“යහපත් සමාජයක දෙවන ඛේදවාචකය – 1කෙටස”


ලිංගික දඩයම
ලිංගික දඩයම
අද මම මේ කියන්නට යන දේ ඇතැම් විට ඔබට පට්ට කුණුහරුපයක් වන්නට බැරි නැත. කියවන්න තියා හිතන්නටවත් නොහිතෙන කතාවක් වන්නටද බැරි නැත. එහෙත් මේ කතාව කිව යුතුමයි මම සිතුවෙමි. එනිසාවෙන් ලියමි.

අද සමාජය සාරධර්ම ඇතුළුව සියල්ලෙන්ම බිඳ වැටී ඇති සහ තව දුරටත් බිඳ වැටෙමින් පවතින්නක් බව අපි දනිමු. සමාජ ආර්ථික සංස්කෘතික මේ සියළු පැතිකඩවල් තුළ අපි තවමත් කරන්නේ අතීතය පිළිබඳ පම්පෝරි ගැසීමය. එහෙත් එයද ඈත අතීතයක් පිළිබඳවය. තමවත් අපට මෑත අතීතයක් හෝ වර්ථමානයක් පිළිබදව පම්පෝරි ගසන්නට නොහැකිය. කෙසේ වුවද මේ වන විට යහපත් සමාජය යන සංකල්පය වචන දෙකක් බවට පමණක් පත්ව හමාරය.

මිනිසා යන සමාජයේ මූලික සාධකය බාහිරව හා අභ්‍යන්තරව බිඳ වැටීමත් සමග සමාජ බිඳවැටීම හා අයහපත් සමාජය ඇතිවීම ආරම්භ විය. එසේ ගොඩනැගුණු අයහපත් සමාජ රාමුව තුළ අද වන විට සමාජයේ මූලික සාධකය වන මිනිසා මිනිසත්කමේ සීමාවන් වල දමමින් නොමිනිස්කම විදහා දක්වමින් සිටී. මිනිස්කම මියැදීම යහපත් සමාජයේ පළමු ඛේදවාචකයයි.

මූලික මිනිස් අවශ්‍යතා හෝ ඉටුකර ගැනීමට නොහැකි අයුරින් ආර්ථික විෂමතා මිනිස් ඉහ මත කඩා වැටෙද්දී මිනිසා නන්නත්තාර විය. ඒත් සමගම තමාගේ බඩට නැතත් තමාගෙන් යැපෙන පවුලට බඩ‍ට වේලක් කන්න දීම මිනිසාට මහා බරක් විය. මූලික අවශ්‍යතාවන්හි අනෙක් සියල්ල පසෙකලා ආහාර ඇඳුම් නිවාස යන දෑ පමණක් මිනිස් මනසේ හොල්මන් කරන්නට විය. ධනපතියා කෙසේ වුවද මධ්‍යම පාන්තිකයා හා දුප්පතා මෙකී කාරණා යන්තමට හෝ සපුරා ගැනීම සදහා යුධ වදින්නට විය.

කෙසේ වුවද මෙලෙස මිනිසා සීමිත අවශ්‍යතා ප්‍රමාණයක් සමග පොර බදිද්දී මිනිසාට අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක් නොදැනීම මග හැරෙන්නට විය. ඒ ලිංගික අවශ්‍යතාවයයි. ආහාර ඇදුම් නිවාස යනාදියට පසු මිනිසාට අත්‍යවශ්‍යම අවශ්‍යතාවය වන්නේ මෙයයි. වැඩිවියට පත්වීමත් සමග මිනිසා තුළ ඇතිවන මෙම අවශ්‍යතාවය නිසි අයුරින් ඉටුකරගැනීම තුළින් මිනිස් මනස නිදහස් වේ. කෙසේ වුවද අදවන විට ඇතිව ඇති සමාජ බිඳ වැටීමට මෙය ප්‍රබලව බලපා ඇති බවට අප අවට වටපිටාවේ ඕනෑ තරම් උදාහරණ ඇත.

ආර්ථික කරුණු කාරනා මත විවාහය කල් යද්දී, රැකියාවේ අවශ්‍යතාවය මත ස්වාමියා බිරිඳ ‍දිගු කලක් වෙන්ව සිටිද්දී, ලිංගික අසහනය සමාජය පුරා ඔඩු දුවන්නට විය. එයට උඩගෙඩි දෙන්නට අන්තර්ජාලය හා විවිධ දෘශ්‍ය මාධ්‍ය අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි කියා ලේබල් ගසමින් අතිශය අසභ්‍යය අයුරින් අසාමාන්‍ය ලිංගික උන්මාදයක් සමාජය තුළ ගොඩ නගන්නට විය. මෙකී සියල්ල හරහා ආර්ථිකව පීඩිත මිනිසා ලිංගිකවද පීඩාවට පත්වන්නට විය.

තාරුණ්‍යයට මෙම අවශ්‍යතාවය සපුරා ගැනීමට නිත්‍යණුකූල සහායිකාවක් නොමැති විය. ඒ ආර්ථික ගැටළු හේතුවෙන් විවාහය කල් යෑම නිසාය. එනිසා ඇතැම් පිරිස් තහනම් ගහේ ගෙඩි කන්නට විය. ඇතැම් අය කෙසේ හෝ ඉවසා දරා සිටින්නට විය. ආර්ථික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දීර්ඝ කාලීනව බිරිඳගෙන් වෙන්ව සිටි විවාහක පුරුෂයින්ද මෙලෙසම විය. ඉවසා දරන්නට නොහැකි වූවෝ මහ මගදී, බසයේදී හෝ හැකි සෑම ස්ථානයකදීම තම අවශ්‍යතා කෙසේ හෝ ඉටුකර ගැනීමට උත්සුක විය. ඔවුන් ඒ සඳහා යොදාගත් පුද්ගලයා ගැහැණියක්ද පිරිමියෙක්ද යන්න පවා ඔවුන්ට වැදගත් නොවූ බව හඟවන අවස්ථාද සුලභ විය.

මෙලෙස මුදුන් පත් නොවූ ලිංගික අවශ්‍යතාවය ඔස්සේ සමාජය තුළ අපරාධ රැල්ලක් බිහි විය. නිත්‍යාණුකූල සහායකයෙකු සමග ගොඩ නැගෙන අන්තර් සම්බන්ධතාවයක් ඔස්සේ සපුරාගත යුතු ලිංගික අවශ්‍යතාව අතවරයක් දක්වා දුර දිග යමින් “ලිංගික දඩයම” නම් අපරාධ කලාව ගොඩ නැගිණ.

මෙකී දඩයම හේතුවෙන් හෙම්බත් වූයේද සමාජයේ සාමාන්‍ය පාන්තිකයින්ය. අතරවරයන්ට ලක් වෙමින් අහිංසක දෙමාපියන්ට දියණිවරුන් පුතුන් අහිමිවන්නට විය. අතවර කිරීමකින් හෝ අවශ්‍යතා සංසිඳවා ගැනීමට ගොස් සිරගෙට නියම වූයේද සාමාන්‍ය පාන්තික දෙමාපියන්ගේ දරුවන්ය. සාමාන්‍ය පන්තියේ බිරින්දෑවරුන්ගේ ස්වාමි පුරුෂයින්ය.

කෙසේ වුවද තව තවත් ආර්ථිකව සමාජය පහත් තත්වයකට ඇද දමමින් මිනිසා පීඩිත කරමින් තවදුරටත් මිනිසා ආර්ථිකයේ සිරකරුවෙක් කරමින් ලිංගික දඩයම සඳහා මිනිසුනටත් හොරා ඔවුන්ගේ ලිංගික හැගීම් උත්තේජනයට පාලක පන්තිය විසින් රුකුල් දෙනු ලබයි. මන්ද ඒ ඔස්සේ ඔවුනට පාලන තන්ත්‍රයේ යහපත් හෙට දවසක් ගොඩ නැගෙන බැවිනි.

කෙසේ වුවද තැනින් තැන අප මෙකී කතිකාව ගොඩ නැගුවද තවමත් අප විවෘතව මෙකී කතිකාවට ඇතුළු වී නැත. ඇතැම් විට ඔබ තුළද මෙකී ලිංගික දඩයම පිළිබද විවිධ අදහස් ඇති බැව් නොඅනුමානයි. කැමති නම් එක්වෙමු. ඛාදනය වූ සමාජයේ අනාගතය ආරක්ෂා කරන්නට පළමු පස් පිඩැල් මෙසේ දමමු.

ලිංගික දඩයම පිළිබද තවත් පැතිකඩක් ඔස්සේ කතිකාවකට තවත් ලිපියකින් හමුවෙමු. එතෙක් මේ ලිපිය අප්පිරියාවෙන් හෝ කියවා තත්පරයකට හිතන්න. 

“ආර්ථිකය ඔස්සේ ගොඩනැගෙන ලිංගික දඩයම බොරුවක්ද….?”


ෆාතිමා ෂාමිලා හුසයිෆා

http://www.anvermanatunga.com/2013/04/09/yahapath-samajayaka-sinhala-doc/#more-3751

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons