ඊයේ හලාල් එපා, අද බුර්කව එපා, හෙට? …………………….. ඉවරයක් නෑ…. ඉවර වෙන්න දෙන්නෙත් නෑ…දිගටම හිත ඉල්ලනවා….!


ඊයේ හලාල් එපා, අද බුර්කව එපා, හෙට? …………………….. ඉවරයක් නෑ…. ඉවර වෙන්න දෙන්නෙත් නෑ…දිගටම හිත ඉල්ලනවා….!

අන්තවාදය එපා!
අන්තවාදය එපා!
හුදෙක් එක්තරා පිරිසක පටු දේශපාලන සහ පෞද්ගලික අරමුණු මුල් කරගෙන මෙයට මාස කිහිපයකට පෙර ඇරැඹී, එතෙක් අවුලක් නොවූ නමුත් ජාතිවාදී වුවමනාව මත අවුලක් බවට පත් කළ හලාල් විරෝධී ව්‍යාපාරය, මෙරට මුස්ලිම් ප්‍රජාවගේ ඉවසීම හේතුවෙන් සේනාව ප්‍රමුඛ ජාතිවාදීන්ට ජයගෙන දෙමින් (ඔවුන් සිතන ආකාරයට) ඊයේ දින (09.03.2013) හලාල් සහතිකය නොමිලේ ලබා දීමේ එකඟත්වය මත තාවකාලිකව නිමාවට පත්විය.

එය නිමාවී පැය 24ක් යන්නට මත්තෙන් මා ෆේස්බුකියේ “හම්බයන්ගෙ නිරුවත” නම් ඉස්ලාම් දහමට සහ මුස්ලිම් ජනතාවට ඉතා පහත් ලෙස අපහස කරන එක්තරා පිටුවක දුටු පොස්ට් එකක් දුටුවෙමි. එහි සටහන් වුයේ මෙසේය.

උපුටා ගැනීම
“සිංහල රාවය ජාතික සංවිධානය අඟුණකොලපලැස්ස ප්‍රාදේශීය ක්‍රීඩාංගනයේදී සවස දෙකට ත්‍රස්තවාදී බුර්කාව තහනම් කිරීම හා අන්තවාදී ක්‍රියාකාරකම් වලට එරෙහි පළමු සමුළුව පැවැත්වෙයි. එන්න දෑ හිතකාමී ඔබත් අති සාර්ථක ජාතික සටනට දායක වෙන්න.. පූජ්‍ය පූලියද්දේ සුධම්ම හිමි සහ යක්කලමුල්ලේ පවර හිමි ඔබ ඇමතීමට සුදානම්..!
එකා පිට එක මැරී වැටුනත් කොන්ද රැක ගමු සිංහලේ…”
උපුටා ගැනීම අවසන්

හලාල් අත් හිටු වීමේ කිර්ති නාමය බොදු බල සේනාව අත්පත් කර ගැනීමට උත්සාහ දරද්දී ‘සිංහල රාවය’ බුර්කාව අල්ලාගෙන නැවත අලුත් තොවිලයක් නැටීමට උත්සාහ දරනු පෙනේ. කෙසේ වුවත් ආණ්ඩුව මෙන්ම එහි සහය ලබන ජාතිවාදී මෙවැනි සංවිධාන ඇන ගන්නේ මෙවර බව මාගේ මතයයි. ඊයේ හලාල් එපා කී ඔවුන් අද බුර්කාව එපා කියයි. හෙට මොවුන් නොවැරදීම මුස්ලිම් පල්ලි වල දිනකට 5 ස් වරක් ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන ආගමික මෙහෙයට ආරාධනා කිරීම නවත්වන ලෙස කියනු ඇත. (මෙය හෙළ උරුමේ පැරණි සටන් පාඨයකි). අනිද්දා පන්සල් ආසන්නයේ සහ සිංහල ගම්මාන වල ඇති මුස්ලිම් දේවස්ථාන ලබන 31 දිනට පෙර ඉවත් කිරීමට බල කරනු ඇත. ඉන් අනිද්දට ජාතියට නොයෙක් ලෙස සේවය කළ මෙරට මුස්ලිම් ජනනායකයන්ගේ නම් වලින් ඇති සියලුම මාර්ග සිංහල රජවරුන්ගේ නම් වලින් නම් ලෙස ඉල්ලා සිටිනු ඇත. (මෙය දැනටමත් මෙම සංවිධාන නිළ නොවන මට්ටමින් අරඹා ඇත).

ඉන් පසු දින Nolimit, Fasionbug, Eticelat ඇතුළු මුස්ලිම් වෙළඳ ආයතන වලට බහුතර සිංහල ප්‍රදේශ වල සිය වෙළඳ කටයුතු කිරීම අත් හිටුවා එම ආයතන වසා දමන ලෙස බල කරනු ඇත. අවසානයේ බුද්ධාගම කියන ආකාරයට ඉස්ලාම් දහම අදහනු නොලබන්නේ නම් සිංහල ගම්මාන වලින් පිටවීමට මුස්ලිම් ජනතාවට අණ කරනු ඇත. මෙම තර්ජන නිරන්තරයෙන් ෆේස්බුකිය තුලින් කරනු ලබන වුවත් හෙට දින බො.බ.සේ. සහ සි.රා.වේ හාමුදුරුවරුවරු එළිපිටම මුස්ලිම් ප්‍රජාවට කරනු ඒකාන්තය.

මෙලෙස බලසේනවා එක ඉස්ලාම් සංකල්පයක්ද, සිංහල රාවය තවත් ඉස්ලාම් සංකල්පයක්ද, හෙළ උරුමය තවකක්ද අල්ලාගෙන එපා එපා කියද්දී මෙරට මුස්ලිම් ජාතිකයන්ට ඇදහීමට සිදුවනු ඇත්තේ ඉස්ලාම් දහම නොව බුද්ධාගමය. තමන්ට කැමති ආගමක් නිදහසේ ඇදහිමට ව්‍යාවස්ථාවෙන් සහ මානව හිමිකම් වලින් දුන් නිදහසට දෙයියන්ගේම පිහිටය. මානව හිමිකම් කඩවීම් ගැන දැනටමත් අර්බුධයකට මැදි වී සිටින ආණ්ඩුවට මෙහි ඇති බරපතලකම නොතේරීම එක්තරා දුරකට පුදුමයට සහ හාස්‍යයට හේතුවකි.

ඒ කෙසේ වුවත් ආණ්ඩුවෙන්ද දෑන් බලසේනාවට කියන දෙයක් හයියෙන් කියන්නට ලයිසන් එක දී තිබේ. ඒමෙන්ම සේනාවේ පුහුණු කිරීම් සඳහා පුහුණු පාසලක්ද ලබා දී තිබේ. අද මෙම පුහුණු පාසලේ පුහුණු වන නිල නොවන පොලිසිය හෙට දින මෙරට මුස්ලිම් ප්‍රජාවට හයියෙන් කියන්නට යනවා නොඅනුමානය. සේනාව හයියෙන් කියද්දී නාහන්නේ නම් පොලිස් පාර්ට්ද දමනු ඇත. මෙතෙක් කල් ඉවසීමෙන් සිටි මුස්ලිම් මිනිහාගේ ඉවසීම මෙසේ නැති වන තැනටම ඇදගෙන ගොස් සිංහල මුස්ලිම් ගැටුමක් කරා රට ගෙන යාම මොවුන්ගේ අරමුණ බව දැන් පැහැදිලිය. “ගහන්න ගහන්න වඳින මිනිහාද මෝඩයෙකි” මෙම තර්ජන මෙලෙස දිගටම පැවතිය හොත් මුස්ලිම් ප්‍රජාව තුලින්ද දැඩි ප්‍රතිරෝධයක් එල්ල වන දිනය වැඩ ඈතක නොවනු ඇත.

දඹුල්ල ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට මැරුණු ඌරෙකු දැමීමේ සිද්ධියක්ද මේ අතර වාර්තා වේ. සේනාවට පක්ෂ බුකියේ වීරයන් එම පින්තුර මහ ඉහලින් වර්ණනා කරමින් ශෙයාර් කරන ලෙස ඉල්ලයි. පසුගිය කාලය තුළ මෙවැනි සිදුවීම් රැසක් වාර්තා විය. යම් ලෙසකින් මෙම ඌරා සේනාවේ ජාතිවාදි උන කාරයෙකු කිසිවෙකුගේ කීමකට පල්ලියට ගෙනවිත් දමනු එහි මුස්ලිම් ජාතිකයින් දුටුවා නම් එම මොහොතේ ඇති විය හැකි තත්වය ඕනෙම අයෙකුට සිතා ගත හැකිය. ඒ ඇතිවන ගැටුම ඇතැම් විට කිහිප දෙනෙකුගේ ජිවිත වලින්ද වන්දි ගෙවීමට තරම් බරපතල විය හැකිය.

බුර්කාව හෙලා දකිමින් දැන් මතුවෙන්නේ මෙරට ඉස්ලාම් විරෝධී සහ ජාතිවාදී ව්‍යාපාරයේ දෙවෙනි අදියර විය හැකිය. මා විසින් මිට පෙර ලිපියක කියූ පරිදි මෙම දෙවෙනි අදියරේදී ඇති විය හැකි ප්‍රතිවිපාක ඉතා දරුණු විය හැකිය. විශේෂයෙන් මිනිසුන්ට බෙහෙවින් සංවේදී ආගමික කරුණු මුල් කරගනිමින් සිදුවන මෙම ක්‍රියාවලිය හලාල් වලින් නොනැවතී තවත් ඉදිරියට යන්නේ නම් රටේ සාමය උදෙසා රජය මැදිහත් වී එය සමනය කිරීමට උත්සාහ දැරිය යුතුය. මෙහිදී වඩාත්ම වැදගත් වනුයේ මෙම සිංහල සහ මුස්ලිම් ජාතික සංවිධාන අතර දෙපාර්ශවයේම යම් යම් වැරැදී මත ඇති වී ඇති අවිශ්වාසය දුරු කර යම් එකඟත්වයක් නොපමාව ඇතිකිරීමයි.

මෙහිදී මම සංවිධාන යනුවෙන් විශේෂයෙන් සඳහන් කළේ මෙය හුදෙක් එම සංවිධාන විසින් ඇතිකර පවත්වාගෙන යන ගැටලුවක් මිස මෙරට සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට බලපාන ගැටලුවක් නොවන බැවිනි. (එය එසේ පත් කිරීමට උත්සහ කලත්) කෙසේ වුවත් නොපමාව විසඳුම් නොලැබුණු හොත් එය 1983 දී මෙන් සමස්ත රටක් වෙලා ගන්නා ගැටලුවක් විය හැකි බවද මතක තබා ගත යුතුය. එසේම රජයද හුදෙක් තමා බලයට ගෙන ඒමට කැප වූ බෞද්ධ බලවේග වල වචනයට යටත් වී ඒ ආකාරයටම රජයට සහය දුන් මෙරට මුස්ලිම් ජනතාව අමතක කරන්නේ නම් එය අදුරදර්ශී ක්‍රියා පිළිවෙතක් බව අවධාරණය කළ යුතුය.

නැවත සිහිපත් කරමි. එක ආගමක පිළිගන්න දෙයක් තවත් ආගමක පිලි නොගැනීම සාමාන්‍ය දෙයකි. ලොව එකිනෙක වෙනස් ආගම් ඈත්තේද එබැවිනි. එසේ එක් ආගමික කොටසක ඇති යම් සංකල්පයක් සිය ආගම සමග නොගැලපීම මත එකී ආගමික විශ්වාසයන් හෙළා දැකීම හෝ විවේචනය නොකළ යුතුයි. එය ඔවුන්ගේ ආගමයි. එය ඔවුන්ට ඇදහිමට ඉඩ දී අපි අපේ ආගම නිවැරදිව ප්‍රතිපතිගරුකව ඇදහිය යුතුය. රටේ අනිත් ජාතින්ටත් බෞදයන්ට මෙන් සිය ආගමික වත් පිළිවෙත් ඉටු කරගනිමින් ජීවත් වීමට ව්‍යාවස්ථානුකුලවම අයිතිය හිමි වී ඇති බවද මතක තබා ගත යුතුයි.
ෆේස් බුකියේ මා දුටු කොමෙන්ටුවක එක සටහනක් මා අවසාන වශයෙන් ගෙන හැර දක්වමි.
මාජොරි පලොෆ්ගේ ෆැසිස්ට් වාදී මනස ගැන මතය
” මොහු නිර්වස්ත්‍ර කරව්..!…මම කෑ ගැසීමි…නිර්වස්ත්‍රවත් ඒ මිනිසා සිටිනු දැකීම මගේ මනසට අපහසුවකි….” මොහු නිරාහාර කරව්..!” මම කෑ ගැසීමි…. ඒත් ඔහු දිගටම සිටී….මට එය අපහසුවකි….”මොහු මරා දමව්…!” මම කෑ ගැසීමි….දැන් ඔහු මරා දමනු ලැබ ඇත….ඒත් මගේ හිත දිගටම වධ දෙයි….”මොහුගේ මිනිය මෙහි නොවළලව්..!” … මම කෑ ගසමි…” ඉවරයක් නෑ…. ඉවර වෙන්න දෙන්නෙත් නෑ…දිගටම හිත ඉල්ලනවා….!
ඊයේ හලාල් එපා, අද බුර්කාව එපා, හෙට …………………….. ඉවරයක් නෑ…. ඉවර වෙන්න දෙන්නෙත් නෑ…දිගටම හිත ඉල්ලනවා….!

ළහිරු චාමිකර


සංස්කාරක සටහන:
මෙම ලිපිය අප අඩවියට ඊමේල් හරහා ලැබුණු එකකි. ලේඛකයා ගැන කිසිදු තොරතුරක් මා නොදන්නා නමුදු අන්තර්ගතය ඉතාමත් යහපත් නිසා පලකරමි.
උපුටා ගැනීම
http://www.anvermanatunga.com/2013/03/12/eeye-halal-ada-burka-sinhala-doc/

2 comments:

Unknown said...

i'm afraid to live in this country anymore.

Unknown said...

If Muslims think of others they should stop මුස්ලිම් පල්ලි වල දිනකට 5 ස් වරක් ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන ආගමික මෙහෙයට ආරාධනා කිරීම loudly. Its a verbal harassment to non-Muslims, specially doing that in early morning. බුර්කාව is a personal thing. Its not a non-Muslim's problem. But ආගමික ශබ්ද විකාශනය not good, even in Churches or Temples too. We must take care of other people's freedom.

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons