ඩී.අයි.ජී. ලතීෆ්ට චෝදනා නීතියට වැඩ කළ නිසයි



ඩී.අයි.ජී. ලතීෆ්ට චෝදනා නීතියට වැඩ කළ නිසයිපොලිස්‌ මූලස්‌ථානය කියයි

හේමන්ත රන්දුණු

මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ ඇතැම් දේශපාලනඥයන් හා ඔවුන්ගේ හිතවතුන් සිදුÊකරන නීති විරෝධී ක්‍රියාවන්ට විරුද්ධව අපක්‍ෂපාතීව රාජකාරි කිරීම නිසා නියෝජ්‍ය පොලිස්‌පති එම්. කේ. ලතීෆ් මහතාට එරෙහිව එම දේශපාලනඥයන්ගේ දැඩි විරෝධය එල්ල වී තිබෙන බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

මොනරාගල ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයන් කීපදෙනෙකු ප්‍රාදේශීය මට්‌ටමේ දේශපාලනඥයන් පිරිසක්‌ යොදාගෙන නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක්‌ ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වෙයි.

මේ අතර මොනරාගල ප්‍රදේශයේ නීති විරෝධී ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන දූෂිත ක්‍රියාවන් මර්දනය කරමින් අපක්‍ෂපාතීව රාජකාරි කරන නියෝජ්‍ය පොලිස්‌පති එම්. ආර්. ලතීෆ් මහතාට එරෙහිව ප්‍රදේශයේ දේශපාලනඥයන් පිරිසක්‌ විසින් ගෙන යන මෙම විරෝධතාවට මොනරාගල ප්‍රදේශයේ ජනතාව දැඩි අප්‍රසාදය පළ කරති.

මේ දේශපාලනඥයන් නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට කරන බලපෑම් නතර කරන ලෙස ඉල්ලමින් මොනරාගල ප්‍රදේශයේ ජනතාව උද්ඝෝෂණ ව්‍යාපාරයක්‌ ද පැවැත්වීමට සූදානමින් සිටිති.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්‌ මූලස්‌ථානය නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටින්නේ නීති විරෝධී ක්‍රියා මර්දනය කර අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම නිසා මොනරාගල ප්‍රදේශයේ ඇතැම් දේශපාලනඥයන් නියෝජ්‍ය පොලිස්‌පතිවරයා සමඟ උරණ වී ඒ මහතාට එරෙහිව විරෝධතාවේ යෙදෙන බවයි.

ඉකුත් වසරේ දෙසැම්බර් මස 27 වැනිදා මොනරාගල කුඹුක්‌කන් ඔයේ අනවසර වැලි ගොඩදැමීමේ කටයුතුවල යෙදී සිටි පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබිණි. එම පිරිස ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයකුගේ සමීප ගෝලයන් වීම නිසා ඔවුන් මුදාගැනීමට දැඩි දේශපාලන බලපෑම් එල්ල විය.

එහෙත් එම බලපෑම් ගණනකට නොගත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයා නීතිය අකුරටම ක්‍රියාත්මක කළේය.

මේ අතර ඉකුත් ජනවාරි 30 වැනිදා රාත්‍රි මොනරාගල නගරයේ රාජකාරි කරමින් සිටි පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ නගරයේ මැර පිරිසකගේ ප්‍රහාරයට ලක්‌වූහ.

මෙම මැර පිරිස මහා පරිමාණ ගංජා ව්‍යාපාරයකට සම්බන්ධ වී සිටි අතර, ඔවුන් සතුව අවි ආයුධ කීපයක්‌ ද තිබිණි.

මෙම මැරයන් ද ප්‍රදේශයේ දේශපාලනඥයකුගේ සමීපතමයන් වූ අතර ඔවුන් අත්අඩංගුවට නොගන්නා ලෙස ද බලපෑම් එල්ල වී තිබිණි.

එහෙත් නියෝජ්‍ය පොලිස්‌පති ලතීෆ් මහතාගේ නියෝග මත මෙම අපරාධකරුවන් නීති විරෝධී ගිනි අවි ගංජා ඇතුළු තහනම් භාණ්‌ඩ ද සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේය.

මෙම සිද්ධීන් සියල්ල නිසා ප්‍රදේශයේ දේශපාලනඥයෝ නියෝජ්‍ය පොලිස්‌පති එම්. ආර්. ලතීෆ් මහතා සමඟ දැඩි වෛරයකින් පසුවිය.

මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ අනවසර වැලි ගොඩ දැමීම, කැලෑ කැපීම, නිධන් වස්‌තු කොල්ලකෑම, හොර හරක්‌ ජාවාරම, මහා පරිමාණයෙන් ගංජා වගා කිරීම ඇතුළු නීති විරෝධී ක්‍රියා රාශියක්‌ පිටුපස ඇතැම් දේශපාලනඥයන් සිටින බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත.

http://www.divaina.com/2013/02/14/news10.html

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons