝධය කියා ගෙන ආවේ මුස්ලිම් විරෝධයක්. හේතුව ගව ඝාතනය කරන්නේ මුස්ලිම් ජනතාව නිසයි. දැන් දැන් එදා වහෙන් ඔරෝ භාෂාවෙන් පටන් ගත් මුස්ලිම් ජාතිවාදය අද වන විට එළිපිටම රඟපාන්න පටන් අරන් තිබෙනවා. මුස්ලිම් සාප්පු වර්ජනය කරන්නැයි කියා ඊමේල් පණිවුඩ බෙදා හරිනවා.

ජාතිවාදී සංඝයා වහන්සේ කොටසක් මුස්ලිම් ජනතාව බෝවීම වැඩියි කියා එළිපිටම පවසනවා. බොදු බළසේනාව දැන් සිංහල කාන්තාවන් පවුල් සංවිධාන වැඩකටයුතුවලට පවා ඉඩ නොදෙන තැනට පැමිණ තිබෙනවා. මේ බෞද්ධයා ආරක්ෂා කරගන්න ඉදිරිපත් වී සිටින සඟ සංවිධානය පවසන ලොකුම බොරුව වන්නේ සිංහල බෞද්ධ ජනතාව ජනගහනයෙන් සුළු කොටසක් බවට පත්වී ගෙන යනවා කියන එක.

• සිංහල ජනතාව අඩු වෙලාද?

එදා 1912 දී ලංකාවේ සිංහල බෞද්ධ ජනතාව සිටියේ 67% යි. නමුත් 2001 වන විට එම සංඛ්‍යාව 76% දක්වා වැඩි වෙලා. 2001 වන විට ලංකාවේ සිටි හින්දු ජනතා ප්‍රතිශතය 7.8%ක්. මුස්ලිම් ජනතාව සිටියේ 8.5%ක්. මෙම සංඛ්‍යාවලින් පෙන්වන්නේ සිංහල බෞද්ධ ජනතාව අඩුයි වගේද? මෙදා 2011 දී පෙන්වන තව වැදගත් සංඛ්‍යාවක් තිබෙනවා. එනම් දිස්ත්‍රික්කවල ජනගහනය වැඩිවීමේ ශීඝ්‍රතාවයි.

මෙන්න 1%ක් හෝ ඊට වඩා වැඩි ජනගහනය වර්ධනය ශීඝ්‍රතාවන් දක්වන දිස්ත්‍රික්ක, පිළිවෙළින්, අනුරාධපුරය, මොනරාගල, පොළොන්නරුව, කුරුණෑගල යන දිස්ත්‍රික්කයි. මෙම දිස්ත්‍රික්කවල වැඩියෙන්ම සිටින්නේ සිංහල බෞද්ධ ජනතාවයි. දැන් මුස්ලිම් ජනතාව වැඩියෙන් සිටින දිස්ත්‍රික්ක දෙක දෙස බලමු. එනම් අම්පාර සහ පුත්තලමයි. අම්පාරේ ජනගහන වර්ධන වේගය 0.81%යි. පුත්තලමේ එම වේගය 0.66% යි.

දැන් ඔබට පෙනෙනවා නොවේද ඔබේ චින්තනය ඉදිරියට ගෙන යෑමට සිටින සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ඔබේ චින්තනය නොමඟ යවන විදිය!

• ආගම් අන්තවාදය

ආගම් අන්තවාදය ඇතිවීම අද ඊයේ වුණු දෙයක් නොවෙයි. යුදෙව් ජනතාව එක් දෙවියකු වටා යුදෙව් ආගම තනා ගත් පසුව ඊජිප්තුව වහලුන් කර ගත් දා සිට ආගම් අතර තරගයක් තිබුණා. 16 වැනි ශත වර්ෂය වන විට ක්‍රිස්තියානි ආගම සහ ඉස්ලාම් ආගම අතර කෘෘෂේඩ් නමැති යුද්ධය පැතිර ගියා.

මෙම ආගම් අතර යුද්ධය ඇතිවීම නිසා සියලු ආගම්වල පරිවර්තනයක් සහ පරිහානියක් ඇතිවුණා. එනම් ආගමික අන්තවාදය ඇතිවීමයි. ආගම්වලට ඇති වන තර්ජනවලට මුහුණ දීම සඳහා යුදෙව් ආගම, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම යන ආගම් අන්තවාදය කරා ගියා. යුදෙව්වෙක් නම් හීබෘෘ භාෂාව කතා කරන්න ඕනෑ. රැවුල සහ කොණ්ඩය වවන්න ඕනෑ.


ක්‍රිස්තියානි භක්තිකයෙක් නම් පල්ලියෙන් කියන සෑම දෙයක්ම විශ්වාස කරන්න ඕනෑ. ගැලිලියෝ නිවාස අඩස්සියේ තබන්න හේතු වුණේ, පෘථිවිය හිරු වටා යනවා විනා, හිරු පෘථීවිය වටා දුවන්නේ නැහැ කියා ඔහු කී නිසයි.


එදා යුරෝපයේ කතෝලික පරීක්ෂණ සභාව විශ්වාසය කඩ වුණු බොහෝ කිතුනුවෝ මරා දැමුවා. අද ඉස්ලාම් ධර්මය සිතන්නේ ඔවුන්ට බාහිර ලෝකයෙන් තර්ජන තිබෙන බවයි. ඒ නිසා ඔවුන් අන්තවාදය කරා ගොස් තිබෙනවා මෙවැනි අන්තවාදයක් ඇති වන විට, ආගම් ආරක්ෂා කරන්න එහි භයානකකම වන්නේ අන්‍යාගමිකයෝ එම ආගම දෙස බලන්නේ අන්තවාදී ඇසින්. ඔවුන් හිතන්නේ එම ආගම කියන්නේ අන්තවාදී එකක් කියලයි. එහි ඇත්තක් නැහැ. ක්‍රිස්තියානිවාදය මිනිස්සු මරණ ආගමක් නොවනවා වාගේම ඉස්ලාම් ධර්මය වෙඩි තබා, ගල් ගසා ගැහැනු මරණ ආගමකුත් නොවේ. නමුත් ඉස්ලාම් ධර්මය වෙනුවෙන් අන්තවාදී ක්‍රියා කරන කණ්ඩායම් සිටිනවා.


• බෞද්ධ ධර්මය

බෞද්ධ ධර්මය කවදාවත් අන්තවාදී නොවුණු ධර්මයක්. එයට හේතුව වන්නේ බුද්ධාගමේ මූලික න්‍යායක් වන්නේ මධ්‍යම ප්‍රතිපදාවයි. මධ්‍යම ප්‍රතිපදාව මුල් ගලක් වූ ආගමකට කවදාවත් අන්තවාදය කරා යන්න බැහැ. බෞද්ධාගම ලෝකයේ බලවත් ආගමක් නොවුණේ ඒ නිසා වෙන්න ඇති. ලංකාවේ බුද්ධාගමට ක්‍රිස්තියානි ආගමෙන් හෝ ඉස්ලාම් ආගමෙන් තර්ජනයක් ඇති වන්නේ නැහැ. මා ඉහත සංඛ්‍යාත්මක දත්ත තුළින් පෙන්වූයේ එයයි. නමුත් දැන් නම් තර්ජනයක් තිබෙනවා. ඒ තමයි බුද්ධාගම රකින්න කියා ඉදිරිපත් වී සිටින මේ අන්තවාදී බෞද්ධයන්ගෙන්! ඔවුන් තමයි ලොකුම මිථ්‍යා දෘෂ්ටිකයෝ!

http://www.mawbima.lk/89-11789-news-detail.html

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons