පැෂන් බග් ප්‍රහාරය:ගුටිකන එවුන් පාඩු විඳගෙන දඩබල්ලන් නිදහස් කිරීමේ ශිෂ්ඨාචාරය


පැෂන් බග් ප්‍රහාරය:ගුටිකන එවුන් පාඩු විඳගෙන දඩබල්ලන් නිදහස් කිරීමේ ශිෂ්ඨාචාරය 

අරුම පුදුම රටේ වෙන්නේ හරි අපූරැ දේය. බොදු බල හමුදාවෝ පන්සලකට රැස් වී කතිකා කොට ගන්ඨාර ගසා සෙනඟ රුස් කරවා පැෂන් බග් මුස්ලිම් වෙළද සැළකට පහර දෙති. ඒ අතර බෞද්ධ භික්ෂුන් බව පසුව සනාථ වන චීවරධාරීහු ද වෙති. වෙළද සැළට අලාභය ලක්ෂ ගනනාවකි. තුවාලකරැවෝ විස්සක් පමණය. භික්ෂුවක විසින් තර්ජනය කරන ජනමාධ්‍ය වේදියකුට තුවාල ලබන තුරැ පහර දෙති. පොලීසිය බලා ගෙන සිටී.

එදින රුයෙහි ආරක්ෂක ලේකම් රාජපක්ෂ එම පන්සලට ගොස් කතිකාවක යෙදුණූ බවට වන වාර්තා ආන්ඩුව ප්‍රතික්ෂේප කළේ නැත.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම පිනිස හදිසි අමාත්‍ය මංඩළ රුස්විමක් කැදවන සේ මුස්ලිම් කොනුග්‍රස් නායක රවුප් හකීම් කළ ඉල්ලීම අධෝවාතයක් තරම්වත් ජනාධිපති රාජපක්ෂ ගනන් ගත්තේ නැත. ඊට ප්‍රතිචාර වශයෙන් හකීම්ට කිව හැකි වූයේ මොනවා වුනත් අපි රාජපක්ෂ සමඟයි කියා යාදිකාවක් කිරීම පමණය. හකීම්ගේ කට වැසුනි.

මේ දාමරිකයින් හදුනා ගැන්නේ පොලිසිය නිසා නොව ජනමාධ්‍ය කැමරා නිසා ය. ජායාරූප ප්‍රසිද්ධ විය. අන්තර් ජාලය එයින් පිරී ගියේ ය. එවිට ප්‍රහාරය අවස්ථාවෙහි පොලීසියේ අතටම හසු වී නිදහසේ යන්නට ඉඩ දුන් භික්ෂූහු ද අනෙක් දාමරිකයෝ ද හදිසියේම පොලීසියට බාර වූහ.

බළලා මල්ලෙන් එළියට පැන්නාක් මෙන් ඊට පසු දින පොලීසිය අධිකරණයට කියන කතාව ඊටත් වඩා වටනේ ය. එනම් පැෂන් බග් ආයතනයට ශිෂ්ඨ සවිඥානකත්වයක් ඇති බව නඩු මඟට නොබැසීමට තීරණය කිරීමෙන් පෙනී යන බවයි. නඩුවක් නොමැති බව කියන්නේ ද පොලීසියම ය.

පොලීසියේ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අධිකරණයට කියන්නේ මේ ප්‍රහාරයට හේතුව හා මුස්ලිම් වෙළදසැල අතර කිසිදු සම්බන්ධයක් නොතිබූ බවයි! (දෙසතියකට පෙර පැෂන් බග් ආයතනය සිංහල විරෝධී එකක් බවට මහ නුවරදී ඝෝෂාවක් නැඟූ බොදුබල සේනා ප්‍රධානියා ඊට ගල් ප්‍රහාරයක නොයෙදන! ලෙස ඉල්ලා සිටියේ ය) එමෙන්ම ප්‍රහාරයේ ගොදුර බවට පත් වී තිබිය දීත් අපරාධකරුවන්ට එරෙහිව නඩු මඟට නොබැසීම පැෂන්බග් ආයතනය විසින් පෙන්වා ඇත්තේ උදාර ආදර්ශයක් බවත් ය!! නමුත් අනුර සේනානායක එම දාමරිකයින්ට පැෂන් බග් හිමිකරුගෙන් සමාව ඉල්ලන ලෙස කීවේ නැත. අපූරැ ශිෂ්ඨාචාරයකි.

දාමරිකයින්ගේ ජායාරූප ප්‍රසිද්ධ කිරීම ගැන ජනමාධයට ස්තුතිවන්ත වන අතරම පැෂන් බග් වෙළදසැල් හිමියා කියන්නේ තමන් ජාතික සංහිදියාව සහ සාමය රුක ගැනීමට මෙම දාමරිකයින්ට සමාව දෙන බවයි. ඒ කියන්නේ සිය ආයතනයට පහර දුන් දාමරිකයින්ට විරුද්ධව නඩු මඟට ගිය හොත් රටේ සාමය නැති වන බව ය. ඔහු එවැනි නිගමනයකට බැස්සේ කෙසේ දැයි දැන ගන්නට නැත. රටෙහි ඇතිවන වෙනත් මෙවැනි අපරාධ සම්බන්ධයෙන් නඩු මඟට යෑමෙන් ඇති නොවන සාමය කඩවීමක් මෙම දාමරිකයින්ට නඩු පැවැරීමෙන් සිදු වන්නේ කෙසේ ද? අන් කිසිම හේතුවක් නිසා නොවේ. දාමරිකයින් අන්තවාදී බොදු බල හමුදාවන්ට අයත් නිසා ය. එම දාමරික පිරිස අතර චීවරධාරී භික්ෂුන් ද සිටින නිසා ය. හිමිකරුගේ මෙම ප්‍රකාශයෙන් පැහැදිළිවන්නේ සිය ආයතනය පහර දුන් අන්තවාදී පිරිස්වලට එරෙහිව තමන් නඩු මඟට ගිය හොත් මීටත් වඩා විනාශයක් විය හැකි බවයි.

නිකම්ම කොල්ලන් කට්ටියක් මේ විදියට පැෂන් බග් ආයතනයට පහර දුන්නා නම් ඒත් සමාව දෙයි ද? නැත. එම කොල්ලන් හිරේ දමන තුරැ පැෂන්බග් හිමිකරු නඩු කියනු ඇත. අනුර සේනානයකගේ පොලීසිය එම කොල්ලන් කකුල් දෙකෙන් එල්ලා දස වද දෙමින් බලයෙන් කට උත්තර ද ගන්නට ඉඩ තිබේ. එවිට ශිෂ්ඨ සවිඥානකත්වය සහ උදාර ආදර්ශ අවශ්‍ය නැත.

පැෂන් බග් ප්‍රහාරයත් ඊට රාජපක්ෂ රජය දක්වන ලද ප්‍රතිචාරයත් ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවත්නා මුස්ලිම් විරෝධී ප්‍රහාරයන්ගේ කඩ ඉමකි.

එය මුස්ලිම්වරුන්ට ලබා දෙන පණිවිඩය නම් අන්තවාදී බොදු බල හමුදාවන් විසින් කරනු ලබන කිසිදු ප්‍රහාරයකට එ‍රෙහිව නිතීය ක්‍රියාත්මක නොකළ යුතු බවයි. ඔවුන්ට සමාව දී පොලීසිය අර්ථ දක්වන පරිදි උදාර ආදර්ශ සහ ශිෂ්ඨ සවිඥානකත්වය පෙන්විය යුතු බවයි. වැරදීමකින් හෝ යුක්තිය ඉල්ලා නඩු මඟට බසින්නේ නම් එහි විපාක වඩාත් දරැණු සහ ජාතික මට්ටමේ විය හැකි බවයි.

එය විසින් බොදු බල හමුදාවන්ට දෙන පණිවිඩය නම් ජනමාධ්‍ය කැමැරාවන්ගෙන් බේරෙන්නට හැකි නම් සිය මුස්ලිම් විරෝධි ප්‍රහාරයන් දිගටම කරගෙන යෑමට බාධාවක් නැති බවයි. අන්තවාදී බොදු බල හමුදාවන්ට රජයේ රුකවරණය දැන් නීත්‍යනුකූලය.

වඩාම තිරණාත්මක පණිවිඩය රවුප් හකීම්ට ය. එනම් සිය ප්‍රජාවට මොනවා වුවත් වරදාන රැකගනු වස් මුඛයත් අධෝමුඛයත් යන දෙකම වසා ගෙන දිගටම රාජපක්ෂ ආන්ඩුවට බැල මෙහෙවර කළ යුතු බවයි. ඔහු එසේ සිටිනු ඇති බව නිසැක ය‍.

මෙම තත්ත්වයෙන් බැස ගත හැකි නිගමනය මෙය යි

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයා මුහුණ දී සිටින අර්බූදයට හුදකලා වු වාර්ගික විසඳුමක් නැත. අවශේෂ ප්‍රජාතන්ත්‍රවාදි බලවේග සමඟ එක් වී නීති ගරැක ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමෙන් මෙපිට බොදු බල හමුදාවන්ගෙන් ගැලවීමක් නැත. අයිතීන් වෙනුවෙන් සටන් කරන අතරම ප්‍රජාතන්ත්‍රවාදී මහා ප්‍රවහයේ කොටස්කරැවකු වීම අත්‍යවශය. පැෂන් බග් හිමිකරුගේ පටු ව්‍යාපාරික යටත්වීමේ මානසිකත්වය මුස්ලිම් ප්‍රජාවේ මානසිකත්වය බවට පත් වන්නේ නම් ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරන්ට සිදුවනු ඇත්තේ මියන්මාරය දෙස බලාගෙන සුසුම් හෙළීම පමණි.



සුනන්ද දේශප්‍රිය

http://yukthiya.org/2013/04/04/
-- 

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons