ජිහාඩ් යනු ත්‍රස්තවාදයද? අන්තවාදයද? මුලධර්මවාදයද? නැත්නම් ශුද්ධ යුද්ධයද?


ජිහාඩ් යනු ත්‍රස්තවාදයද? අන්තවාදයද? මුලධර්මවාදයද? නැත්නම් ශුද්ධ යුද්ධයද?

ඉස්ලාම් ධර්මය හා මුස්ලිම්වරුන් පිලිබඳව වැරදි මත හා වැරදි ආකල්ප ඇති වීමට ප්‍රධානම සංකල්පය වශයෙන් මෙම ජිහාඩ් සංකල්පය හඳුන්වා දිය හැකිය. මුස්ලිම් සමාජය යනු ඉතා දරදඬු නැතනම් භයානක ජන කොටසක් ලෙස හුවා දැක්වීමට මෙම ජිහාඩ් යන සංකල්පය යොදා ගැනීමට බොහෝ ඉස්ලාම් විරෝධී බටහිර මාධ්‍ය විශාල මෙහෙයුම් දියත් කල අතර තරමක් දුරට මුස්ලිම්වරු පිලිබඳ මිනිසුන් තුල ආකල්පමය වෙනසක් ඇති කිරීමට එය තුඩුදී ඇත. ඕනෑම ත්‍රස්තවාදී කණ්ඩායමක් ඉස්ලාමීය ජිහාඩ් සංවිධාන ලෙස හුවා දැක්වීම ඉතා ශුක්ෂම ලෙස මොවුන් විසින් විවිධ ක්‍රමවේද භාවිතා කර පතුරුවනු ලැබ ඇත. මෙහිදී ඔවුන් ජිහාඩ් යන්න සංසන්දනය කර ඇත්තේ ත්‍රස්තවාදයටය. මේ අනුව ජිහාඩ් යනු ත්‍රස්තවාදය යනුවෙන් අර්ථ නිරුපනය කර ඇත.

ඉරාකයේ ඉතා භයානක අවි ආයුධ තිබෙන බව පවසා එය ආක්‍රමණය කර ලක්ෂ සංඛයාත ඉරාක වැසියන් අමු අමුවේ පවුල් පිටින් මරා දමනු ලැබීය. ඔවුන්ගේ ඉදිරිපිට ගැහැණු දරුවන් දුෂණය කරනු ලැබීය. ඔවුන්ගේ නිවාස දේපල බෝම්බ දමා විනාශ කරනු ලැබීය. මේ සියලුම අපරාධයන්ට මුහුණ දුන් ඔවුන්ගෙන් සමහරු තමන්ගේ මව් රටට හා තමන්ගේ පවුලේ අයට අපරාධ සිදුකල ඇමරිකානුවන්ට විරුද්ධව කැරලි ගැසුවිට ඔවුන්ව ජිහාඩ් මුද්‍රණය දමා මහා භයානක ත්‍රස්තවාදී ජනකොටසක් ලෙස හුවා දක්වන ලද අතර මෙයට මාධ්‍ය තුලින්ඉතා විශාල ප්‍රචාරයක් ලබා දී කෙනකු අල්කුරානය අතැතිව තර්ජනය කරන ආකාරයේ රූපරාමු යොදා ලොවට හඬ නගා කියන ලදී.

මේ තත්වය තුල ලොව අන් රටවල් හා ජාතීන් මෙය දඩමීමා කරගෙන මුස්ලිම්වරුන්ව පාලනය කිරීමට ඕනෑම දෙයකට මෙම ජිහාඩ් යන නාමය ලේබල් කරනු ලබයි. අද ලංකාවේ වුවද මෙම ක්‍රමයම බොහෝ අන්තවාදී හා ආගම්භේදවාදීන් විසින් අනුගමනය කරනු ලබන්නේය. ආගමික කටයුතු සඳහා සංවිධානය වන යම් ඉස්ලාමීය සංවිධානයක් වේද එයටද ජිහාඩ් ත්‍රස්තවාදී සංවිධාන යනුවෙන් කියනා තරමටම අද මෙම ජිහාඩ් යන්න භයානක ලෙස හුවා දක්වා ඇත.

ජිහාඩ් යන්න කුමක්දැයි ඉස්ලාම් ධර්මය තුලින් සොයා බැලීමක් නොකර මෙම ජිහාඩ් සංකල්පය අර්ථ කථනය කල නොහැක. සාමාන්‍යයෙන් ජිහාඩ් යන්නට ශුද්ධවූ යුද්ධය යනුවෙන් බටහිර රටවල් බොහෝවිට හඳුන්වා දෙනු ලැබුවද එය නියමාකාරයෙන් එම අරාබි වාක්‍යය අනුව සිංහල භාෂාවට පරිවර්තනය කලවිට පරිශ්‍රමය (striving), උත්සාහය නැත්නම් අරගලය නම් වේ.

නමුත් එහි  අරාබි පදය අනුව ව්‍යාකරණානුකුල තේරුම වන්නේ 'මහා පරිශ්‍රමයක් යොදා තම අරමුණු කරා ගමන් කිරීමවේ'.

එයම අල්කුරානයට අනුව එහි තේරුම වන්නේ 
'මහා පරිශ්‍රමයකින් වුවද ස්වකීය ආත්මය සහ මුදල් දෙවියන්ගේ මාර්ගයේ යෙදවීමවේ'.

තවද ජිහාඩ් යන්න විස්තරාත්මකව පහත පරිදී වේ
"අල්ලාහ්ගේ තෘප්තිය ඇති කර ගනු පිණිස ඔහු දැක්වූ මාර්ගයේ සිට ඔහුගේ දීන් (මර්ගයේ) උන්නතිය උදෙසාත් සත්‍යය තහවුරු කිරීම සඳහාත් ගනු ලබන සියලුම උත්සාහයන්, අරගලයන් හාවෑයම් ජිහාඩ් යන්නාවේ". අල්කුරානයේ මෙය 'අල්ජිහාඩ් ෆී සබීලිල්ලාහ්' එනම් අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාඩ් කිරීම යන්නෙන් සඳහන්වේ.

අනුව ජිහාඩ් යන උතුම් මෙහෙවර ලෞකික අරමුණුවලින් තොරව සත්‍ය තහවුරු කිරීම පිණිස ඊමන්ධාරින් හෙවත් අල්ලාහ් පිලිබඳ සත්‍ය බික්තියෙන් හා ශ්‍රද්ධාවෙන් යුතු අය අල්ලාහ්ගේ මාර්ගයේ කරන පුණ්‍ය ක්‍රියාවන් ෆී සබීලිල්ලාහ් යන වාක්යාංශයෙන් ගම්‍ය වෙයි.


එම නිසා ජිහාඩ් නම් මෙහෙවර පෞද්ගලික බලපුලුවන්කාරකම සහ ආධිපත්‍යය තහවුරු කරගැනීමට, භූගෝලීය දේශසීමාවන් ව්‍යාප්ත කරගැනීමට, සම්පත් සුරා ගැනීමට හෝ මහා පොලවේ කලබල හා විනාශය ඇතිකිරීමට හෝ කරන්නක් නොවේ.

"පරලොව වාසස්ථානය - මහපොලොවහි උද්දාමය සහ අවැඩ කිරීම් අපේක්ෂා නොකරන අයට අපි එය නියම කරන්නෙමු. අවසාන විමුක්තිය බිය බැතිමතුන්ටය." (අල්කුරානය 28:83)

ඉහත අල්කුරානීය වාක්‍යයට අනුව උද්දාමය අපේක්ෂා නොකරන යනු අප ජිවත්වන මෙලොව තම ආධිපත්‍යයට නතු කරගැනීමට කැරලි ගැසීම, මිනිස් ජීවිතවලට හා වස්තුන්වලට හානි පමුණු වීම යනාදී අකටයුතු වලින් වැලකී සිටීම හෝ දුෂ්ඨ පාලකයන් සහ අහංකාර ජනයා මෙන් නොව පහත් සේවකයන් ලෙස ජීවත් වන්නාවුද අල්ලාහ්ගේ සේවකයන් තමන්ගේ සේවකයන් බවට පත් කරගැනීමට අපේක්ෂා නොකරන්නාවුද අයයි.

මෙහි සඳහන් වන අවැඩ කිරීම් යනු ධනය නීති විරෝධී මාර්ගයන්ගෙන් ගොඩ ගසා නීති විරෝධී මාර්ගවල වියදම් කිරීම වේ.

මෙම පරිච්චේදයේම ඊළඟ වාක්‍යය මෙය තවදුරටත් පැහැදිලි කරන්නක්වේ. එනම්

"යමකු යහපත ගෙන එන්නේද ඔහුට ඊට වඩා හොඳ (තිළිණ) ඇත. තවද යමකු නපුරු (ක්‍රියාව) ගෙන එන්නේද  එවැනි නපුරුදේ කල අයට ඔවුන්කලදේ (අනුව) මිස විපාක නැත. (අල්කුරානය 28:84)
ඉස්ලාමීය මුලික මග පෙන්වීම්වලට අනුව අසාධාරණයට හා අසත්‍යයට එරෙහිව අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීමේ ක්‍රියාව දැක්වීමටද 'ජිහාඩ්' යන්න භාවිතා කෙරේ. අනෙක් අතට මිනිසුන්, සමාජ හා රාජ්‍යයන් විසින් තම ආත්මාර්ථකාමීත්වය අරමුණු කරගෙන කරන සටනට 'හර්බ්' යනුවෙන් අරාබි භාෂාවෙන් කියනු ලැබේ.
"සැබෑ මුඃමීන්වරුන් වන්නේ අල්ලාහ් සහ ඔහුගේ රසුල්වරයා විශ්වාස කර ඉන්පසු ගැන සැක නොකර තම ධනයෙන්ද තම දිරියෙන්ද අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාඩ් කල අයයි. ඔවුහුමය සත්‍ය වාදීහු" (අල්කුරානය 50:15)

මෙම වාක්‍යය අනුව බලන කල ඉහත අප සඳහන් කල හර්බ් යන අර්ථයට වඩා ජිහාඩ් යන අර්ථය වෙනස් හා ඉතා පුළුල් බව ඉතා පැහැදිලිය. එනම් මෙහි අල්ලාහ්ගේ මාර්ගය යන්න ඉතා පුළුල් හා විශාල අර්ථකථනයකින් යුක්තය. නමුත් බොහෝ දෙනා සිතා සිටින්නේ ජිහාඩ් යැයි කියූ පමණින් ආයුධ සන්නද්ධ සටන් ගැන පමණී.

අල්ලාහ්ගේ මාර්ගය යන්නෙහි අර්ථකථනය:

මිහිපිටයහපත වලක්වා යහපත පැතිරවීම, දේව නීති රීතිවල ආධිපත්‍ය පවත්වා ගැනීම, අසාධාරණයට එරෙහිව සටන් කිරීම, සත් ක්‍රියාවන් උදෙසා සම්පත් පරිත්‍යාග කිරීම, තෘෂ්ණාවට එරෙහිව සටන් කිරීම, නිවැරදි ක්‍රම මගින් හරි හම්බ කිරීම යනාදී සත්ක්‍රියා සියල්ල ජිහාඩ් වේ. උදාහරණ වශයෙන් පහත දේ සඳහන් කල හැකිය.

1. මෙය ඉතා අසීරු වුවත් නිවැරදි ක්‍රමයම තෝරා ගැනීම එනම් අඩු පඩියක් ගන්නා කාන්තාවක් අග හිඟ කම් කෙතරම් තිබුනත් වැරදි නොකර තම පතිවත රැක එය ඉවසා දරා දියුණුවීමට උත්සහ කිරීමද ජිහාඩ් වේ.

2. තම දරුවාගේ අධ්‍යාපනයට මුදල් අවශ්‍ය වුවද වෙනුවෙන් අල්ලස් නොගෙන නියමාකාරයෙන් තම රාජකාරිය ඉටුකරන රාජ්‍ය සේවකයා කරන්නේජිහාඩ් වේ.

3. කෙතරම් පෙළඹවීම තිබුනද තම පතිවත හා ගෞරවය රැකගැනීම එනම් කාත් කවුරුත් නැති කාමරයක ඉතා අලංකාර අන්‍ය ස්ත්‍රීයක් කාමයේ වරදවා ඇසිරීමට අරාධනා කරන අවස්ථාවේ යම් පිරිමියකු එය නොසලකා එම ස්ත්‍රීයගේ ගෞරවය හා තමන්ගේ ගෞරවය රකින ආකාරයට ක්‍රියා කිරීම ජිහාඩ් වේ.

මේ අනුව ඉස්ලාම් විද්වතුන් ජිහාඩ් යන්න කොටස් පහකට බෙදා විස්තර කරනු ලබයි.

  1. මුවින් ජිහාඩ් කිරීම - යහපත දේශනා කිරීම හා අයහපතට විරුද්ධව හඬ නැගීම මින් අදහස් කෙරේ. දුෂිත පාලනයට විරුද්ධව හඬ නැගීමද මෙයට ඇතුලත්ය. තමන් ඉදිරියේ යම් අපරාධයක් සිදුවන විට එයට තමන්ගේ මුවින් විරුද්ධ වීමද ජිහාඩ් වේ. නබි තුමාගේ හදීසයක මෙසේ සඳහන් වේ.
"ඔබ අතරින් කෙනෙකු යම් අනර්ථකාරී දෙයක් දුටුවා නම් එය සිය අතින් වලක්වන්න. එසේ ඔබට කිරීමට ශක්තියක් නොමැති නම් ඔබේ මුවින් වලක්වන්න. එයද ඔබට කල නොහැකි නම් ඔබේ සිතින් එය පිළිකුල් කරන්න. එය ඔබේ විශ්වාසයේ ඉතා දුර්වල ස්ථානය ගනී". (සහීහුල් මුස්ලිම්)

  1. දේශනා මගින් හා ඉගෙන්වීම් ඔස්සේ ජිහාඩ් කිරීම - දැනුම වර්ධනය කිරීම, ඉගෙන ගැනීම සහ ඉගැන්වීමේ ක්‍රියාව ඉස්ලාමය විසින් ජිහාඩ් යනුවෙන් සලකනු ලැබේ. ජිහාඩ් කිරීම හඟවන නෆර යන පදය අල්කුරානයෙහි සිප් සතර හැදෑරීම සඳහා පිටවීම යන අරුත දීමට යොදා ඇත.
අල් කුරානය පහලවීමෙදී ප්‍රථම වාක්‍යය දැනුම සෙවීමට පොළඹවන වාක්‍යයක් ලෙස පහලවිය. එනම්

සියලුදේ මැවු නුඹේ පරමධිපතියානන්ගේ නාමයෙන් කියවව්.හැලී ඇති දැයකින් මිනිසා මැව්වේය. කියවව්, පෑන මගින් ඉගෙන්වු නුඹේ පරමාධිපති මහත් පරිත්‍යාගශීලිය , මිනිසාට නොදන්නාදේ ඔහුම ඉගෙන්වීය.” අල් කුරානය  96:1-5

තවද, දැනුම ඇත්තා හා දැනුම නැත්තා පිළිබඳව කුරානයේ මෙසේ සඳහන් වේ.

“දන්නා අයද, නොදන්නා අයද සමවන්නේද? මෙමගින් හොඳ උපදෙස් ලබන්නන් සියල්ලන්ම් දැනුම් ඇත්තන් බව, (නබිවරයාණෙනි) ඔබ පවසන්න” අල් කුරානය  39:9

මුහම්මද් නබි තුමාගේ සමහර හදීසයන් සමහරක්

කාලය : ඔබ ඔබේ මිනී වල දක්වා දැනුම සොයන්න

ස්ථානය : දැනුම සොයන්න එය ලබා ගැනීමට චීනය තරම් දුර ගෙවීමට සිදුවුවත්

ලිංග භේද : දැනුම සෙවීම සියලු මුස්ලිම්වරුන්ගේම අනිවාර්ය වගකීම වේ.

මාධ්‍යය : දැනුම විශ්වාසවන්තයකුගේ නැතිවූ වස්තුවකි, ඔහු අනිවාර්යයෙන්ම එය අවිශ්වසයකුගේ මුවින් පිටවුවද  ලබාගත යුතුය.

ශ්‍රේෂ්ටත්වය : ඔබ දැනුම ලබන්නෙකු වන්න, නැතනම් එය ලබාදෙන්නෙකු වන්න, එසේත් නැත්නම් ඒ සඳහා උදව් කරන්නෙකු වන්න, සතරවැන්නා නොවන්න.  

  1. දේශපාලන සටන් - රජවරුන්, පාලකයන්, සහ බලයෙහි සිටින්නන් යනාදින්ගේ අරාජික ක්‍රියා කලාපය පෙන්වා දෙමින් ඒවා නිවැරදි කිරීම මෙම ජිහාඩ් වර්ගයට අයත්වේ. දුෂ්ඨ පාලකයකුට සත්‍ය අවබෝධ කරවීම සම්බන්ධයෙන් නබි තුමා මෙසේ සඳහන් කළහ.
"ජිහාඩ් ඉතාමත් ශ්‍රේෂ්ඨ වන්නේ දුෂ්ඨ පාලකයකුට සත්‍ය ගෙන හැර පෑමයි. (නසාඉ)

  1. ජීවිත පරිත්‍යාගය- ජිහාඩ්යේ ඉතා උසස් වන්නේ ශරීරය, ජීවිතය, කැප කරමින් කරන ජිහදයයි. අල්කුරානය සහ නබි වදන් හි මෙය ඉතා උසස් කොට වර්ණනා කර ඇත. මිහිපිට අසාධාරණ කම් තුරන් කොට යුක්ති සාධාරණත්වය තහවරු කරමින් සත්‍ය පවත්වා ගැනීමට මුස්ලිම්වරයකු ජීවිත පරිත්‍යාගයෙන් හෝ කටයුතු කල යුතුය.
"සැබෑ මුඃමීන්වරුන් වන්නේ අල්ලාහ් සහ ඔහුගේ රසුල්වරයා විශ්වාස කර ඉන්පසු ගැන සැක නොකර තම ධනයෙන්ද තම දිරියෙන්ද අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාඩ් කල අයයි". ඔවුහුමය සත්‍ය වාදීහු" (අල්කුරානය 50:15)

  1. ධනයෙන් කරන ජිහාඩ් - අල්ලාහ්ගේ මාර්ගයේ ධනය පරිත්‍යාග කිරීම මෙයින් කියවේ.
(නුඹලාගේ ධනය)අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරනු, නුඹලාගේම දෑතින් නුඹලා විනාශයට නොහෙලනු. විශිෂ්ඨ අයුරින් සියලු දෙයම කරනු. නියත වශයෙන්ම විශිෂ්ඨ අයුරින් කටයුතු කරන්නවුන්  අල්ලාහ් ඇලුම් කරයි. (අල්කුරානය 2:195)

ඉහත කරුණු අනුව ජිහාඩ් යන්න මුස්ලිම්වර්යකුගේ ජීවිතයත් සමග එකට එක්ව පවතින දෙයකි.  ජීවිතයේ කඩතොළු ජයගැනීමට ජිහාඩ් කිරීම අත්‍යවශ්‍ය දෙයකි.

අසාධාරණයට හා අයුක්තියට එරෙහිව ජිහාඩ් කිරීමේදී ආයුධ අතට ගෙන සටන් කිරීම අවසන් අදිරය බව ඉතා මැනවින් වටහා ගත යුතුය. සන්නද්ධ සටනකදී අනුගමනය කලයුතු ක්‍රියා පටිපාටියන් බොහොමයක් ඇත. එය සම්පුර්ණයෙන්ම ත්‍රස්තවාදයට විරුද්ධය. ඉස්ලාමිය දෘෂ්ඨි කෝණයට අනුව ත්‍රස්තවාදයට විරුද්ධවද ජිහාඩ් කල යුතුය. සන්නද්ධව සටන් කල යුත්තේ එයට විකල්පයක් නැති විට පමණී. අන් සියලුම දේ වලින් යහපත් ප්‍රතිචාරයක් නොලැබූ විට සටන හැර වෙන විකල්පයක් නැති තත්වයක් මත අවසාන වෑයම වශයෙන් ඊට අනුමැතිය ලැබේ. යම් ජන කොටසක් අසාධාරණ ලෙස මුස්ලිම් වරුන්ව පීඩනයට පත්කලවිට හෝ යටත් කර ගැනීමට ක්‍රියා කළහොත් එයට විරුද්ධව සටන් කරීමට අල්ලාහ්ගේ අනුමැතිය ඇත.

" තවද, නුඹලාට එරෙහිව සටන් කරන අය සමඟ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරනු. එහෙත් ආක්‍රමණයෙහි නොයෙදනු. නියත වශයෙන්ම අල්ලාහ් ආක්‍රමණිකයන් ප්‍රිය නොකරයි." (අල්කුරානය 2:190)
"යම් අයකුට එරෙහිව සටන් කරනු ලැබේද, ඔවුනට (සටන් කිරීමට) අනුමැතිය දෙනු ලැබ ඇත. ඒ ඔවුනට අසාධාරණකම් කරනු ලැබ නිසාය. ඔවුනට උදව් කිරීමට අල්ලාහ් නියත වශයෙන්ම බලසම්පන්නය." (අල්කුරානය  22:39)

කෙසේ වෙතත් ආත්මාරක්ෂාව සඳහා සටන් කිරීමේදී වුවද සීමාව නික්මවා ක්‍රියා නොකරන ලෙස ඉස්ලාමය දැඩිව නියෝග කරයි. සටන් කරීමේදී සාරධර්ම රැකගත යුතු බව ඉස්ලාමයෙන් අවධාරනය කෙරේ.
"ඔබට මුහුණලා සටන් නොවදින අයට එරෙහිව සටන් නොකරන්න. ස්ත්‍රීන්, දරුවන්, මහල්ලන්, තාපසයින් යනාදීන් නොමරන්න. ගස් නොකපන්න, ගින්දර ඇවිලීම් නොකරන්න, කොල්ලකෑම් නොකරන්න, සිද්ධස්ථාන වලට හානි නොපමුණුවන්න, වධ හිංසා නොකරන්න, තුවාල කරුවන් හා යුද සිරකරුවන්ට ගෞරවනීය ලෙස සලකන්න යනාදී ශ්‍රේෂ්ඨ ක්‍රියා සන්නද්ධ ජිහාඩ්යෙදී පිළිපදින ලෙස තම සේනාධිපතින්ට නබි තුමා උපදෙස් දී ඇත”.

 ඉස්ලාම් සටන් වලට වඩා සාමය ප්‍රිය කරයි. ඉස්ලාම් යන වචනයට සාමය යන අදහස ගෙන දේ.

"නුඹලාගේ රබ් (පරමාධිපති) තහනම් කලදේ මම ප්‍රකාශ කරමි. නුඹලා මවා පෝෂණය කරන ඔහුට කිසිවක් ආදේශනය නොකරනු. තවද දෙමව්පියන්ට කරුණාවෙන් සලකනු. තවද දිළිඳුකම නිසා නුඹලා නුඹලාගේ දරුවන් නොමරනු. (මන්ද) නුඹලාටද ඔවුන්ටද ආහාර සපයන්නේ අපමය. විවෘතවවේවා රසිගතව වේවා අශික්ෂිත දේ වෙත ලං නොවනු. (නොමරනමෙන්) අල්ලාහ් තහනම් කල ජීවය අයිතිය පරිදී මිස නොමරනු. මේවා නුඹලාට වටහාගනු පිණිස මෙයින් නුඹලාට (නුඹලාගේ පරමාධිපති) අණකලේය. (අල්කුරානය 6:151)

“අනාථයකු (දරුවකු) ඔහුගේ පුරන වයස එළඹෙන තුරු නුඹලා ඔහුගේ දේපල අසලට යහපත් අයුරින් මිස් ලං නොවනු. මිනුම් කිරුම් සාධාරණ ලෙස ඉටු කරනු. අපි කිසිවකුට ඔහුගේ පමණට වඩා වැඩියෙන් නොපවරන්නෙමු. නුඹලා යමක් කිවහොත් එය (නුඹලාගේ) නෑයින් වේවා යුක්ති සහගත විය යුතුයි. අල්ලාහ් සමඟ වූ පොරොන්දුව ඉටු කරනු. නුඹලා මෙනෙහි කරනු පිණිස එයින් නුඹලාට (නුඹලාගේ පරමාධිපති) අණ කළේය. (අල්කුරානය 6:152)

 "දිළිඳුකම නිසා නුඹලා නුඹලාගේ දරුවන් නොමරනු. (මන්ද) නුඹලාටද ඔවුන්ටද ආහාර සපයන්නේ අපමය. ඔවුන් ඝාතනය කිරීම නියත වශයෙන්ම බිහිසුණු අපරාධයකි". (අල්කුරානය 17:31)

"මිනී මැරුමකට දඬුවමක් ලෙසින් මිස හෝ මහා පොළොවේ අවුල් වියවුල් පැතිරවීම සම්බන්ධයෙන් මිස හෝ (වරදකරුවකු වන්නන් හැර) අන් කෙනෙකු ඝාතනය කරන්නා සකල මනුෂ්‍ය වර්ගයාම ඝාතනය කළා සේය. එහෙත් යමකු ජීවත් වීමට සැලසු වුවොහොත් ඔහු සකල මනුෂ්‍ය වර්ගයාම ජීවත් කළා වැනිය" (අල්කුරානය 5:32)

මෙම වාක්‍යවලින් මනුෂ්‍ය ජීවිතයේ පුජනීයත්වය අවධාරණය කරන අතර සෑම කෙනෙකුම අන් කෙනෙකුගේ ජීවිතය පුජනීය බව සලකා එය ආරක්ෂා කිරීමට සහයවීම අත්‍යවශ්‍යයි. යුක්තියක් නොමැතිව අන් අයකුගේ ජීවිතයට හානි කරන්නෙකු එම ජීවිතක්ෂයට පත් පුද්ගලයාට අයුක්තියක් කළා පමණක් නොව තමන්ට මිනිස් ජීවිතයේ පුජනීයත්වය පිලිබඳ හැගීමක් නොමැති බවත් අන්‍යයන් කෙරෙහි දයලුභාවයක් තමා තුල නොමැති බවත් ප්‍රදර්ශනය කිරීමක්වේ. එනිසා ඔහු නිසැකයෙන්ම මුළු මිනිස් සංහතියේම සතුරා වේ. අනෙක් අතට යමෙක් එකඳු මිනිස් ජීවතයක් පවා ආරක්ෂා කිරීමට සහය වන්නේද ඔහු සියලු මිනිස් සංහතියේම අනුග්‍රාහකයෙක්වේ. මක් නිසාද යත් සියලු මනුෂ්‍ය වර්ගයාගේම ආරක්ෂාව රඳා පවතින ගුණාංග ඔහු තුල ඇති බැවිනි.

"දීන්හි (ධර්මයෙහි) නුඹලා සමග සටන් නොකලාවුද, නුඹලා නුඹලාගේ නිවෙස්වලින් පිටුවහල් නොකලාවුද අයට කාරුණිකවීමද ඔවුනට සාධාරණ ලෙස සැලකීමද අල්ලාහ් නුඹලාට තහනම් නොකරයි. නියතවශයෙන්ම අල්ලාහ් සාධාරණව කටයුතු කරන්නන්ව ප්‍රිය කරයි". (අල්කුරානය 60:8)

ඉහත අල්කුරාන් වාක්‍යය අනුව අන්‍ය ජාතිකයන් සමග සාමයෙන් හා කාරුණිකව ක්‍රියා කල යුතුය යන්න පැහැදිලිවේ.

මෙහිදී අවසාන වශයෙන් සඳහන් කල යුත්තේ, සමහර බටහිර රාජ්‍යයන් හා සංවිධාන ජිහාඩ් යන්නට ඉස්ලාමයේ නැති අර්ථ හුවා දක්වා මුස්ලිම්වරු අපහාසයට ලක් කිරීමට කල කුමන්ත්‍රණයක් බවත් ජිහාඩ් යන්නට ශුද්ධ වූ යුද්ධය යන්වෙන් කිසිම අල්කුරානීය වාක්‍යයක සඳහන් නොවේ. තවද ජිහාඩ් යන්න  ත්‍රස්තවාදය පිටුදකින, ත්‍රස්තවාදය තරයේම හෙලාදකින හා එයට විරුද්ධව නැගී සිටීමට පොළඹවන සංකල්පයක් වේ. තවඳ අධිරාජ්‍යවාදීන්ගේ ආධිපත්‍යය බලයෙන් හා ඔවුන්ගේ ත්‍රස්ත ක්‍රියා අප සමාජයට ඇතුළු කිරීමටද, අපගේ අයිතිවාසිකම් උල්ලංගනය කරන අධිරාජ්‍යවාදීන්ට විරුද්ධවද, අප රට සතු සවාභාවික සම්පත් කොල්ලකෑමට  විරුද්ධවද නැගී සිටීමට අප පොළඹවන සංකල්පයක් හැටියට ජිහාඩ් හැඳින්විය හැකිය.

4 comments:

bunan said...

gd one.....thumbs up

දූපත් වැසියා said...

ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කලේ මුස්ලිම් අටමගලෙකට නොවේ. තෙල් සම්පතට. සදාම් මුස්ලිම් රටවලටම ගේම දෙනකොට ඔය කියන ඇමරිකන්කාරයෝ කරපුව වගේ දස දහස් ගුණයක් බලුවැඩ කළා. එතකොට එව්වා කලේ මුස්ලිම්කාරයෝ නෙමේ. ගෑණු දූෂණය කලේ නෑ.
මුස්ලිම් රටක් මුස්ලිම් රටකට ගහනකොට අන්න සද්දයක් නෑ. වෙන රටක් මුස්ලිම් රටකට ගහනකොට ඇත්ත කතාව මොක උනත්, උබල කියන්නේ මුස්ලිම් හින්ද ගහනව, බටහිර ජාතීන් මුස්ලිම්වරුන්ට ගහනව කියල. ඔන්න ඕකටයි අන්තවාදීන් කියන්නෙ.

Unknown said...

@ දුපත් වැසියා

මෙහිදී අප පැහැදිලි කර ඇත්තේ ජිහාඩ් යන්නයි. ජිහාඩ් හි සියලු පැතිකඩ ඉතා විස්තරාත්මකව මෙහි පැහැදිලි කර ඇත්තෙමු. ඔබ එය උඩින් ගොඩින් කියවා අන්ඩර දෙමළ කතා කර ඇත. තනිකර වපර ඇසින් බලන අයට මෙය තේරුම් ගත නොහැකිය. ජාතිවාදය ඉහල තලයකට ගෙන යාමට වෙර දරන ඔබ වැනි අයට මෙය කිසි සේත්ම තේරුම් ගත නොහැක.

මුස්ලිම් රටක් වන කුවෙයිට් රාජ්‍ය සදාම් හුසෛන් විසින් ආක්‍රමණය කල අවස්තාවේදී සියලු මුස්ලිම් රජයන් එකතුවී ඉරාකයට විරුද්ධව යුධමය වශයෙන් ක්‍රියා කළා. ඇමරිකාව කලේ ඔවුන්ගේ මාධ්‍ය තුලින් ඔවුන්ගේ ආයුධ සඳහා ප්‍රචාරයක් ලබාදීමයි. පාබල හමුදාව මෙහෙයෙවුවේ කටාර් රජයයි. ඔබ නොදන්නා දේ කියා අනුන්ව අන්දන්නේ නැතුව නියමාකාරයෙන් කරුණු දැනගෙන ඔබේ ප්‍රතිචාරය දක්වන්න.

ඔබ කියනා පරිදි ඉරාකය ඔවුන්ගේ තෙල් සම්පත සුරා කෑමට ඇමරිකාව විසින් ආක්‍රමණය කළා යනුවෙන්ම ගමු. එනම් ඔබ එයට ඇමරිකාවට කඩේ යනවාද? එයට විරුද්ධව ඉරාක වැසියන් කැරලි ගැසුවිට ඔවුන් ත්‍රස්තවදීවෙනවාද?

ඔබේ හෘද සාක්ෂියට එකඟව කල්පනා කර බලන්න. මුස්ලිම්වරු නැගිට්ටත් වැරදි, හිඳගතතත් වැරදි කියන මතයෙන් එලියට ඇවිත් විවෘත මනසින් සිතන්න පුරුදුවන්න.

ඔබට දෙවියන්ගේ කරුණාව දයාව හා ආශීර්වාදය ලැබේවා.

Anonymous said...

තමන්ට පිරිස්‌ බලය ඇති තැන යුද්ධ කොට සෙසු ජාතීන්ට අඩන්තේට්‌ටම් කොට මරා දැමීමත් පිරිස්‌ බලය අඩු ලංකාව වැනි තැන්වලදී අහිංසකයන් ලෙස පෙනී සිටිමින් සාමය, මනුෂ්‍යත්වය ගැන කතා කරමින් තමන්ට පිරිස්‌ බලය ලැබෙන තෙක්‌ උපක්‍රමශීලීව කල් බලන්නේ කවුරුන්ද?

ඉස්‌ලාම් ආගම අනුව ජිහාඩ් යන්නෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ද? එහි ස්‌වරූප කීයක්‌ තිබෙනවාද? යන්න පැහැදිලි කිරීම ඔබගේ යුතුකමකි. ලොව පුරා ඉස්‌ලාම් මූලධර්මවාදී ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් කීයක්‌ තිබෙනවාද? යන්න සිහි මොළය ඇති කවුරුත් දන්නා කරුණකි.

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons