ශ්‍රී ලංකාව තුල අන්වර් මනතුංග බ්ලොගයට බාධා කිරීම සම්බන්ධවයි


ශ්‍රී ලංකාව තුල අන්වර් මනතුංග බ්ලොගයට බාධා කිරීම සම්බන්ධවයි

අන්වර් මනතුංග
අන්වර් මනතුංග
අන්වර් මනතුංග වන මම වෘත්තියෙන් ධර්ම දේශකයෙක්මි. ශ්‍රී ලංකාව තුල සහ ලොව රටවල් රැසක ඉස්ලාම් ධර්මය දේශනා කිරීමේ නියුතුව සිටිමි. මීට අමතරව අන්තර්ජාලය තුල අන්වර් මනතුංග නමින් www.anvermanatunga.com සිංහල බ්ලොගයක් පවත්වාගෙන යන අතර එය ආරම්භ කලේ මගේ අදහස් උදහස් ජනතාව වෙත ගෙනයාමේ මගක් ලෙසිනි. නමුත් ලංකාව තුල අන්තවාදීන් විසින් ආගම්බේධවාදය පතුරමින් ඉස්ලාමයට සහ මුස්ලිම් වරුන්ට පහර ගැසීමට පටන් ගත් කල එය වෙනස් අතකට පෙරළුනි.

මෙහිදී අන්තවාදීන් විසින් ඉස්ලාමයට සහ මුස්ලිම් වරුන්ට විරුද්ධව බොරු ගොතමින් දැඩිලෙස ජනතාව අතර ප්‍රචාරය කරනු දුටු මා ඊට එරෙහිව ලිපි ලියන්නට විය. මගේ තර්ක විතර්ක හමුවේ බොහෝ අන්තවාදීන් සිය කූඨ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගත නොහී දුර්මුඛ විය. වෙබ් අඩවියට අපහාස සහ මඩ එල්ල වුවද දිගින් දිගටම ජනප්‍රිය විය. මෙකල මගේ පුද්ගලික ජීවිතය අරබයාද නොයෙකුත් බොරු චෝදනා ගොතමින් මඩ ප්‍රචාර දියත් විය. නමුත් මේ මඩ වලින් සිදුවුයේ මා සහ බ්ලොග් අඩවිය තව තවත් ජනප්‍රිය වීමයි. මේ අතර තුර බොදු බල සේනාව නමින් තවත් අන්තවාදී සංවිධානයක් බිහිවු අතර එයින් ලංකාවේ ආගම්බේධවාදය උඩුයටිකුරු විය. ඉන්පසුව ආගම් බේධවාදය පැතිරීමට නොයෙකුත් අදිසි හස්තයන්ද ක්‍රියාත්මක වෙන බවක් පෙනී යන්නට විය.

අන්වර් මනතුංග බ්ලොගය විසින් දිගින් දිගටම මෙම අන්තවාදී සංවිධාන වල නිරුවත අන්තර්ජාලය තුලින් පෙන්වා දුන් අතර අප විසින් කරන ලද තර්ක සහිත ලිපි සාමාන්‍ය මාධ්‍ය වලද ප්‍රචාරය වන්නට විය. මේ කාලයේ අන්තවාදී සංවිධාන විසින් දිගින් දිගටම මා සිටින්නේ කොහේදැයි සොයමින් සිටින බව සාක්ෂි සහිතව සනාථ වු අතර එය තවදුරටත් උත්සන්න වුයෙන් විදෙස් ගත වුණෙමි. නමුත් වෙබ් අඩවිය අඛන්ඩව ක්‍රියාත්මක වු අතර එහි කිසිදු දේශපාලනික මුහුණුවරක් නොමැතිව පවත්වාගෙන යාමට යුහුසුළු වුනෙමු. අප ලිපි වලින් ආන්ඩුව, විපක්ෂය මෙන්ම මුස්ලිම් දේශපාලනික පක්ෂ පවා විවේචනය කොට ඇත්තෙමු. කිසියම් සිදුවීමක් පසුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බව වැටහුණු වහා අප එයට තදින් පහර දුන්නෙමු.

අප විශ්වාස කරන්නේ අද ලංකාව තුල පවතින අන්තවාදය රජයට මැඩ පැවැත්විය හැකිමුත් රජය ඒ පිළිබඳව අවධානය යොමු නොකරන බවයි. රජය තුල ජාතිවාදී පිරිස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වටා ඒක රාශී වී සිටින අතර සුළු ජාතිකයන්/ආගමිකයන් බැසිල් රාජපක්ෂ මහතා වටා ඒක රාශී වී ඇත. මෙම තත්වය රාජ්‍ය පාලකයෙක් ලෙස මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලනිකව වාසි සහගත තත්වයක් වන නමුදු මෙමගින් ඉදිරියේදී රට විශාල ප්‍රපාතයකට ඇද දැමෙනු ඇත. අද ලංකාව තුල සිටින මුස්ලිම් සිවිල් සංවිධාන, මුස්ලිම් සමාජයේ ආගමික නායකයන් සහ මුස්ලිම් දේශපාලකයන් සියළුම දෙනාම පුද්ගලිකව දැඩි පීඩනයකට යටත් කොට ඇත. ඔවුන් කිසිවෙකුට ඉදිරියට පැමිණ ඇත්ත හෙලිකිරීමට නොහැකි තත්වයකට පත්කර ඇත. පුද්ගලිකව තමන්ට පහර වදිනු ඇතැයි බියෙන් ඔවුන් රජයට එරෙහිව කෙල බිඳක්වත් නොහෙලන තත්වයකට පත්ව ඇත.

අප අන්වර් මනතුංග බ්ලොග් අඩවිය තුලින් මේ පිළිබඳව ජනතාව විශාල වශයෙන් දැනුවත් කොට ඇත්තෙමු. වර්ඩ්ප්‍රෙස් වාර්තා වලට අනුව අප අඩවිය මාස 15 තුල නැරඹුම් සංඛ්‍යාව 950,000ක් ඉක්මවා ඇති අතර පසුගිය මස පමණක් නැරඹුම් 200,000 කට ආසන්න වී තිබුණි. මීට පෙර ලංකාවේ පුද්ගලික බ්ලොග් අඩවියක් මෙතරම් ජනප්‍රියතාවයකට පත්ව නොතිබුණු අතර ඇලෙක්සා දත්ත වලට අනුව ලංකාවේ වැඩිම ප්‍රමාණයක් භාවිතා කරන වෙබ් අඩවි 500 තුලටද එය පැමිණ තිබුණි. මෙය අන්තවාදීන්ගේ දැඩි කෝපයට සහ ඊර්ෂ්‍යාවට හේතු විය. ලාංකීය සිංහල සමාජය තුල මුස්ලිමෙකු කරන වෙබ් අඩවියක් මෙතරම් ජනප්‍රියත්වයක් ලබා තිබීම ඔවුන්ගේ දැඩි නොසතුටට හේතු විය.

දැනට දින කිහිපයකට පෙර සිට ලංකාවේ දුරකථන සමාගම් කිහිපයක අන්තර්ජාල සේවාව තුලින් අප වෙබ් අඩවියට පැමිණීමට බාධා කර තිබුණු අතර අද වනවිට සියළුම සියළුම දුරකථන සේවා සමාගම් වලින් අන්වර් මනතුංග බ්ලොග් අඩවියට පැමිණීම වලක්වා ඇත. ලංකාව තුල අන්වර් මනතුංග බ්ලොග් අඩවියට ඇතුල්වෙන්නට යනවිට පැමිණෙන පණිවිඩය පහත දක්වමි.

Error: Requested url content cannot be accessed. This website is blocked until further notice either pursuant to court order or directions of Telecommunications Regulatory Commission of Sri Lanka..’

අන්වර් මනතුංග බ්ලොගය කිසිදු දහමකට අපහාස කර නොමැත. අප දැඩිව පහර දෙන්නේ ලංකාව තුල ක්‍රියාත්මක වන අන්තවාදී කල්ලි කන්ඩායම් වලට එරෙහිවයි. නමුත් ලංකාව තුල ඉස්ලාමයට සහ මුස්ලිම් සමාජයට සෘජුවම අපහාස සහ මඩ ප්‍රහාර එල්ලකරන වෙබ් අඩවි රැසක් ඉතා යහතින් ක්‍රියාත්මක වේ. එම වෙබ් අඩවි වලින් කිහිපයක් පහත දක්වමි.


එමෙන්ම ගලගොඩඅත්තේ ඥානසාර නම්වු ශ්‍රමණවේශධාරියා විසින් දිනපතාම මාධ්‍ය ඉදිරියට පැමිණ ඉස්ලාමයට සහ මුස්ලිම් වරුන්ට එරෙහිව අපහාස කරති. මේ ගැන පැමිණිලි කරන්න කිසිවෙකුත් නැති නිසා සහ පැමිණිලි කරන්නට තැනකුත් නැති නිසා ලංකාවේ මුස්ලිම්, කිතුණු මෙන්ම බෞද්ධ සමාජය තුල සිටින අන්තවාදයට අකමැති ජනතාවද සිටින්නේ දැඩි අසීරුතාවයකිනි. 

අප බ්ලොග් අඩවිය ලංකාව තුල වැලැක්වුවද අපගේ සටන අත්නොහරින බවද, ලංකාව තුල ක්‍රියාත්මක වෙන අන්තවාදී කල්ලි කන්ඩායම් සහ එයට සහයෝගය පලකරන අදිසි හස්තයන් මේ මව්බිමෙන් අතුගා දමන තෙක්ම ක්‍රියාත්මක වන බවද ලක්වැසි සියළුම මැදහත් ජනතාව වෙත මෙයින් දන්වමු.



මෙයට,
අන්වර් මනතුංග,
සංස්කාරක,
අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons