මොරටු සරසවිය සහ නිකාබය

ෆාතිමා සහාර් විසින් රචිත මෙතන පළවූ ලිපියේ සිංහල අනුවර්තනයයි.
http://groundviews.org/2013/12/09/the-niqab-and-the-university-of-moratuwa/ මොරටුව සරසවියේ වාස්තු විද්‍යා පීඨයේ පළමු වසර සිසුවියක වන මගේ නම ෆාතිමා සහාර් ය. විශ්වවිද්‍යාලයේ නිකාබ් තහනම නිසා පීඩාවට පත්ව සිටින සිසුවියන් තිදෙනාගෙන් කෙනෙක්මි.

මා මෙම ලිපිය ලිවීමට සිතුවේ සිදුවීම සම්බන්ධයෙන් කතාවේ එක් පැත්තක් පමණක් මාධ්‍ය තුලින් ප්‍රචාරණය වන නිසාත්, සිදුවීමේ අනෙක් පස සැඟවී ඇති නිසාත්ය. සිදුවීම සම්භන්ධයෙන් වාර්තා පල කල මාධ්‍ය ආයතන, අපෙන් කිසිවක් නො විමසු අතර, විශ්වවිද්‍යාල බලධාරීන්ගෙන් පමණක් කරුණු විමසා ඇත. අපගේ මුහුණු දැකීමට බලවත් අවශ්‍යතාවයක් දැක්වූ බලධාරීන්ට පවා අපගේ අදහස් වලට සවන් දීම අවශ්‍ය නොවුනි. ඔවුහු නිකාබය තහනම් කිරීමට පෙර අපගෙන් අදහස් විමසීමක් හෝ සාකච්ඡාවක් නොකළහ. කාන්තා හඬ යටපත් කිරීමක් සිදුවී තිබෙන මේ අවස්ථාවේදී මා මෙසේ කතා කල යුතු බව සිතමි.

මා උපත ලැබුවේ අනාථ කඳවුරකය. 1990 දී එල්.ටි.ටි.ය විසින් මන්නාරමෙන් ඉවත් කල මුස්ලිම් ජනතාව අතර මාගේ දෙමාපියන්ද වුහ. අනාථ කඳවුරුවල බහුතරයක් සිසුන් මෙන් මමද විශ්ව විද්‍යාල අධ්‍යාපනය දුටුවේ අනාගතය පලදායි කර ගැනීමට ඇති මගක් ලෙසත්, අපගේ දෙමාපියන් මුහුණ දුන් ආකාරයේ අසාධාරණයන් වලට එරහිව නැගීසිටි හැකි ශක්තියක් ලෙසය. පුත්තලමේ සිට මොරටුව දක්වා වූ දුෂ්කර ගමන සම්පූර්ණ කිරීමට එම බලාපොරොත්තු දිරියක් විය.

මොරටු සරසවිය තුල නිකාබය මේ වනතුරු ප්‍රශ්නයක් නොවුන අතර නිකාබය පැලඳු පළමු සිසුවියද මම නොවෙමි. මීට වසර කිහිපයකට පෙර නිකාබ්ධාරි පළමු සිසුවිය සිය උපාධිය අවහිර සම්බාධක වලින් තොරව සම්පූර්ණ කර විශ්වවිද්‍යාලයෙන් පිටත් වුවාය. අදාළ තීරණය බලපා තිබෙන අනෙක් සිසුවියක් නිකාබය පැළඳීම ආරම්භ කල ඇත්තේ 2011 සැප්තැම්බරයේදීය. වසර දෙකක් පුරා ප්‍රශ්නයකින් තොරව නිකාබය පැළඳි ඇය හට දැන් නිකාබය පැළඳීම තහනම්ය. දැන් මේ සිදුවන්නේ කුමක්ද? ලංකාවේ මුසල්මානුවන්ට එරහිව නැගෙන සමාජ-දේශපාලනික වෙනස් වීමේ ප්‍රතිපලයක්ද? මේ සිදුවීමෙන් පිළිඹිබු වන්නේ අපගේ නිදහස සීමා වීමක්ද?

විවිධත්වයෙන් පෝෂිත සංස්කෘතික පරිසරයකින් යුතු වූ මොරටු සරසවියට මා පිවිසෙන විට මා හට දැනුනේ අවංක ආඩම්බරයක් සහ සතුටකි. මේ පරිසරය තුල අප හට නිදහස තිබේයැයි සිතුවෙමි. විශ්වවිද්‍යාල දිවියේ හරය මෙය බව සිතුවෙමි.

2013 මාර්තුවේදී බොදුබල සේනාව විසින් සිය “හලාල් සටන” අවසන් කරන බව නිවේදනය කළහ. ඒ දිනවලම අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන බවත් ඔවුහු පැවසුහ. හිජාබය සහ නිකාබයට එරහි සංග්‍රාමය, එනම් මුස්ලිම් කාන්තාවන්ගේ වස්ත්‍ර වලට එරෙහි සටනය. වසර ගණනක් මුළුල්ලේ මොරටු සරසවියට ප්‍රශ්නයක් නොවූ දෙය දැන් 2013 ජූලියේ ප්‍රශ්නයක් වී ඇත.
වරෙක මහාචාර්යවරයෙක් මා හට සැර කර කීවේ සරසවි “විනයට” නොහොබිනා බැවින් නිකාබය පලදීම අත් හල යුතු බවයි. 2013 ජූලියේ මා හට අවශ්‍ය වුවේ අනවශ්‍ය ප්‍රශ්න වලින් තොරව උපාධිය ලබා ගැනීම නිසා දේශන වලදී නිකාබය පැළඳීම අත් හැරියෙමි. සරසවි බිමට ප්‍රවේශ වන විට ආරක්ෂක නිලධාරිනියන්හට නිකාබය ඉවත් කර මුහුණ පෙන්වීම පෙර සිටම කලෙමි.

2013 අගෝස්තු පළමු දින සරසවි බිමට ඇතුල් වීමට උත්සහ කල විට ආරක්ෂක නිලධාරීන් පවසා සිටියේ උප කුලපතිගේ අණ අනුව මා හට සරසවියට ඇතුලත් වීමට ඉඩ දිය නොහැකි බවයි. මාධ්‍ය වලට පවසා තිබුනේ මා විසින් නිකාබය පැළදීමට අවසර ඉල්ලා තිබුන ලෙසයි. එය අසත්‍යයක් වන අතර, මා විසින් ඔවුන්ගේ තීරණය පිළිගත් බව පවසන වාර්තාවද අසත්‍ය වන්නේය.

2013 අගෝස්තු පළමු දින ගේට්ටු ප්‍රවේශය අවහිර වූ පසු මේ ගැන මිතුරන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව මම උප කුලපති වෙත විධිමත් ලෙස අභියාචනාවක් ඉදිරිපත් කලෙමි. 2013 ඔක්තෝබර් 11 දින උප කුලපති විසින් මවෙත ලිපියක් නිකුත් කල අතර, එහි සඳහන් වුයේ අදාළ කාරණය සම්භන්ධයෙන් තීරණය ගනු ලබනු ඇත්තේ සෙනෙට් සභාව සහ විනය කමිටුව විසින් බවය. අදාළ තීරණය මවෙත දැනුම් දෙන තුරු මා හට සරසවි බිමට ඇතුල් වීමට අවසර තිබෙන බවත් මේ ලිපියෙන් දැනුම් දී තිබුණි. මේ ලිපියෙන් මම ඉමහත් සතුටට පත් වුනෙමි. නමුත් එහිදී ඔවුන් කර ඇත්තේ (චෝගම් අවසන් වනතුරු) සෙල්ලමක් බව පසුව වටහා ගතිමි.

උප කුලපති ලිපියෙන් මවෙත සරසවි බිමට ඇතුලත් වීමට අවසර ලැබී තිබුනත්, ආරක්ෂක නිලධාරීන් ගේට්ටුවෙන් මා ඇතුල් කිරීම ප්‍රතික්ෂේප කළහ. ඒ, ඔවුන්හට මා ඇතුල් කිරීමට නියෝගයක් නොලැබී තිබු බැවිනි. මේ තත්වය යටතේ විශ්වවිද්‍යාලයෙන් තීරණයක් ලැබෙන තුරු මම බලා සිටියෙමි. ඔවුන් තීරණයකට එළැඹි බව අසන්නට ලැබුනත් මා හට කිසිදු දැනුම් දීමක් නොලැබුණි. එනිසා මම නැවත 2013 නොවෙම්බර් 24 දින සරසවියට ගියෙමි. නැවතත් ගේට්ටුවෙන් ඇතුලත් වීමට ඉඩ නොලැබුණි. සෙනෙට් සභාවේ තීරණය දැන ගැනීමට මට හැකි වුවේ එතැනදී ය. නිකාබය පැළඳීම තහනම් කර තිබුණි. මා වෙත ලැබී තිබෙන්නට නියමිතව තිබු ලිපියේ පිටපතක්, මගේ ඉල්ලීමට අනුව මට ලැබුනේ දෙසැම්බර හතර වැනිදාය.

තීරණයට හේතුව ලෙස ඔවුන් දක්වා සිටියේ ආරක්ෂක හේතු ය. මුලදී නම් ඔවුන් කියා සිටියේ මෙය විනය සහ ඇඳුම සම්බන්ධ දෙයක් බවයි. නිකාබය තහනම් කිරීමෙන් සරසවිය තිබුනට වඩා ආරක්ෂාකාරී වුනේ නැත. වුනේ පීඩනය සහ හිරිහැරය වැඩි වීම පමණයි. “ආරක්ෂක හේතු” හේතුවක් ලෙස ගෙන හැර පෑම අර්ථ විරහිත වනවා පමණක් නොව ව්‍යාජ ක්‍රියාවකි. අපේ සරසවි තුල (අවාසනාවන්ත ලෙස) ප්‍රචන්ඩ ක්‍රියා නිතර දකින්නට ලැබෙන වාතාවරණය තුල නිකාබය පළඳින ගැහැණු ළමුන් තිදෙනෙක්ගෙන් ආරක්ෂාවට වන හානියක් නැත.

ලිපියේ පවසා තිබුනේ “සිසුන් සරසවි බිම තුල මුහුණු විවෘතව තබා ගත යුතු ය”. ඒ ඇයි? සරසවිය අපව නිරතුරුව නිරීක්ෂනය කරනවා ද? ආරක්ෂක නිලධාරීන්ට සහ විභාගයන්හිදී මගේ මුහණ පෙන්වීමට මැලි නොවෙමි. නමුත් අන් අවස්තාවලදී මගේ ශරීරයෙන් කොතරම් පෙන්විය යුතුද යන තීරණය ගැනීම මගේ අයිතිවාසිකම නොවේද?

කාන්තාවන් විසින් තමන් කෙසේ දකින්නේද සහ ඔවුන්ගේ ඇඳුම ගැන සංවාදයක් ලොව පුරා සිදුවෙමින් පවතී. මෑතකදී කල සමීක්ෂණයකින් හෙළි වූ ආකාරයට වයස 11 සහ 21 අතර කාන්තාවන්ගෙන් හතරෙන් තුනක් ලිංගිකත්වය මත පදනම් වූ උසුළු විසුළු වලට පාසලේදී හසු වෙති. කාන්තාවන්ගෙන් දහයෙන් නමයක් පවසන්නේ, කාන්තාවන් පිලිබන්දව නිශ්චය කිරීමේදී හැකියාවට වඩා පෙනුම වැදගත් වන බවය.

මගේ ඇඳුම මේ තත්වයට විකල්පයක් ඉදිරිපත් කරයි. එම විකල්පය වූ කලී මා පිලිබදව නිශ්චය කරනවානම් මාගේ රූපය නොව මගේ හැකියාව සහ මනස සලකා බැලිය යුතු වීමයි. විශ්වවිද්‍යාලය සහ සෙනෙට් සභාව මා සමග එකඟ නොවනවා ඇති. නමුත් මා නම් විවාදයකට සූදානම්. සෙනෙටය නම් විවාදයෙන් පලා ගොස් ඇති අතර මනා ක්‍රියාවලියකින් හෝ ඇහුම්කම් දීමකින් තොරව නිකාබය තහනම් කර ඇත. විශ්වවිද්‍යාලයක් ක්‍රියාකළ යුත්තේ මෙසේ නොවේ.

මා නිකාබය පලදින්නේ කිසිදු පිරිමියෙක්ගේ අවශ්‍යතාවයක් නිසා නොවේ. මේ ප්‍රශ්නය ඇතිවූ විට මගේ පවුලේ සහ අසල්වාසී පිරිමි බොහෝ දෙනක් පැවසුවේ අධ්‍යාපනය උදෙසා නිකාබය අත් හරින ලෙසයි. (ඇතැමෙක් සිතන පරිදි) නිකාබය පැලදීම යනු (පිරිමියෙකුගේ) දමනයට පත්වීමක් නොවේ. මා උදෙසා නම් එය කොහෙත්ම එසේ නොවේ. නිකාබය හැඳ එලියට බැසීම උදෙසා සහ අධික අවධානය සහ නිග්‍රහ වලට මුහුණ දීමට ධෛර්යය බෙහෙවින් අවශ්‍යය. මගේ අයිතිවාසිකම් උදෙසා විශ්වවිද්‍යාලයට එරෙහිව නැගී සිටීමටද මට හැකියාව ලැබී ඇත්තේ ඒ ධෛර්යය නිසාය.



Mr.Who
- See more at: http://www.anvermanatunga.com/2013/12/13/nikabaya-saha-moratu-sarasawiya/#more-4615

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons