ලක්‌මවට කැළලක්‌ වන විදෙස්‌ ගෘහ සේවය




ලක්‌මවට කැළලක්‌ වන විදෙස්‌ ගෘහ සේවය
විද්‍යාව කොතෙකුත් දියුණු වුවත් ජීවීන් ජීවත්වන ප්‍රධාන ග්‍රහලෝකයක්‌ හැටියට පෘථිවිය ප්‍රමුඛ ස්‌ථානයට පත්ව ඇත. ජීවී අජීවී වස්‌තු අතර සත්ත්ව කොට්‌ඨාසය ප්‍රබල ක්‍රියාකාරිකයන් වේ. ක්‍රියාකාරීම සත්ත්වයා ලෙස මිනිසා ඉදිරියෙන් සිටී. ඒ මිනිස්‌ යන නාමයයි. උසස්‌ මනසක්‌ ඇති නිසා මිනිස්‌ යෑයි නම් කරති. සතුන් හා සැසඳීමේදී බොහෝ ක්‍රියාකාරකම් සමාන වුවත් මනස හා සැස» විට නිර්මාණශීලී සත්ත්වයකු ලෙස ඉදිරියෙන් සිටී.

මිනිසා ඊළඟ පරම්පරාවට නිර්මාණශීලී අත්දැකීම් දායාද කරයි. අනාගත පරපුර ද්වීලිංගික සබඳතාවලින් බිහි කරයි. මෙම කර්තව්‍ය සඳහා ගොඩනැගී ඇති ඒකකය පවුලයි. වර්තමාන ලෝකය තුළ පවුල් සංස්‌ථාවට ප්‍රමුඛස්‌ථානයක්‌ හිමි වේ. ලෝක සංස්‌කෘතික රටාව තුළ පවුල් සංස්‌ථාව විවිධ ආකාරයෙන් ගොඩනැගී ඇත. ගෝත්‍ර සමාජවල නම් ගෝත්‍රික නායකයා පදනම් වූ පවුල් රටාවක්‌ ඇත. ආසියාතික රටවල නීත්‍යනුකූල විවාහයන් ලෙස න්‍යෂ්ටික හා විස්‌තෘත පවුල් සංස්‌ථා දෙකක්‌ බිහි වී ඇත. විස්‌තෘත පවුල තුළ බොහෝවිට ආච්චි, සීයා, මව, පියා, දරුවන් ලෙස පරම්පරා තුනක සංස්‌කෘතික සබඳතා දැකිය හැකිය. න්‍යෂ්ටික පවුල තුළ මව පියා දරුවන්ට අමතරව මෙහෙකරුවන් ද දැකිය හැකිය. වර්තමාන ලාංකික සමාජය තුළ ප්‍රබල ලෙස බිඳවැටී ඇති පවුල න්‍යෂ්ටික පවුලයි. විස්‌තෘත පවුල තුළ ද ගැටලු නැතුවා නොවේ. න්‍යෂ්ටික පවුල තුළ පවුල්ගත සාමාජික සංඛ්‍යාව අඩු නිසා මව හෝ පියා එමගින් දිගුකාලීනව හෝ කෙටිකාලීනව වෙන්වීම ඉතා තදින් පවුල් සංස්‌ථාවට දැනේ.

ගෝලීය ආර්ථික රටාව තුළ ග්‍රාමීය ආර්ථික විෂමතා ප්‍රබල වී ඇත. වෙනස්‌වන තාක්‌ෂණික සංකල්ප ශීඝ්‍රයෙන් ගමට සම්ප්‍රේෂණය නොවීම තුළ දිළිඳු බව ප්‍රබල වී ඇත. නාගරික සමාජය තුළ ද සමාජ විෂමතාවය ප්‍රබල සාධකයක්‌ බවට පත්ව ඇත. මෙවන් ආර්ථික පසුබිමක්‌ තුළ මව, පියා දෙදෙනාටම රැකියාවේ යෙදීමට සිදුව ඇත. තරගකාරී ආර්ථිකය තුළ පවුල් සංස්‌ථාවට වැඩි මුදලක්‌ එකතුකර ගැනීම එහි අරමුණයි. එය තුළින් පවුලේ දියුණුව අපේක්‌ෂා කරයි. මේ සඳහා වඩාත් ගැලපෙන්නේ තම රට තුළ රැකියාවේ යෙදීමයි. යම් යම් ගැටලු මතු වුවත්, යම් පමණකට හෝ පවුල් සංස්‌ථාව එමගින් සුරක්‌ෂිත වේ.

රැකියාව සඳහා මව හෝ පියා විදේශ ගතවීම පවුල් සංස්‌ථාව දෙදරායැමට හේතුවක්‌ වී ඇත. පවුල් සංස්‌ථාව තුළ වැඩෙන දරුවන්ට මව පියාගේ ආදරය නිතර අවශ්‍ය වේ. රැකවරණයද නිතර අවශ්‍ය වේ. එසේ නොලැබෙන විට යහපත් මානසික ශක්‌තියකින් පෞරුෂ වර්ධනය සිදු නොවේ. දරුවන් නිරතුරු වර්ධනය විය යුත්තේ මව පියාගේ උණුසුම යටතේය. මව පියාගේ උණුසුම තරම් ප්‍රබල ශක්‌තියක්‌ දරුවන්ට නැත. තම දෙමාපියන්ගේ ආරගතිය පෙන්වන දරුවන් බිහිවන්නේ එවිටය. වසර 15 ක පමණ අඩු වයසේ පසුවන දරුවන්ට දෙමාපිය උණුසුම අවශ්‍ය වේ. තම තුරුලේ නිදන විට දෙමාපිය හදවතින් නැගෙන ආකර්ෂණ ශක්‌තිය දරුවා තුළට පිවිසේ. වසර 10 ක්‌ 15 ක්‌ දෙමාපිය තුරුලේ වර්ධනය වන දරුවාට නිරන්තරයෙන්ම ප්‍රබලව පෞරුෂ වර්ධනය අත්වේ. හීනමානී ගති නොපෙන්වයි. මානසික ශක්‌තියද ප්‍රබල වේ. අධිපීඩන චිත්තවේග මනසට ප්‍රවිෂ්ට වුවද ඒවා විඳ දරා ගැනීමේ ශක්‌තිය ඉහළ මට්‌ටමක පවතී.

පෙර පාසලේ සිට 13 ශ්‍රේණිය දක්‌වා ප්‍රාථමික, ද්විතීක අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට දෙමාපිය මඟපෙන්වීම හා උපකාර නිරන්තරව බලපායි. රට තුළ සේවය කරන දෙමාපියන්ගේ අඩුම තරමින් මසකට වරක්‌වත් අවධානය යොමුවේ. දෙමාපියන් විදේශ ගතවූවොත් එසේ දෙමාපියන් රට යැම පවුල් ඒකකය බිඳ වැටීමට බලපාන අතර එයින් මව විදේශ ගතවීම දරුවන්ට ප්‍රබල ලෙස බලපායි. අවුරුදු 15 ට අඩු දරුවන් කිහිපදෙනකු සිටින මවක්‌ විදේශගත වන්නේ තම සැමියාට දරුවන් රැකබලා ගන්නා ලෙස පවරමිනි. මාස කිහිපයක්‌ ගත වූ පසු එවන් මුදලින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරමින් සැමියා ජීවන රටාව කරගෙන යයි. එහෙත් බිරිඳ නිවසේ නොසිටීම තුළ ඇතිවන පියාගේ බිඳ වැටීම මසකට එවන සුළු මුදලින් ගොඩනඟා ගත නොහැක. ඔහුට දැනෙන හුදෙකලා බව දරුවන් සමඟ ගත කරමින් විඳ දරා ගනි. වැඩිහිටි දියණියන් සිටින පියවරු සිය බිරිඳගෙන් ලැබෙන අඩුව සම්පූර්ණ කර ගැනීම සඳහා දියණියන් හවුල් කරගනී. සිය දියණියන් ද තම මවගෙන් ලැබුණු ආදරය පියාගෙන් පැතීමේ ස්‌වභාවයක්‌ බවට පත්වී ඇත.

මෙම තත්ත්වය ප්‍රබල මට්‌ටමකට වර්ධනය වූ විට පියාගෙන් කෲර මානසික වද බන්ධනවලට ලක්‌වේ. පියා හුදෙකලාවීම තුළ දරුණු මානසික තත්ත්වයන් ඇතිවන්නට පුළුවන. ක්‍රමයෙන් දරුවන්ගේ පාසල් ගමනද අධ්‍යාපන කටයුතු ද අඩාල වේ. පියාගේ රැකවරණයෙන් ගිලිහෙන දරුවන් විවිධ ලිංගික අපචාරවලට යොමුවීම ද දක්‌නට ලැබේ. හුදෙකලා වන පියා අනියම් සබඳතා පවත්වා, එවන ලද මුදල් වියදම් කරමින් මානසික ශක්‌තිය ගොඩනඟා ගන්නට වෙහෙසවනු දක්‌නට ලැබේ.

මව වසර කිහිපයකට පසු පැමිණෙන්නේ ආසන්න මාස කිහිපයක වැටුප් සමඟය. එසේ පැමිණි මවට දක්‌නට ලැබෙන්නේ, අධ්‍යාපනය විකෘති වූ බිඳ වැටුණු පවුලකි. අවසානයේ ඉතිරිවූ දෙයක්‌ නැත. විදේශයෙන් උපයාගත් ඩොලර්වලට ගැටලුවලට පිළියම් දීමට නොහැක. සිය බිරිඳ තම නිවසට පැමිණියද සැමියා අනියම් සබඳතා සමඟ දරුවන් හැරදා පලා ගොස්‌ය. මාස කිහිපයක වැටුපක්‌ සමඟ පැමිණි මව පත්වන්නේ ඉතාමත් අසරණ තත්ත්වයකටය. කබලෙන් ලිපට වැටීමකි. ආර්ථික අගහිඟකම් හමුවේ, තම නිවස තුළ සිටම යම් ආර්ථික ශක්‌තියක්‌ ගොඩනඟා ගැනීමට උත්සාහවන්තයකුට හැකියාවක්‌ නැත්තේ නොවේ. එවිට පවුල් සංස්‌ථාව සුරක්‌ෂිත වන ගමන් පවුලට ක්‍රමානුකූලව ශක්‌තියක්‌ අත්කරගත හැක.

ගෘහ සේවය සඳහා විදේශගතවන ලාංකීය කාන්තාව බොහෝවිට සේවයේ යෙදෙන නිවසේ සීයා, පියා, පුතා පරම්පරා තුනක ලිංගික අවශ්‍යතා සපුරාලීමට යොදා ගනී. ලිංගික උත්තේජන වර්ග ලබාදෙමින් එම කර්තව්‍ය ඉටුකර ගනී. මේවාට ගිජුවන ශ්‍රී ලාංකික කතට ලංකාවේ සිටින විවාහක සැමියා හා තමාගේ දරුවන් අමතක වේ. නොදැනුවත්වම ලිංගික ලෙස බරපතළ සූරාකෑමට ලක්‌වේ. සමහර කාන්තාවන්ද ගෘහ සේවය සඳහා විදේශගත වන්නේ ලිsංගික කටයුතුවල යෙදීම සඳහාය. ලංකාව තුළ සංස්‌කෘතික බාධා පවතින නිසා එයින් මිදී නිදහසේ කටයුතු කිරිමටය.

බොහෝ අවස්‌ථාවලදී ගෘහ සේවයේ දී ලිංගික සූරාකෑමට ලක්‌වන බව දන්නා සැමියා ඇතුළු ඥාති මිත්‍රාදීන් ද විදේශ ගතවීම සඳහා ගුවන් තොටුපළ කරා රැගෙන යන්නේ බොහෝ අභිමානයෙනි. ඥාති මිත්‍රාදීන් ද අනියමින් අනුබල දීමෙන් පවුල් සංස්‌ථාව බිඳ දැමීමට දායකවනු දක්‌නට ලැබේ.

මව විදේශගතවන බොහෝ පවුල්වල දරුවන් අනෝමීය තත්ත්වයකට පත්වනු දක්‌නට ඇත. විදේශගත වන කාන්තාවගේ ශ්‍රමය ද ලිංගිකත්වයද සූරා කෑමට ලක්‌වේ. එය ඇයගේ අභිමානයටද ශ්‍රී ලංකාවේ අභිමානයටද බලවත් කැළලකි. රටක්‌ හැටියට මෙය බරපතළ ප්‍රශ්නයකි. දශ ලක්‌ෂයකට ආසන්න පවුල් සංඛ්‍යාවක්‌ ගෘහ සේවයේ යෙදී ඇත. එයින් ශ්‍රී ලංකාව තුළ බිඳුණු පවුල් දශලක්‌ෂයකට වඩා ඇති බව පෙනීයයි. එවැනි තත්ත්වයක්‌ තුළ ලාංකීය සංස්‌කෘතිය ප්‍රපාතය කරා ගමන් කරනු ඇත.

විදේශගතවී ගෘහ සේවයේ යෙදීම ශ්‍රී ලාංකික කාන්තාවට සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුය. ඒ සඳහා ණය ලබාදිම ද නතර කළ යුතුය. උපයන මුදලට වඩා වැඩි මුදලක්‌ ලංකාව තුළ ශ්‍රමය වැය කිරීමෙන් උපයාගත හැකි බව ලාංකීය කාන්තාව දන්නේ නැත. අවශ්‍ය වන්නේ රැකියාව සඳහා ආකල්පමය වෙනසකි. මේ සඳහා කතිකාවක්‌ ගොඩ නැඟිය යුතුය. කාන්තා අයිතිවාසිකම් සුරක්‌ෂිත කිරීමේ සංවිධාන බෝඩ්වලට පමණක්‌ සීමා නොවී මීට වඩා සමාජ මෙහෙවරක්‌ ඉටු කිරීමට ඉදිරිපත් විය යුතුය. ජනාධිපතිතුමා ගෘහ සේවය සඳහා විදේශ ගතවන කාන්තාවන්ට වයස්‌ සීමාවක්‌ පැනවීම කාලෝචිත ක්‍රියාවකි. එයට ජනාධිපතිතුමාටත්, විදේශ කටයුතු අමාත්‍යාංශයටත් ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය. තැන තැන දේශනා පවත්වන මැති ඇමැතිවරුද මෙයට වඩා වැඩි අවධානයකින් කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බව පැහැදිලි කරුණකි. ශ්‍රී ලාංකික කතට විදෙස්‌ ගෘහ සේවය සම්පූර්ණයෙන්ම තහනම් කළ යුත්තේ අනාගතයේ ඇතිවන අනෝමීය තත්ත්වයෙන් යම් දුරකට හෝ රට ගලවා ගැනීමේ අදිටනිනි. මෙය කාලීන සංවාදය සඳහා විවෘතයි.

ශාස්‌ත්‍රපති වසන්ත ගමගේ

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons