බෞද්ධයන්ගේ නිශ්ශබ්දතාවෙන් ඇඟවෙන්නේ, අපරාධ සහායකත්වයක් ද?- රෂීඩ් රීසා



ෂින්ඞ්ලර්ස් ලිස්ට්
ෂින්ඞ්ලර්ස් ලිස්ට්
‘ෂින්ඞ්ලර්ස් ලිස්ට්’ චිත‍්‍රපටියේ එම දර්ශනය මා තුළ තියුණු බලපෑමක් ඇති කොට තිබුණි. ඇත්තෙන්ම එය මට මතක තිබුණේ නැත. එහෙත්, අදාළ මොහොතක් එළඹෙන තෙක්, එය මගේ මොළේ තන්තු අතරේ අප‍්‍රකටව සහ නිද්‍රාගතව සැඟ වී සිට ඇත. ශ‍්‍රී ලංකාවේ වෙසෙන මුස්ලිම් ජනයාගේ තත්වය වෙනස් වෙමින් තිබේ. ඉර පායන හැම උදාවක් සමගම එය තව තවත් උපද්‍රවයට පත්වීමේ අවදානමට ලක්වෙයි.

මේ චිත‍්‍රපටයේ දර්ශනය එක විටම මගේ සිතට ආවේ ඒ අදාළත්වය හේතුවෙනි. ශ‍්‍රී ලංකාවේ වෙසෙන ජාතීන් සහ ජනවර්ගවල ආකල්ප සහ විවිධ ආගමික කණ්ඩායම් අතරේ පවතින චිත්ත ස්වභාවයන්- අද වන විට එහි සමතුලිතතාව නැති කර ගැනීමේ අවදානමට මුහුණදී සිටින ඒ චිත්ත ස්වභාවයන්- පිළිබඳ පාඩම් ඉන් කියැවෙයි.

චිත‍්‍රපටයේ එන ආමොන් ගොත් නැමැති ජරමානු නට්සි නිලධාරියා තරුණියක් සමග සිය නිදි යහනේ සිටී. නාන කාමරයට යාම සඳහා ඇඳෙන් නැගිටින ඔහුට, එළියේ ඝාතක කඳවුරේ සිටින සිරකරුවෙකු ඉවසාගත නොහැකි තෙහෙට්ටුවෙන්, මොහොතක් විවේක ගන්නා සැටි පෙනේ. නිලධාරියාට අනුව, සිරකරුවා කරන්නේ කාලය කාදැමීමකි. කඳවුරේ නියෝග උල්ලංඝණය කිරීමකි. ඉතිං, අර තරුණිය තවමත් ඔහු කෙරෙහි තොදොල් වෙන අතරේ නිලධාරියා තමන්ගේ තුවක්කුව ගෙන සිරකරුවාට වෙඩි තබයි. අනතුරුව කාමරේ සඳලූතලේ සිට මොහොතක් අවට සිරි නරඹන ඔහු, ආපසු කාමරයට විත්, කිසිවක් සිදු නොවූවා සේ කෙල්ල සමග උකුළුමුකුළු කරයි. ඔවුන්ගේ රති කෙළිය තුළ, තවත් මිනිසෙකුගේ ජීවිතයක් අවසන් කෙරුණු බවට ඉඟියක්වත් පෙනෙන්ට නැත.

මේ දර්ශනය තුළ එන තොරතුරුවලින් වඩාත්ම සිත පාරන කාරණය වන්නේ, තරුණියගේ හැසිරීමයි. ඈ කිසිවෙකු ඝාතනය කෙළේ නැත. ඇය කෙළේ, හුදෙක් පැත්තකට වී බලා සිටීම පමණි. එහෙත් එය බලා සිටීමක් පමණක් ද? මෙවැනි සිදුවීමක දී, හුදු බලා සිටින්නන් හෝ නිරීක්ෂකයන් නැත. බලා සිටින්නා ද, දැනුවත්ව හෝ නොදැනුවත්ව, සිද්ධියේ සහකරුවෙකි. ඔහු හෝ ඇය, යම් අපරාධයකට, තවත් කෙනෙකුගේ විඳවීමකට සම්මාදම් වී ඇත. ඒ, කිසිවක් නොකිරීමෙනි. නිශ්ශබ්දතාවෙන් අනුමැතිය පෑමෙනි.

හිට්ලර්ගේ නට්සිවාදීන්, යුගෝස්ලාවියාවේ සර්බියානුවන්, රුවන්ඩාවේ ටුට්සි හෝ හුටු ගෝත‍්‍රිකයන්, බුරුමයේ බෞද්ධ භික්ෂූන් විසින් මෙහෙයවනු ලබන සැහැසි කණ්ඩායම්, හෝ, ඊටත් වඩා, යට කී කඳවුරේ දී ඝාතනය වූ අර සිරකරුවා වැන්නන්ගෙන් බොහෝ විට පැවත එන ඊශ‍්‍රායල් ජාතිකයන් පවා, මිනිස් ඝාතනවල යෙදෙන්නේ අර කී නට්සි නිලධාරියාගේ ආදර්ශය අනුව යමින් ද? නැත, ඔවුන්ට එසේ කළ හැකිව ඇත්තේ, අර කී තරුණිය වැන්නන්ගේ හැසිරීම නිසා ය. නිහඩ බහුතරයක්, අනිකාගේ දුක වේදනාව දිහා බලාගෙන නිශ්ශබ්දව සිටින බහුතරයක්, නිසා ය.

එසේ නම්, අපේ සම්බන්ධයක් නැති තත්වයන් ගැන කිව හැක්කේ කුමක් ද? අර අපරාධයට සිය අකර්මණ්‍යතාවෙන් හෝ සම්බන්ධ වූ තරුණිය මෙන් නොවි අප පත්වන තත්වයන් ගැන?

මිනිස් සත්වයෙකු වශයෙන්, මුස්ලිම් භක්තිකයෙකු වශයෙන්, වෙන්නට නියමිත ඝාතනයක් ගැන මගේ හෘද සාක්ෂිය පෑරෙයි. හිජාබ් හෝ සාරිය හැඳීමට, කලිසම හෝ ගවුම හැඳීමට අවසරයක් නැති තරුණිය ගැන, ලිංගිකව දූෂණය වීමට නියමිත තරුණිය ගැන, මගේ හෘද සාක්ෂිය පෑරෙයි. තමන්ගේ දියණියන්ගේ ආරක්ෂාව ගැන බියෙන් පෙළෙන පියෙකු ගැන මගේ හෘද සාක්ෂිය පෑරෙයි. පවුලේ සාමූහික අවශ්‍යතා වෙනුවෙන් දුරු රටක කඹුරන පුතෙකු ගැන තැවෙන පියෙකු ගැන මගේ හෘද සාක්ෂිය පෑරෙයි. හිරභාරයට පත්, වධබන්ධනයට පත් සහ ඝාතනයට පත් පුතුන් ඇති අම්මලා ගැන මගේ හෘද සාක්ෂිය පෑරෙයි. වැන්දඹු භාවයට පත්- ඊටත් වඩා, තමන් වැන්දඹු භාවයට පත්ව ඇත් ද යන්නවත් සැක හැර දැන ගැනීමට ක‍්‍රමයක් නැතිව තැවෙන බිරියන් ගැන- මගේ හෘද සාක්ෂිය පෑරෙයි.

එහෙත් මෙසේ පෑරෙන හෘද සාක්ෂිය ගැන මා සැබවින්ම තකන්නේ ද? ඒ ගැන මා යමක් කරන්නේ ද? නැත, මම පැත්තකට වී බලා සිටිමි. ඇයි? ඒ ගැන යමක් කිරීම තුළ යම් අවදානමක් ඇති හෙයිනි. මගේ අවශ්‍යතාවන්ට හානි කැරැුවිය හැකි අවදානමක් එහි ඇති බැවිනි. හුස්ම හිරකරවමින් මාව වැළඳගන්නා උගුලක් වන ලෝකයක යදමින් මම බැඳී සිටිමි. මට ගැලවිය නොහැකි සංස්කෘතියකින් මාව වසඟ කරවන සමාජයක සාමාජිකයෙකු බවට පත්කෙරෙන යදමින් මම බැඳී සිටිමි.

එසේ වීමෙන් මම ද, අපරාධයක සහායකයෙකු වෙමි. ඒ, අපරාධය සිදුවීමට ඉඩ හැරීමෙනි. මෙය වෙන්කොට හඳුනා ගැනෙන කදිම රේඛාවක් තිබේ. මෙය ආයුධ අතට ගැනීමට කෙරෙන ආයාචනයක්වත්, ව්‍යංගාර්ථවත් තර්ජනයක්වත් නොවේ. ‘උඹලා එක්කෝ අපිත් එක්ක, එහෙම නැත්නං ත‍්‍රස්තවාදියොත් එක්ක’ යන බුෂ්වාදී අලූකුත්තේරු නියාමයට දායක් වීමක් ද නොවේ. මෙය, හෘද සාක්ෂියට- ඔබේ මෙන්ම මගේ ද හෘද සාක්ෂියට-රෙන ආයාචනයකි.

ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයාගේ ඉතිහාසය, හුදෙක් තවත් එක් සුළුතරයක ඉතිහාසයක් නොවේ. යුරෝපයේ වෙසෙන මුසල්මානුවන්ව ‘සුළුතරයක්’ වශයෙන් හඳුන්වන ආකාරයෙන්ම ලංකාවේ මුසල්මානුවන්ව ද ‘සුළුතරයක්’ වශයෙන් හැඳින්වීම මුළුමනින්ම වැරදි සහගත වෙනවා මෙන්ම, එය දැඩි කණගාටුවට කාරණයක් ද වන්නේය. ඒ, ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයාගේ ඉතිහාසය, ඉස්ලාම් ආගම තරමටම ඉපැරණි වන නිසා ය.

භූගෝලීය වශයෙන් ගත් විට, ශ‍්‍රී ලංකාව දුරාතීතයේ පටන් ජාත්‍යන්තර වෙළඳ මාර්ගවල කේන්ද්‍රස්ථානයක් විය. එය, නැගෙනහිරින් බටහිරට ගිය වෙළෙන්දන්ගේ සම්ප‍්‍රදායික නැවතුම් පොළ විය. ඒ නිසා, අරාබිකරයට ඉස්ලාම් ආගම එන්නටත් බොහෝ කලකට පෙර සිටම අරාබි වෙළෙන්දෝ ලංකාවට ආවාගියෝය. අනතුරුව, අරාබිකරයේ ඇති වූ ආගමික පරිවර්තනයෙන් පසු ලංකාවට එන අරාබි ජාතිකයන් මුසල්මානුවන් වීම අමුත්තක් නොවේ. එසේ පැමිණ, දේශීය සිංහල කාන්තාවන් සහ දෙමළ කාන්තාවන් සමග අවාහ වීමෙන් ශ‍්‍රී ලාංකීය මුස්ලිම් ජනගහනය බිහි විය.

ලෝකයේ වෙනත් තැන්වල ‘සුළුතර’ මුස්ලිම් ප‍්‍රජාවන් මෙන් නොව, ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව මුහුණුවරින් දේශීය ජාතීන්ට සමාන ය. කතා කරන්නේ ද, දේශීය භාෂාවකි. සම්ප‍්‍රදායිකව, ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයා, රටේ වෙසෙන අනිත් ප‍්‍රධාන ජාතීන් දෙක සමග- සිංහල සහ මුස්ලිම්- යහපත් සහජීවන ඉතිහාසයකට හිමිකම් කියයි. ඔවුන්ගේ ඉතිහාසය අවුරුදු දහසකටත් වැඩි ය.

ඒ සමස්ත ඉතිහාසය තුළ එම මුස්ලිම් භක්තියා කිසි දවසක අත්විඳ නැති වර්තමානයකට ඔහු අද මුහුණදෙයි. ඔවුන්ගේ කඩ සාප්පු කඩති. කොල්ලකති. හිජාබ් ඇඳුම නිසා ඔවුන්ගේ තරුණියෝ හිරිහැරයට පත්වෙති. සිවුරු දරාගත් ජාතිවාදී භික්ෂූහු, ගෞතම බුදුන්ගේ දේශනාවල අඩංගු ඒ නිර්මල සුන්දරත්වය කාබාසිනියා කරමින් හැසිරෙති. මුස්ලිම් දේපළ විනාශ කරති. නීතිය හා සාමය රැකිය යුතු පොලීසිය ඔහේ බලාගෙන සිටිති. පොලීසියේ ඒ නින්දිත නින්ද, රජයේ ඉහළින්ම එන නියෝගයන්ට අනුගත වන්නක් බව, බොහෝ තතු දත්තෝ කියති. තමන්ගේ අඩුපාඩුකම්, දූෂණයන්, ඝාතනයන්, රටේ සේසත මහදවල් කොල්ලකෑම් මෙන්ම, ඉහළ යන විරැකියාවත්, ජීවන වියදමත්, මෙවැනි වාර්ගික භේද ඇවිළවීම් තුළින් වසංගා ගැනීමට බලන දුෂ්ට දේශපාලඥයන්ගෙන් කිළිටි වූ රාජ්‍ය තන්ත‍්‍රයක් ඒ පසු පස තිබේ.

ලංකාවේ සිංහලයා අද විඳවන්නේ එවැනි දූෂිත ආණ්ඩුවකින් සහ පිළුණු, කේඩෑරී විපක්ෂයකින් ඇති කෙරුණු දරුණු ආඝාතයකිනි. එහෙත් සිංහලයා, බුද්ධාගමේ සද්ගුණයෙන් සන්නද්ධ සීලාචාර ජාතියකි. අවුරුදු තුන්දහසකට ආසන්න ඉතිහාසයකට හිමිකම් කියන ප්‍රෞඪ ජාතියකි. එහෙත් ඔවුන් මධ්‍යයේ, වෙනත් බොහෝ ජාතීන් මධ්‍යයේ මෙන්ම, මිනිස් ඝාතනයේ යෙදෙන, ස්ත‍්‍රී දූෂණයේ සහ සොරකමේ යෙදෙන අන්තවාදී සුළුතරයක් වෙති. 1983 දෙමළ ජනයා කුරිරු වධබන්ධනයට පත්කළෝ එවැන්නෝ ය.

ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ආගමිකයාගේ තත්වය තවත් නපුරට හැරුණොත්, ඒ අර ‘ෂින්ඞ්ලර්ස් ලිස්ට්’ චිත‍්‍රපටියේ එන තරුණිය මෙන්, සිංහලයන්ගේ විනීත බහුතරයේ උදාසීනත්වය සහ නිශ්ශබ්දතාව නිසාම ය. ඔවුන්ගේ නිශ්ශබ්දතාවෙන් සහ ඔවුන්ගේ අක‍්‍රීයත්වයෙන්, ඔවුන් නිසැකවම සම්මාදම් වෙනු ඇත්තේ මහා අපරාධයකට යි. ඔවුන්ට බලයක් තිබේ. එය, බොදුබල සේනා හෝ සිංහල රාවය අවුළුවන භික්ෂූන් ඉක්මවා යන මහා බලයකි. එය ඔවුන් පාවිච්චි කළ යුතුය. දැන්මම පාවිච්චි කළ යුතුය.

දින කිහිපයකට පෙර සංවිධානය කරන ලද සාමකාමී ඉටිපහන් සත්‍යක‍්‍රියාවක්, පොලීසියේ සහාය සහිතව බොදුබල සේනාව විසින් කඩාකප්පල් කරන ලදි. මේ තත්වය තුළ, සිංහල බහුතරයේ සාමූහික හඩ, එවන් අදහස් සහිත දෙමළ සහ මුස්ලිම් කොටස්වල ද හඩ සමග, මේ මොහොතේ නැගිය යුතුව තිබේ. මන්ද යත්, ඝෝර නිශ්ශබ්දතාවකට ඉඩ හැරීම, මුළු රටේම වින්නැහියක් විය හැකි බැවිනි.




2013 අපේ‍්‍රල් 14 වැනි දා ‘ද ප්ලැට්ෆෝර්ම්’ බ්ලොග් අඩවියේ පළවූ Does the silence of Sinhalese signal complicity? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons