අපට අවශ්‍ය සියලු ජාතීන්ගේ සහජීවනයයි. නමුත් ඇතැම් පිරිස්‌ ජාතිවාදී අර්බුද ඇති කරන්න හදනවා

අපට අවශ්‍ය සියලු ජාතීන්ගේ සහජීවනයයි. නමුත්
ඇතැම් පිරිස්‌ ජාතිවාදී අර්බුද ඇති කරන්න හදනවා

අගමැති දි.මු. ජයරත්න 

සුරංග දිල්හාන් - ගම්පොළ 
ජාතික සහජීවනය බිඳ හෙළීම සඳහා විවිධ පිරිස්‌ අසත්‍ය ප්‍රචාර ගෙන ගියද ඒ සියල්ල පාලනය කිරීමට කටයුතු කරන බවත් සිංහල, දෙමළ සහ මුස්‌ලිම් ජාතිකයන් සුහදතාවයෙන් ජීවත් වුවත් ඔවුනොවුන් අතර ජාතිවාදී අර්බුද නිර්මාණය කිරීමට ඇතැම් කණ්‌ඩායම් ක්‍රියාකරමින් සිටින බවද අගමැති දි.මු. ජයරත්න මහතා ප්‍රකාශ කළේය.

මධ්‍යම පළාත් සභාවේ ප්‍රතිපාදන මත රුපියල් මිලියන 04 ක වියදමින් ඉදිකළ ගම්පොළ රහුමානියා මුස්‌ලිම් විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්‌ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළහ. පන්ති කාමර කිහිපයකින් යුතු නව ගොඩනැඟිල්ල විවෘත කළ අගමැතිවරයා අනතුරුව විද්‍යාලයීය පරිගණක මධ්‍යස්‌ථානයද සිසු අයිතියට පත් කළේය. ඒ නිමිත්තෙන් පැවැති උත්සව සභාව හමුවේ අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

පාසල් දරුදැරියන් සඳහා නව ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමේ අවස්‌ථාවට එක්‌වීමට ලැබීම පිළිබඳව මම අතිශය සතුටට පත්වෙනවා. රටක්‌ දියුණු වීමට නම් දියුණු දැනුමෙන් සන්නද්ධ පුරවැසියන් එරටෙහි සිටිය යුතුයි. අනාගතය භාර ගැනීමට සිටින වත්මන් දරු පරපුර දැනුමෙන් සන්නද්ධ කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතු අප රජය ව්‍යාපෘති රැසක්‌ දියත් කර තිබෙනවා.

වත්මන් රජය සංවර්ධන ව්‍යාපෘති දියත් කර තිබෙන්නේ ජනතාවට පහසුකම් රැසක්‌ උදාකිරීම උදෙසායි. ආගමික සහජීවනය ඇතිකිරීම සඳහා ද අප රජය විශාල මුදලක්‌ වෙන් කරනවා. සෑම ආගමික මධ්‍යස්‌ථානයක්‌ම ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කරන අප රජය මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ ඉස්‌ලාම් පල්ලි ඉදිකිරීම සඳහා පමණක්‌ ඉකුත් වර්ෂයේදී රුපියල් මිලියන 870 ක්‌ වැය කර තිබෙනවා. යුද සමයේදී විනාශයට ලක්‌වුණු සෑම ආගමික ස්‌ථානයක්‌ම ඉදිකිරීම සඳහා රජය පියවර ගෙන තිබෙනවා.

අපට අවශ්‍ය සියලු ජාතිකයන් සහජීවනයෙන් ජීවත්වනවා දැකීමයි, සිංහල, දෙමළ සහ මුස්‌ලිම් ජාතිකයන් සුහදත්වයෙන් සිටියත් ඔවුන් අතර යම් භේදයක්‌ ඇති කිරීම සඳහා මාන බලන පිරිසක්‌ වත්මන් සමාජය තුළ මතුව සිටිනවා. කිසිදු අවස්‌ථාවක බෞද්ධ සහ ඉස්‌ලාම් භක්‌තිකයන් අතර අර්බුදයක්‌ ඇතිකිරීමට අප ඉඩ තබන්නේ නැහැ. එවැනි ජාතිවාදී අර්බුද නිර්මාණය කරමින් විවිධ ප්‍රයෝජන ගැනීමට උත්සාහ දරන පිරිසක්‌ පිළිබඳව අපට තොරතුරු වාර්තා වී තිබෙනවා. ජාති, භාෂා, ආගම් සහ සංස්‌කෘතිය අනුව මිනිසා විවිධාකාර වුවත් එක්‌ පිරිසක්‌ තවත් පිsරිසකට චෝදනා කිරීම කිසිසේත්ම සදාචාර සම්පන්න වන්නේ නැහැ.

සියලුම ආගම්වල නායකයන් රැස්‌කරමින් රට තුළ ආගමික සහජීවනය තහවුරු කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඔවුනට දැනුම් දී තිබෙනවා. දියුණුවෙමින් පවතින රටවල අභ්‍යන්තර අර්බුද නිර්මාණය කිරීමට බටහිර රටවල් උත්සාහ කළත් ඊට එරෙහි වීමට අප නිරතුරුවම සූදානම්.

මේ අවස්‌ථාවට පරිසර හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍ය අබ්දුල් කාදර්, පළාත් සභා මන්ත්‍රීවරුන් වන රිස්‌වි 
රුක්‌, හම්ජාඩ් හාඡ්ජියාර්, විදුහල්පති අයි. එම්. සහිර් යන මහත්වරු ඇතුළු පිරිසක්‌ සහභාගිව සිටියහ.



 

ආගමික ගැටුම් විමර්ශනයට පොලීස් ඒකකයක්



Mirror - ආගමික සිද්ධීන් සම්බන්ධ සිදුවීම් දැනුම්දීම සඳහා විශේෂ මෙහෙයුම් ඒකකයක් පිහිටුවීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. පොලිස් මූලස්ථානයේ හෙට උදෑසන 8.00 සිට මෙම නව ඒකකය ක‍්‍රියාත්මක බව පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසිය.

කිසියම් ආගමක් සම්බන්ධව සිදුවන කරදරයක් හෝ හිරිහැරයක් වේ නම් ඒ පිළිබඳ පැය 24 පුරා දුරකතන හෝ ෆැක්ස් මාර්ගයෙන් එම ඒකකයට දැනුම්දිය හැකියි.

0113 182 904 සහ 0113 188 753 යන දුරකතන අංකවලට හෝ 0112 42 39 44 යන ෆැක්ස් අංකයට එම තොරතුරු දැනුම්දිය හැකි බව  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ප‍්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් නිකුත්කර ඇති නිවේදනය පහත දැක්වේ.




හලාල් සහතිකය බලෙන් ලබාදී නැහැ


හලාල් සහතිකය බලෙන් ලබාදී නැහැ

Theindependent -  'හලාල්' ලේබලය කිසිම නිෂ්පාදනයකට හෝ ව්‍යාපාරික ආයතනයකට බලෙන් ලබාදී නැති බවත්, ඕනෑම අවස්‌ථාවක එය ඉවත්කර ගැනීමට හැකි බවත් සමස්‌ත ලංකා ජමයිතුල් උලමා සභාවේ හලාල් අංශ ප්‍රධානී මුල්‍ෆික් මුලාෆර් මව්ලවිවරයා පැවැසීය.
හෙතෙම එසේ පැවසුවේ ඊයේ (7 ) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
මෙහිදී අදහස්‌ දක්‌වමින් මුල්‍ෆික් මුලාෆර් මව්ලවිවරයා තවදුරටත් මෙසේ පැවැසීය.
'' අපි කාටවත් කියලා නැහැ හලාල් ලේබලය ගන්න කියලා. අපි කාටවත් හලාල් ලේබල බලෙන් දීලත් නැහැ. මේ රටේ නිෂ්පාදන, ව්‍යාපාරික ආයතන අපි ළඟට ඇවිත් අපෙන් ඉල්ලීමක්‌ කළා ඒ අයගේ භාණ්‌ඩවලට හලාල් සහතිකය අවශ්‍යයි කියලා.
ඒ අනුව හලාල් ලේබලය දීමට සුදුසු නිෂ්පාදන පිළිබඳව අපේ කණ්‌ඩායමක්‌ ගිහින් පරීක්‍ෂණ කරලා හලාල් ලේබලය ආයතන 200 කට පමණ දීලා තියෙනවා. ඕනෑම කෙනෙකුට මේක අයින් කරගන්න බැරි කමක්‌ නැහැ. අපේ කිසිම බලපෑමක්‌ නැහැ. එසේම මේ වන විට බැංකු හෝටල් ආදිය ද හලාල් සහතිකය සඳහා ඉල්ලීම් කර තිබෙන බවද එම මව්ලවිවරයා සඳහන් කළේය.
මොහොමඩ් මන්සුර් අහමඩ් මව්ලවිවරයා ද මෙහිදී අදහස්‌ දක්‌වමින් පැවැසුවේ ජාතිවාදී අර්බුදවලින් තොරව සාමකාමීව ජීවත්වීමට සියලු ජාතීන්ට හැකිවේවා යන්නයි.
මුස්‌ලිම්වරු පල්ලි හදන්නේ රට අල්ලන්න නොවේ යෑයි සමස්‌ත ලංකා ජමයිතුල් උලමා සභාවේ මාධ්‍ය අංශයේ ප්‍රධානී ෆාදිල් ෆාරුක්‌ මව්ලවිවරයා පැවැසීය.
බෞද්ධයින්ට පන්සල් සේම මුස්‌ලිම්වරුන්ට පල්ලියක්‌ සාදා ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා යෑයිද හෙතෙම පැවැසීය.
වැරදි දේවල් උගන්වන වැරදි දේවල් සිදුවන සමාජයෙන් මුස්‌ලිම් ප්‍රජාව බේරා ගැනීම සඳහා පල්ලි අත්‍යවශ්‍ය බවත්, මුස්‌ලිම් පල්ලි තැනීම සිදු කෙරෙන්නේ නිත්‍යානුකූලව බවත් එම මව්ලවිවරයා සඳහන් කළේය.
මේ රටේ පල්ලි වැඩි නම් ඒ පිළිබඳ නීතියක්‌ ගෙන එන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවැසීය.
සාම්ප්‍රදායික මුස්‌ලිම්වරු හා අන්තවාදී මුස්‌ලිම්වරු යනුවෙන් බෙදීමක්‌ මේ රටේ මුස්‌ලිම්වරු අතර නැති බවද සියලු මුස්‌ලිම්වරු එකම පිරිසක්‌ වන බවද එම මව්ලවිවරයා කීවේය.
මේ රටේ මුස්‌ලිම්වරුන්ට මේ රටේ ජීවත්වීමේ අයිතියක්‌ ඇති බවත්, වසර 1200 ක පමණ ඉතිහාසයේ පටන් එම අයිතිය ලැබී ඇති බවත් පැවසූ එම මව්ලවිවරයා ඔවුන්ගේ මව්බිම ශ්‍රී ලංකාව මිස සවුදි අරාබිය නොවන බවද අවධාරණය කළේය.
අතීතයේ සිටි සිද්ධි ලෙබ්බේ, මරික්‌කාර් (වාස්‌තු විද්‍යාඥ), අබ්දුල් කාදර් (නීතිඥ) යන අය මේ රටේ දියුණුවට වැඩ කළ ශේ්‍රෂ්ඨ මුස්‌ලිම්වරුන් බවද හෙතෙම පැවැසීය.
එහිදී අදහස්‌ දැක්‌වූ උලමා සභාවේ මහනුවර දිස්‌ත්‍රික්‌කය භාර ෆසුල් රහුමාන් මව්ලවිවරයා මෙසෙද පැවැසීය.
''අපි බලන්නේ පොඩි පල්ලි විශාල කර ගැනීමටයි. විශාල පල්ලි තිබීම අපට ආඩම්බරයක්‌. රජයෙනුත් අපට සහාය ලැබෙනවා. මහනුවර මල්වතු විහාරය ආසන්නයේ වීරක්‌කම් මුස්‌ලිම් පල්ලිය හදන්න මේ රජය උදව් කළා. දළදා මාළිගාව, රුවන්වැලි සෑය, කළුතර බෝධිය, ශ්‍රී මහා බෝධිය වගේ අපටත් මීරක්‌කම් වගේ පල්ලි තියෙනවා. මේ රටේ ජහාත්, අල්කයිඩා ත්‍රස්‌තවාදී කල්ලි නැහැ. එහෙම ඉන්නවානම් ආරක්‍ෂක අමාත්‍යාංශය, බුද්ධි අංශ ඒ ගැන බලා ගනිවී. එල්ටීටීඊ ත්‍රස්‌තවාදය පැවැති කාලයේ මුස්‌ලිම්වරු සිංහල හමුදාව සමග එකතු වුණා. ජීවිත පිදුවා. තවදුරටත් ඒ වගේ සහයෝගයෙන් ජීවත් වෙමු කියලයි අපි කියන්නේ.''

http://sinhala.theindependent.lk/news/item/528-%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA-%E0%B6%B6%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93-%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.html

ඇත්තටම කව්ද මේ මුහම්මද්??


ඇත්තටම කව්ද මේ මුහම්මද්??

  
ආගම් හා දර්ශන නොවන්නට මේ ලෝකය මහා දරුණු තැනක් බවට පත් වන්නේ ය. එසේ නො වුයේ නම්; මිනිස් සංහතිය මේ වනවිටත් විනාශ වී තිබෙන්නට පුළුවන. සෑම ආගමක ම අර්ථය මිනිසා ශිෂ්ට සම්පන්න කිරීම ය. මිනිස් සමූහයාගේ සහජීවනය මතු කොට ජීවිතයේ පරමාර්ථ ඔවුනට කියා දීම ය. ලෝක සමාජය විසින් අදටත් පිළිගනු ලබන හා අදහනු ලබන පුරාණ ආගම් කිහිපයක් තිබේ. බුදු දහම, ක්‍රිස්තියානි දහම, හින්දු දහම හා ඉස්ලාම් දහම ඒ අතර ප්‍රධාන වේ. ඒ අතර ඉස්ලාම් දහමේ දේව පණිවුඩකරුවා වූ නබීනායකතුමාගේ අනුස්මරණ දිනය අදට යෙදී තිබේ.

අරාබිකරයේ ශුෂ්ක කාන්තාර අතර දිවි ගෙවූ ගෝත්‍රික ජනයා ශිෂ්ට සම්පන්න කිරීම සඳහා භාවිත වූ ප්‍රධාන ආගම ඉස්ලාම් ය. එම දර්ශනය ඇතුළත් ශ්‍රේ්ෂ්ඨ ග්‍රන්ථය අල් කුරානය ලෙස හැඳින් වේ. කුරානයේ ඇති දේව භාෂිතයන් ද, නබීතුමාගේ ජීවන ආදර්ශයන් ද ඉස්ලාම් දහමේ හරය ලෙස ගත හැකි ය. සාමය, සමාදානය, සමානාත්මතාව, සහජීවනය හා පාපයෙන් වැළකීම ඉස්ලාම් දහමේ පදනම ය. නූතන ලෝකයට අවශ්‍ය සාමය හා සහජීවනයට ඉස්ලාම් දහමෙන් ලද හැකි පාඩම් ඉමහත් ය. අද දිනය ඒවා ස්මරණය කිරීමට කදිම අවස්ථාව සේ ගත හැකි ය.

ශ්‍රී ලංකාවේ රිසානාගේ සිද්ධියත් සමඟ ඉස්ලාම් දහම දෙස වපරැසින් බලන්නටත්, අරාබි රාජ්‍යයන් කෙරෙහි යම් විරෝධතාවක් දක්වන්නටත් මෙරට සමහරු පෙලඹුණහ. මෙය වැරැදි අවබෝධයක් මත ඇති වූ වැරැදි අවබෝධයෙකි. ෂරියා නීතිය අපට හෝ සෞදියේ රජතුමාට හෝ අමෙරිකාවේ ජනාධිපතිට හෝ වෙනස් කළ හැකි දෙයක් නො වේ. එම නීති පැළපදියම් වී ඇත්තේ දරුණු සමාජයක් ශිෂ්ට සම්පන්න කිරීම සඳහා ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස ය. එදා අරාබියේ ගෝත්‍රික සමාජ, ස්ත්‍රී දූෂණවලින්, මිනීමැරීම්වලින්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් කොල්ලකෑමෙන් පෙරමුණේ සිටියේ ය. එබඳු සමාජයක් යහපත් කිරීම සඳහා දරදඬු නීති ක්‍රියාත්මක කළ යුතු ව තිබිණි.

පුරාණ අරාබි ගෝත්‍රික ජනයා ස්ත්‍රීන් පහත් කොට සැලකූහ. උපදින ගැහැනු දරුවෝ උපන් ගෙයිම මරා වළ දැමූ හ. මේ ගෝත්‍රික සමාජයේ පිරිමි දිනපතා ම මත්පැන් පානය කළහ. පිස්සුවෙන් ජීවත් වූහ. වෙළෙඳාමේ දී බොරු කළහ. පළමු මිනිසා දෙවන මිනිසාගේ සතුරා විය. ඔව්හු එකිනෙකා තිරිසනුන් මෙන් මරා ගත්හ. එබඳු සමාජයක් ශිෂ්ටත්වය කරා ගෙන ගියේ නබීතුමාගේ ඉගැන්වීම් ය. ෂරියා නීතිය බිහිවූයේ ද එම ඉගැන්වීම් ගුරුකොට ගෙන ය. නබීනායකතුමෝ අරාබියේ උසස් ම ගෝත්‍රයක් වූ කුෙරෙෂී කුලයෙහි උපන් හ. ජීවිතයේ බොහෝ යස-ඉසුරු ප්‍රතික්ෂේප කළ එතුමෝ පොදු ජනයාගේ යහපත උදෙසා සිය ජීවිතය කැප කළහ.

ඉස්ලාම් අදහන පුද්ගලයා ශිෂ්ට මනුෂ්‍යයෙකි. ඔහු අනෙකාට සලකනුයේ සහෝදරයකුට මෙනි. මුළු මහත් මිනිස් වර්ගයාම එක සමානය යනු නබීතුමාගේ ඉගැන්වීමකි. ශ්‍රී ලංකාව හා අරාබිය අතර දේශපාලන සම්බන්ධයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. අපේ පුරාණ රජවරු මුස්ලිම් ජාතිකයෝ කැටුව විවිධ ගනුදෙනු පැවැත්වූහ. රජුගෙන් ගම්වර ලද මුස්ලිම් ජාතිකයෝ මෙරටෙහි විසූහ. රජුට විවිධාකාරයෙන් සහයෝගය දැක් වූ මුස්ලිම් ජාතිකයෝ ශ්‍රී ලංකාවේ දියුණුව හා චිරස්ථිතිය නිරන්තරයෙන් ප්‍රාර්ථනා කළ හ. අදත් එම තත්ත්වය එලෙසම පවතී. බටහිර යුරෝපයට වඩා පෙරදිග ශ්‍රී ලංකාව වැනි රටවලට ආදරය කිරීම ඉස්ලාම් භක්තිකයාගේ සිරිත වේ.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අරාබි රටවලින් ලැබෙන අනුබලය ඉමහත් ය. විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා අරාබි රටවලින් ලැබෙන ආධාර හා ණය සුළු පටු නැත. තෙල් ගනුදෙනුවල දී මෙන් ම තේ ගනුදෙනුවල දී ද ශ්‍රී ලංකාවට ප්‍රමුඛ තැනක් ලබාදීම අරාබි රටවල සිරිත වේ. ලෝක මානව හිමිකම් සමුළුවේ දී අරාබි රටවල සහාය බොහෝ විට ශ්‍රී ලංකාවට ලැබී තිබේ. ඔව්හු ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය හා භෞමික අඛණ්ඩතාව මහ ඉහළින්සලකති. ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන සැලැකීමේ දී ද අරාබි රටවල් දක්වන සහයෝගය බලවත් ය. ඛනිජ තෙල් සහිත ධනවත් රාජ්‍යයන් ශ්‍රී ලංකාවට හිතවත් වීම අප ලැබූ භාග්‍යයක් කොට සැලැකිය හැකිය.
දේශපාලන වශයෙන් සලකන විට ද ආර්ථික වශයෙන් සලකන විට ද අරාබි රටවල් අපට ඉතා වැදගත් ය. ඒ හැරුණු කොට ශ්‍රී ලංකාව හා අරාබි රටවල් අතර ඓතිහාසික සම්බන්ධයක් ද තිබේ. එය ගොඩනැඟී ඇත්තේ වෙළෙඳාම, දේශපාලනය හා ආගම මුල්කරගෙන ය. ඉස්ලාම් අදහන විශාල පිරිසක් මෙරට පුරවැසියෝ වෙති. ඔව්හු දීර්ඝ කාලයක පටන් මෙරටෙහි සහජීවනයෙන් කල් යවති. අපගේ නිදහස් සටනට උරදුන් විරුවෝ අතර ද මුස්ලිම් ජාතිකයෝ විශාල පිරිසක් ද උන්හ.

මේ සියලු කරුණුවලින් සනාථ වන්නේ කිසිදු භේදයකින් තොරව අප සියලු දෙනා සාමූහිකව ජීවත්විය යුතු බව ය. නබීනායකතුමාගේ ඉගැන්වීම ද එය ම වේ. දැන්-දැන් පුංචි-පුංචි විරසක හා විභේදන මතු වී ඇති බවක් පෙනෙන්නට තිබේ. සමහරු මූලධර්මවාදී අදහස් දරමින් ජාතීන් අතර හා ආගම් අතර භේදයක් ඇති කිරීමට වෑයම් කරති. මේ අය එක්කෝ මානසික රෝගීහූ ‍ෙවති. නැතහොත් කාගේ හෝ අනුකාරකයෝ වෙති. ශ්‍රී ලංකාව මෙබඳු දේශපාලන ප්‍රශ්නයක් නිසා දීර්ඝ කාලයක් තිස්සේ පීඩනයට පත් වූ රාජ්‍යයෙකි. එහි ප්‍රතිඵලය ලෙස දසක තුනක බලවත් ත්‍රස්තවාදයකට මුහුණ දෙන්නට අපට සිදුවිණි. මුලධර්මවාදීන්ගේ නො මනා ක්‍රියා නිසා ත්‍රස්තවාදය උග්‍රවිය. යුද්ධය බරපතළ විය. එය දේශපාලන පාඩමක් ලෙස ගන්නට තව ම අප පුරුදු වී නැත.

මැදපෙරදිග ගෘහ සේවය තුළ විවිධ දුෂ්කරතා තිබෙන්නට පුළුවන. ඒවා විධිමත් කළ යුතු ය. එහෙත් රටට ලැබෙන විශාල විදේශ විනිමයක් ප්‍රතික්ෂේප කොට අරාබි රටවල් ද අමනාප කර ගැනීමට උත්සුක වීම බුද්ධිමත් තීන්දුවක් නො වේ. රිසානාගේ මරණයෙන් පසු ශ්‍රී ලංකාවේ ගෘහ සේවිකාවන් පිළිබඳ ප්‍රශ්නයක් මතු වී තිබේ. මෙරට සමාජය තුළ ඒ සම්බන්ධයෙන් ඇත්තේ බලවත් විරෝධයකි. සිදුවිය යුත්තේ විධිමත්ක්‍රමවේදයක් සකස් කොට ගෘහ සේවිකාවන් අරාබි රටවලට ඒ මඟින් යැවීම විනා අපේ අවස්ථාවන් අහිමි කර ගැනීම නො වේ. ඒ රටවල් සමඟ අමනාප වීම කොහොමටත් යහපත් දෙයක් නො වේ.

නබීනායකතුමාගේ ඉගැන්වීම් සිහිපත් කළ යුතු වැදගත් ම දිනය අද බව අමුතුවෙන් කිව යුතු නො වේ. එතුමාගේ ප්‍රධාන ඉගැන්වීම වන්නේ අප මුලින් ද සඳහන් කළ පරිදි සාමය, සමාදානය හා සහජීවනය පැතිරවීම ය. සෑම මනුෂ්‍යයා ම එක සමාන යැයි නබීතුමා කියා ඇත. මෙය ඉස්ලාම් භක්තිකයාට පමණක් නො ව අන්‍යාගමිකයනට ද ඉතා වැදගත් ඉගැන්වීමකි. මූලධර්මවාදයට කත් අදින කෙනකුට මිස බුද්ධිමත් හා සාධාරණ තැනැත්තකුටනබීනායක ඉගැන්වීම්වල අයහපතක් දකින්නට පුළුවන්කමක් නැත. නබීනායකතුමන් කියන ලෙස සාමය හා සහජීවනය ලෝකය පුරා පැතිරේවා! ලෝකය එක යායක් බවට පත් වේවා!

මුස්ලිම් වොච් හි පලවූ ලිපියකි.

දේශයේ සැබෑ මිතුරන් හඳුනා ගනිමු!



ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට විරුද්ධව යම් යම් මතවාදද මුස්ලිම් රටවල් විරෝධී යම් යම් මතවාදද මේ දිනවල පැන නැගෙමින් පවතී. සැබවින්ම එය එසේ විය යුතුද?මේ සඳහා පළමුව සලකා බැලිය යුතු වන්නේ ශ්‍රී ලංකාවට වඩාත්ම හිතවත් මිතුරන් සිටින්නේද? සිටින්නේ නම් ඒ කවර රටවල්ද යන්නයි.

සැබෑ විපතකදී යුරෝපය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරන් ලෙස ඉදිරියට නොආ බව අද වන විට ඔප්පු වී තිබේ. 1970 ට පෙර යුරෝපිය රටවල් ශ්‍රී ලංකාවේ ආරක්ෂකයන් බවට පත්ව සිටියද මෑත කාලීන වර්ධනයත් සමග එය කලාපීය මුස්ලිම් රටවල් කරා මාරු වී තිබේ.

1947 පාකිස්තානය බිහි වූ දා සිට පාකිස්ථානය අපේ මිතුරු රටකි. ඇත දිග හැර  වියදම් කරන හිතවතෙකි. ඉරානය, ලිබියාව, සෞදී අරාබිය, බංගලාදේශය, ඉන්දුනීසියාව, මැදපෙරදිග බහුතරයක් වූ සෙසු රටවල් ඒ හිත මිතුරු ලයිස්තුවේ මුලටම වේ.

ප්‍රභාකරන්ගේ දමිල ඊලාම් විමුක්ති කොටි සංවිධානය ඊලාම් සටන අරඹා රට දෙකඩ කරන  ව්‍යාපාරය උච්ච මට්ටමට පත් කල පසු ශ්‍රී ලංකාවේ උදව්වට ආවේ මෙම මුස්ලිම් රාජ්‍ය පෙළයි.

හැත්තෑ ගණන්වල ඇරඹි රට බෙදන ඊලාම් ව්‍යාපාරය ඔවුන්ගේ පැත්තෙන් බිහිසුණු හා සාර්ථක මට්ටමට ගෙනගියේ ප්‍රභාකරන් විසිනි. එතෙක් යම් තරමකට හෝ වාමාංශික මුහුණුවරක් ගත් කුට්ටුමනී, උමා මහේෂ්වරන්, ආදීන් පැත්තකට කර සටන අතට ගත් ප්‍රභාකරන්  මේ පොලව ලේ ගංගාවක ගිල්වද්දී දමිල ඊලාම් න්‍යායවාදීන් උත්සහ කලේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වන මුස්ලිම් ප්‍රජාවද සටනේ පංගුකාරයන් කර ගැනීමටය. එහෙත් මුස්ලිම්වරුන් කිසිදු අවස්ථාවක බෙදුම්වාදී උවමනාවන් පසුපස ගියේ නැත. යම් යම් පුද්ගලයන් එල්.එල්.ටී.ටී.ඊ හිතවාදීන්ව සිටියා වුවද බහුතර මුස්ලිම් ජනතාවද මුස්ලිම් ආගමික නායකයන්ද ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා හමුදාව සමග මිත්‍රත්වයෙන් යුතුව කටයුතු කළහ. ඔවුන්ද තම පොදු සතුරා ලෙස සැලකුවේ ඊලාම් ත්‍රස්තවාදයයි.
1970 තරම් ඈත කාලය වන විට ඉන්දියාව ඊළාම් සංවිධානවල ප්‍රධාන ආරක්ෂකයා වී තිබු අතර අප සමග තිබු හමුදා සම්බන්ධතා ටිකෙන් ටික ඈත් කරමින් පැවතින. ඒ වන විට ඉන්දියාවේ කොටි පුහුණු කදවුරු 12ක් තිබු අතර නවීන මෝටාර්, මැෂින් තුවක්කු ආදියෙන් සන්නන්ධ වූ ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර හමුවේ අපේ ආරක්ෂක හමුදා යම් පීඩනයකට හසු වෙමින් තිබිණි. මේ අවස්ථාවේ අපේ උදව්වට ආවේ පාකිස්ථානයයි.

ජනරාල් සියා උල් හක් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණ උතුරේ ඇති වෙමින් තිබු තත්වය පිළිබද සැබෑ තත්වය දැක බලා ගත්තේය. අනතුරුව ජනරාල්වරයා එවකට පාකිස්ථාන යුධ හමුදාවේ විශේෂ බලකා ප්‍රධානි බ්‍රගේඩියර් තාරික් මොහොමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු  යුතු විශේෂ හමුදා කණ්ඩායමක් මෙරටට එව්වේ අපේ හමුදාව පුහුණු කිරීම සදහාය. අනුරාධපුර සාලියපුර කදවුරේදී පාකිස්ථාන හමුදා ප්‍රධානීහු අපේ හමුදාව සදහා පුහුණුවීම ආරම්භ කලහ. මෙම පුහුණුව ලබා දුන්නේ අපේ හමුදාවේ නිලධාරින් නොවන සෙසු නිලයන්ට වීම විශේෂත්වයක් වෙයි.

එයට හේතුව ඒ වන විට අපේ නිලධාරීන්ට මිස සෙබළුන්ට විදේශ පුහුණුව ලැබෙන ක්‍රමවේදයක් නොතිබීමයි. ජේෂ්ඨතම හමුදා නිලධාරීහු කිහිප දෙනෙක් බ්‍රිතාන්‍යයේ යේ සන්ධර්ස්ට් ආරක්ෂක පීඨයේද තවත් පිරිසක් ඉන්දියාවේද පුහුණුව ලැබුහ. එහෙත් නැග එන ගරිල්ලා ත්‍රස්තවාදයට එරෙහිව කාලීන යුද උපක්‍රම ඉගැන්වීම් මේවායේ සිදු නොවීය.

බ්‍රිගේඩියර් තාරික් අසිස් ජනරාල් සීයාගේ සමීපතමයෙකු වූ අතර අසීස්ට අන දුන්නේ සෘජුවම පාකිස්ථාන ජනාධිපතිවරයාය. එවකට ශ්‍රී ලංකා හමුදාවට ආගන්තුක වූ මෝටර් හා රොකට් ලෝන්චර් පාකිස්ථානයෙන් ගෙනවීත් මෙම පුහුණුව ලබා දීමට තරම් රටවල් දෙකේ මිත්‍රත්වය ශක්තිමත් වී තිබිණි. පුරා මාස තුනක් බ්‍රගේඩියර්වරයා හා කණ්ඩායම ලංකාවේ නැවතී මෙසේ අපේ හමුදාවට පුහුණුව දුන්හ. ඉන්පසු මෙම පුහුණුව පාකිස්තානයේදී ලබා දීම සිදු කෙරිණි. හමුදා උපකරණද, අවි ආයුධද, පාකිස්ථාන අයි.එස්.අයි. රහස් ඔත්තු සේවයේ තොරතුරු හුවමාරුවද දිගින් දිගටම අපේ රටට ලැබිණි. පාකිස්ථාන හමුදා නායකයෝ ඊලාම් ත්‍රස්තවාදී අරගලය පුරාම ලංකාවේ සමීප මිතුරන්ව සිටියහ. 1985 දී ඉන්දියාව අපේ හමුදාවට ලබා දුන් පුහුණුව සම්පුර්ණයෙන් නතර කල පසු නිලධාරීන් සහ සෙබළුන් පුහුණු කිරීමේ තනි බර පාකිස්ථානය අතට ගත්තේය. එයට බංගලාදේශයද හවුල් විය. 1987න් පසු ඉන්දියාව යලි අපේ හමුදාවේ කණ්ඩායම් කිහිපයක් පුහුණු කිරීම ඇරඹිය.

විටින් විට වෙනස් වන කලාපිය දේශපාලන තත්වයන් හමුවේ වුවද පාකිස්ථානයත් බංගලාදේශයත් ශ්‍රී ලංකාව සමග මිත්‍රත්වය අත හැරියේ නැත.

අලිමංකඩ යුද හමුදා කදවුර බිද වැටී කොටි ත්‍රස්තවාදීන්ගේ කාලතුවක්කු බලය පලාලි යුද හමුදා හදවත වෙත විහිදෙන්නට පටන් ගත් 2000 අඳුරු සමයේදී අපේ ආරක්ෂාවට ආවේ පාකිස්ථානයයි. දෙරටේ රාජ්‍ය නයක හා හමුදා නායකයන්ගේ ක්ෂණික දුරකථන සංවාද මත පාකිස්ථාන ගුවන් යානා කිහිපයක් කොළඹ බලා පියාසර කළේය. ඒවායේ තිබුනේ හොදම ජංගම ප්‍රහාරක බලයවූ මල්ටි බැරල් රොකට් විදින යන්ත්‍රයයි. එම මල්ටි බැරල් රොකට් ලෝන්චර් ඒ වන විට පාකිස්ථාන හමුදා කඳවුරු වලින් එකතු කරගෙන කොළඹට ගෙන එන ලදී.

ඒවා ක්ෂත්‍රයේ පහර දෙමින් තිබු ඒවා විය. මෙමගින් ප්‍රභාකරන් නොසිතු ප්‍රහාරයක් එල්ල කිරීමට ශ්‍රී  ලංකා හමුදාවට පුළුවන් වූ අතර මල්ටි බැරල් යන්ත්‍ර ක්‍රියාත්මක කලේද පාකිස්ථාන සෙබළුන්ය. චෙකොස්ලෝවකියාවෙන් ඇනවුම් කර තිබු මල්ටි බැරල් යන්ත්‍ර මෙරටට ගෙන එන තුරු මෙම ගිනි බලය යොදා ගනිමින් ප්‍රභාකරන්ගේ යාපනය අල්ලා ගැනීමේ සිහිනය බොද කරලීමට හැකි විය.

ජනරාල් පර්වේස් මුෂාරෆ් පාකිස්ථාන ජනාධිපති ධුරයට පත් වූ විට දෙරට අතර සම්බන්ධතා අතිශය ශක්තිමත් විය. ජනරාල් ශ්‍රී ලාල් වීරසුරිය මුෂාරෆ් ජානධිපති සමග බ්‍රිතාන්‍ය නැෂනල් ඩිෆෙන්ස් කොලේජ්හි එකට අධ්‍යාපනය ලැබීම සලකා එවක රජය ශ්‍රී ලාල් වීරසුරිය විශ්‍රාම ගිය පසු පාකිස්ථාන මහා කොමසාරිස් ලෙස පත් කළේය. ඔහුට හිතවත්කම් මත තවත් බොහෝ දේ කල හැකි විය.

මාවිල්ආරු සොරොව්ව වසා ප්‍රභාකරන් තම අන්තිම ගමන යාමට සැලසුම් කල අවස්ථාවේ අපේ පිහිටට ආවේද පාකිස්ථානයයි. මහා ප්‍රහාරයකට සරිලන කාලතුවක්කු උණ්ඩ හා මල්ටි බැරල් උණ්ඩ සිය දහස් ගණන් පිරවූ නැව් විශාල ප්‍රමාණයක් පාකිස්ථානයෙන් මෙරටට එව්වේ ආයුධ සදහා මුදල් පසුව ලබා ගැනීමේ පදනමිනි. එම මුදල් අදටත් ගෙවනවා විය යුතුය. පාකිස්ථාන ආයුධ සහය නොතිබුනේ නම් මාවිල්ආරු සොරොව්ව මුදා ගෙන මුලතිව් දක්වා එතරම් ඉක්මනින් යාමට නොහැකි වනු ඇත. පාකිස්ථානය මෙම මහා මානුෂිය මෙහෙයුම් පිටුපස දැවැන්ත කාර්යභාරයක් කළේය. ඊලාම් ත්‍රස්තවාදී අරගලය මැඩලන ශ්‍රී ලංකා රාජ්‍යයේ සමස්ත අරගලය පුරාම පාකිස්ථානය දැවැන්ත සෙවනැල්ලක්ව නැගී සිටියේය. ශ්‍රී ලංකාවේ සාමකාමී ජනතාව තම නිදහස දිනා දුන් රණවිරුවන්ගේ අරගලයට දායක වූ මෙම  මුස්ලිම් රාජ්‍ය පන්තියට සදාකාලිකවම ගරු බුහුමන් කල යුත්තෝය. කිට්ටුම අසල්වැසියා පිටුපාද්දී උදව්වට ආවෝ ඔවුහු වෙති.

1984-85 සහ 86 ඊලාම් ත්‍රස්තවාදය නැගෙනහිර පළාතේ පතුරුවා හැරීමට ඊලාම් සංවිධාන උත්සහ කල කාලය විය. එම කාලයේ නැගෙනහිර පළාතේ ත්‍රස්තවාදී සාමාජිකයන් හා උතුරේ සාමාජිකයන් අතර බරපතල සමාජීය වෙනස්කම් තිබිණි. මුස්ලිම් ජනයාගෙන් තම ශක්තිය වැඩි කර ගැනීමට එල්.එල්.ටී.ටී.ඊය උත්සාහ දැරුවද නැගෙනහිර මුස්ලිම්වරු එසේ නොගියහ. අවසානයේ මුස්ලිම් නම් යොදවා ත්‍රස්ත නායකයන් පත් කර එව්වද ඔවුන් දමිල බව පසුව හෙළිදරව් විය. අම්පාර දිස්ත්‍රික්කයේ පානම සිට පොතුවිල්, අක්කරපත්තුව, කාරතිව්, කල්මුනේ, කාතන්කුඩි, වාලච්චේන යන ප්‍රදේශ දක්වාම බහුතර ගම්බිම් මුස්ලිම් ප්‍රදේශ විය. මෙම ප්‍රදේශවල එල්.ටී.ටී.ඊ ක්‍රියා සිදු නොවූ අතර බිම් බෝම්බ පහරදීම් ආදිය බහුලව සිදු නොවීය. කාත්තන්කුඩි මුස්ලිම් වැසියන්ට 1986 දි යුද හමුදාව තුවක්කු පවා සැපයුවේ ඔවුන්ගේ ආරක්ෂාවටය. මේ පිරිස තම ගම්බිම් සතුරාගෙන් රැක ගත්හ. සිංහල ගම්මානවල ආරක්ෂාවට තුවක්කු සැපයීම ආරම්භ වුයේත් මේ කාලයේය. මඩකලපුවේ සිංහල ගම්මාන නොවුයෙන් යුද හමුදා කදවුරු අලුතෙන් ඇතිවුයේ මේ ගම්මාන වලය.

1990 දි දෙවැනි ඊලාම් අරගලය ඇතිවීමෙන් පසු එල්.ටී.ටී.ඊය මෙම මුස්ලිම් ගම්මානවලට පහර දුන්නේය. තමන්ට නැගෙනහිර ශක්තිමත් වීමට ඉඩ නොලැබුණේ මොවුන් නිසා බව එල්.ටී.ටී.ඊය තේරුම් ගෙන තිබිණි. කාතන්කුඩි පල්ලියේ යාඥා කල බැතිමතුන්ට පහර දී 147 ක් අලන්චිපොඨාන, 69ක්ද පල්ලියගොඩැල්ල 171ක්ද යන ලෙස මහා සංහාර සිදු වුයේ මුස්ලිම් ජනතාව ශ්‍රී  ලංකාවේ ඒකීය රාජ්‍යයට සහයෝගය දැක්වූ නිසාය. මෙම ගම්මාන නොතිබුනේ නම් ඊලාම් අරගලය ඇරඹෙනු ඇත්තේ පොළොන්නරුවේ සිටය. පොළොන්නරුවට දිඹුලාගල අසරණ සරණ සරණංකර නාහිමියන් අයෝමය පලිහක් වුවා සේම මෙකී මුස්ලිම් ගම්මානද නැගෙනහිර රැක ගැනීම පිණිස ශ්‍රී ලංකා රජයට අයෝමය පලිහක් විය. අදටද මුස්ලිම්වරු විශාල පිරිසක් ත්‍රිවිධ හමුදාවේ සේවය කරති. රට වෙනුවෙන් දිවි දුන් උත්තුංග ශ්‍රී ලංකා පුත්‍රයන් අතර මුස්ලිම්වරුද විශාල පිරිසක් වෙති. මුලතිව් කදවුර බේරා ගැනීම සදහා වික්‍රමාන්විතව සටන් වැද මිය ගිය එවකට 1 වැනි විශේෂ බලකා ප්‍රධානි කර්නල් ෆස්ලි ලෆීර්, බුද්ධි අංශයේ මේජර් තුවාන් මුතාලිෆ් ආදීහු ඒ දීර්ඝ ලැයිස්තුව සරසති. එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සාමාජික ලයිස්තුවේ මෙවෙනි නම්ගම් විරලය. එක්කෝ ඇත්තෙම නැත.

එහෙත් ඇතැම් මුස්ලිම් දේශපාලකයන් සතුරාගේ පැත්ත ගෙන ජාතිබේදය වැපිරූ බව ජනතාවට මතකය. කල යුත්තේ ඔව්න් හදුනාගෙන හුදෙකලා කිරීම මිස සමස්ත මුස්ලිම් ජනතාවට පහර දීම නොවේ.

දැන් යුද්ධය අවසන්ව තිබේ. සාමකාමිව තමන්ගේ පාඩුවේ ජීවත් වන සිංහල දෙමල මුස්ලිම් තුන් වර්ගයාටම තවත් බිහිසුණු යුද සමයක් අවශ්‍ය  නොවනු ඇත. ඒ සදහා සියලුම ජනවර්ගවල පටු අරමුණු ඉවත් කර ගැනීමට කාලය උදා වී තිබේ.


රංග පෙම්කිත්
සතියේ කතාව
ඉරිදා ලංකාදීප 2013 පෙබරවාරි 03 ඉරිදා

මුස්ලිම් ජනතාව ‘නිකරුනේ විවේචනය කරන්න එපා’



මුස්ලිම් ජනතාව ‘නිකරුනේ විවේචනය කරන්න එපා’


අපෙන් NEWS



මුස්ලිම් ජනතාව කිසිදු අවස්ථාවක රටට ද්‍රෝහී වී නැති බව පවසන මුස්ලිම් නායකයෝ, විශේෂයෙන්ම රහසිගත ජිහාඩ් සංවිධානයක් පිළිබඳව පළ වන ප්‍රචාරයන් ද තරයේ ප්‍රතික්ෂේප කරති.
nmameen
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන් එම් අමීන්, අවබෝධයකින් තොරව මුස්ලිම් ජනතාවගේ සංස්කෘතිය විවේචනය නොකරන මෙන් ශ්‍රී ලංකාවාසීන් ගෙන් ඉල්ලීමක් කළේය.

“මුස්ලිම්වරු ඇයි මේ රටේ ජිහාඩ් කළ යුත්තේ? අපි මේ රටේ වෙන කොටසක් ඉල්ලන්නේ නෑ. කොහෙවත් එහෙම සංවිධානයක් තියනවා නම් අපි ඉල්ලා සිටිනවා, මේ රටේ දක්ෂ ආරක්ෂක ව්‍යුහයක් තියනවා, ඒ අයට සොයාගන්න පුළුවන්,” යනුවෙන් ද එන් එම් අමීන් සභාපතිවරයා සඳහන් කළේය.

අන්තවාදීන්

මුස්ලිම් ප්‍රජාව අතර අන්තවාදීන් සිටින්නේ නම් ඔවුන්ට දඬුවම් පැමිණවීම පිළිබඳව තම සංවිධානයේ කිසිදු විරෝධයක් නොමැති බව ද ඔහු අවධාරණය කළේය.
වෙළඳපොළට නිකුත් කෙරෙන මස් වලට හලාල් සහතිකය නිකුත් කිරීම මගින් ජමියතුල් උලමා සභාව විශාල ආදායමක් උපයා ගන්නා බවට එල්ල වන චෝදනා ද මුස්ලිම් නායකයෝ ප්‍රතික්ෂේප කළහ.
එම සහතිකය නිකුත් කිරීම කිසිදු ආකාරයක ව්‍යාපාරයක් නොවන බව අවධාරණය කළ ජනාධිපති නීතිඥ අලි ශබ්රි, එය හුදෙක්ම මුස්ලිම් ජනතාව වෙනුවෙන් සැපයෙන සේවාවක් බව ද පැවසීය.
මුස්ලිම් ජනතාවට එරෙහිව රට තුලින් මතුවෙමින් තිබෙන ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම් වස් ආණ්ඩුව ගෙන තිබෙන පියවර පිළිබඳව සෑහීමකට පත්වන බව ද මුස්ලිම් නායකයෝ පැවසූහ.
අල් කයිඩා සහ තාලිබාන් සංවිධාන ශ්‍රී ලංකාවේ තහනම් කළ හොත්, රටේ මුස්ලිම් ජනතාවට හිරිහැර කිරීම සඳහා එම නීති යොදාගැනීමේ අවදානමක් පවතින බව ද ශ්‍රී ලංකා මුස්ලිම් නායකයෝ පවසති.
ජනාධිපති නීතිඥ එම් එම් සුහයිර් එම අදහස් පළ කළේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සහ ඇතැම් බෞද්ධ සංවිධාන මගින් කලක් මුළුල්ලේ ගෙන යන ප්‍රචාරවලට ප්‍රතිචාරය පළ කිරීම පිණිස කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.
http://apennews.com/
From:bbc

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons