සාමයට අකුල් හෙළන තත්ත්වයක් රට තුළ අද නිර්මාණය වෙමින් පවතිනවා


සාමයට අකුල් හෙළන තත්ත්වයක්  රට තුළ අද නිර්මාණය වෙමින් පවතිනවා
- මහනුවර නගර සභාවේ මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී අස්මින් මරික්කාර්
05-2අද රට යන ආකාරය දෙස බැලූවිට මේ රටේ සංඝයා වහන්සේලා නැගී සිටීම වරදක් ලෙස මේ රටේ මුස්ලිම් ජනතාව නොදකින නමුත් ඒ සඳහා මුස්ලිම් ජනතාව සහ මුස්ලිම් සමාජය බිල්ලට ගැනීම අසාධාරණ බව මහනුවර නගර සභාවේ මුස්ලිම් කොංග්‍රස් නාගරික මන්ත්‍රී අස්මින් මරික්කාර් මහතා කීය.
මහනුවර මුල්ගම්පල පාරේ පිහිටි මන්ත්‍රීවරයාගේ පක්ෂ කාර්යාලයේ පසුගියදා (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.
මේ රටේ යුද්ධය අවසන් වී සාමය දසත පැතිර යන අවස්ථාවක ඒ සාමයට අකුල් හෙලන තත්ත්වයක් අද රට තුළ නිර්මාණය වෙමින් තිබෙනවා. මුස්ලිම් වන අපගේ මව් බස දෙමළ භාෂාවයි. අපේ භාෂාව ද්‍රවිඩ භාෂාව නිසාම පසුගිය කාලයේදී උතුරේ අපේ ජනතාවගේ ජීවිත විනාශ වුණා. මන්නාරම කාත්තන්කුඩි වැනි ප්‍රදේශවල ජීවත් වුණු අපේ ජනතාවට ගහලා පන්නා දැමීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය කටයුතු කළා. එහෙම තිබුණු රට අද නිදහස ලබා තිබෙනවා. ඒ නිදහස අද භුක්ති විඳීමට ජනතාවට හැකියාව තිබෙනවාද කියන එකත් ප්‍රශ්නයක්.
අපේ රටේ ජාතික ගීයේ තිබෙනවා “එක මවකගේ දරුකැළ බැවිනා” කියලා. ජාතික ගීයේ ඒ නිදහස ගැන මේ ‍පොළොවේ අභිමානයෙන් පය තියාගෙන කියනවා. නමුත් එය ඇත්තක්ද කියන එක 
පිළිබඳව අද ප්‍රශ්නයක් තිබෙනවා. එදා දීඝවාපියේ ඉඩම්වලට සමහරු උද්ඝෝෂණය කළා. අද හලාල් ප්‍රශ්නයක් නිසා රටේ යම් ප්‍රශ්න ඇතිවෙනවා. අද මේ රටේ ජීවත් වන මුස්ලිම් ජනතාවට අතට ගත් බත් ටික කටට දාගන්න හැකියාවක් නෑ.
මේ රට තුළ ජීවත් වනවා නම් බෞද්ධ දර්ශනයක් සමග ජීවත් විය යුතු රටක්. එදා මේ රටේ ගුවන් විදුලියේ පළමුවෙන්ම පිරිත් ප්‍රචාරය කරන්න කීවෙත් වැඩසටහන් අවසන් වන විට ‘සබ්බපාපස්ස අකරණං’ ගාථාව ප්‍රචාරය කළෙත් එදා තැපැල් හා ගුවන් විදුලි අමාත්‍යවරයාව සිටි සී.එස්. මරික්කාර් ඇමැතිතුමයි. ඒ මගේ ලොකු තාත්තයි. එදා මේ රටේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව කරන්න සියයට අසූවක් ඡන්දය ගන්න මුස්ලිම් ජනතාව විශාල ලෙස කැපවී කටයුතු කළා. එදා මුස්ලිම් ජනතාව සිංහල කාන්තාවන් කසාද බැන්දා. එදා ඒ අය දැනගෙන හිටියා මේ රටේ ආරක්ෂාව තියෙන්නේ සිංහල ජනතාව ළඟයි කියලා. අද ලංකාවේ සිංහල ජනතාව කෝටි එකහමාරකට වැඩියි. මුස්ලිම් ජනතාව ලක්ෂ දහයක් දොළහක් ඉඳියි. මේ බහුතර සිංහල ජනතාව කෙළ ගැහුවත් මුස්ලිම් සමාජය නැතිවෙයි.
මේ රටේ මුස්ලිම් ජනතාවට පාසල් නැහැ. ඒ නිසා අපි පාසල් පද්ධතියක් ඇති කරගත්තා. අපි බැංකු ක්‍රමයක් ඇති කරගෙන අපේ අය එකිනෙකාට උදව් කර ගන්නවා. අපි අපේ ආගමට අනුව කෑම හලාල් කරගෙන තියනවා. ඉතින් ඒකේ තියෙන වරද මොකක්ද. ඇයි සිංහල සමාජය මේ ගැන සුබවාදීව බලන්නේ නැත්තේ. මහනුවර මහ නගර සභාවට සංඝයා වහන්සේ නමක් තේරී පත්වුණා. සිංහල මන්ත්‍රීවරු එදා කතා නොකළට උන්වහන්සේට අසුන් ගන්න සුදු රෙද්දක් දාන්න කීවේ මමයි. රජවරුන් පවා එදා සංඝයා වහන්සේලා ඉදිරිපිට නැගිට සිටියා. ඒ නිසා මම එදා නගර සභාවේදී ඒ මන්ත්‍රී හිමියන්ට පැවසුවා සභාව ආරම්භ වුණු විට සභාවට එන්න නැත්නම් නගරාධිපතිවරයා එනවිට ඔබවහන්සේට නැගිටින්න සිදුවේවි කියලා. අපි මේ රටේ බෞද්ධ ආගමට සැලකුවේ ඒ ආකාරයටයි. ඒත් මේ හලාල් ප්‍රශ්නයක් මුල් කරගෙන මේ රටේ ජීවත් වන මුස්ලිම් ජනතාව තලා පෙළන්නේ ඇයි කියලා මට හිතාගන්න බැහැ. අද බලන්න මුස්ලිම් පල්ලිවල අසභ්‍ය වචන ලියලා. මුස්ලිම් ගෙවල් වල අසභ්‍ය වචන මෙන්ම දෙවියන්ට අපහාස කරලා යම් යම් දේ ලියලා තියනවා. මට පේන්නේ මේ හිමිවරුන්ගේ හඬ උපයෝගී කරගෙන යම් යම් බලවේග වෙනත් වෙනත් දේ කරනවා. අද මේ බොදුබල සේනාවද රජයද රට පාලනය කරන්නේ කියන සැකය ජනතාවට මතුවී තිබෙනවා. ඒ කියන්නේ අද රට අරාජිකයි කියන එකද. රජය සතු වගකීම් රජය පැහැර හරිනවා නම් ජනතාව නැගී සිටියි. ඒ නැගී සිටීමේ හඬ වෙනත් අය උපයෝගි කරන්න උත්සහ කරයි. ඒ හරහා මේ එක්සත් වූ රට විනාශ කරන්න යනවා. බොදු බල සේනාව පිළිබඳව අපට ප්‍රශ්න තිබුණත් බෞද්ධ ශාසනය හා භික්ෂුන් වහන්සේ ආරක්ෂා කරන්න ඒ අය ගෙන යන 
වැඩපිළිවෙළට අප විරුද්ධ නැතැයිද ඔහු වැඩිදුරටත් කීය. මෙම අවස්ථාවට ජාතීන් අතර එක්සත් සභාවේ ‍ලේකම් එල්.ඒ.යූ.එල්.එම්. නලීම්, කඳුරට මුස්ලිම් සංගමයේ සභාපති ෆස්ලින් වාහිඩ් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
ගයා වන්නිආරච්චි 

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons