හලාල් පිළිබඳ ගැටලු දැන් විසඳී හමාරයි


හලාල් පිළිබඳ ගැටලු දැන් විසඳී හමාරයි

ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය  - ෆයිසර් මුස්තාපා
fiz841.හලාල් අර්බුදයක් ගැන අපේ රටේ බොහෝ දෙනෙකු කතා කරනවා. වාද විවාද කරනවා. අදහස් පළ කරනවා. ඇත්තටම මොකක්ද මේ හලාල් කියන්නේ. මේ වචනයේ නිවැරදි අර්ථය මොකක්ද? ඔව්, ඇත්තවශයෙන් අද “හලාල්” ගැන වාද විවාද කරන ඇතැමෙක් ඒ වචනයේ නිවැරදි තේරුමවත් දන්නේ නැහැ. මුස්ලිම් ආගමට අනුකූලදේට අප “හලාල්” කියා කියනවා. මුස්ලිම් ආගමට අනුකූලව එම වතාවත්වලට අනුව සකස්කළ ආහාරවලට අප “හලාල්” ආහාර ලෙස කියනවා.
උදාහරණයක් ලෙස බෞද්ධයින් බොහෝදෙනකු නිර්මාංශ ආහාරවලට ප්‍රිය කරනවා. නමුත් ඇතැම් කේක් වර්ග, බිස්කට් වර්ග වැනි ආහාර, නිර්මාංශද යන්න සොයාගැනීම අපහසුයි. එය නිර්මාංශ බව හඟවන සලකුණක් යොදා සහතික කර ඇත්නම් එය නිර්මාංශිකයින්ට පහසුවක්. හලාල් සලකුණත් එවැනිම සලකුණක්. ලාංඡනයක්
සිංහල හෝ දෙමළ ජාතිකයන්ට හලාල් ආහාර භාවිත කළා කියලා වැරැද්දක් වන්නේ නැහැ. මේ හලාල් ලාංඡනය  බොහෝ කලක සිට භාවිතා කෙරෙන්නක්. නමුත් හදිසියේ තමයි මේ ගැන ගැටලුවක් මතුව ඇත්තේ.
ඇත්තෙන්ම මෙතන කිසිම ගැටලුවක් නැහැ. හලාල් සහතිකය ලබාදීම රජයට භාරදීමට කැමති බව පවා උලමා සංවිධානය ප්‍රකාශ කර තිබුණා. එම උලමා සංවිධානයට හලාල් සහතිකය තුළින් මුදල් ලබාගැනීමේ අරමුණක් නොමැති බව එයින් පැහැදිලි වෙනවා.
ඇත්තෙන්ම දැන් මෙම හලාල් සහතික  පිළිබඳ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම වාගේ විසඳිලා තිබෙනවා. දේශීය නිෂ්පාදන සඳහා හලාල් සහතිකය නිකුත් නොකිරීමට එකඟතාවක් ඇතිව තිබෙනවා.
එසේම විදේශ ගැනුම්කරුවන්ටද භාණ්ඩ සඳහා හලාල් සහතිකය නොමිලයේ නිකුත් කිරීමට සමස්ත ලංකා ජමියතුල්ලා උලමා සංවිධානය එකඟ වී තිබෙනවා.
දැන් මෙහි සියලු ගැටලුකාරී තැන් විසඳී තිබෙනවා. තවදුරටත් මෙය ගැටලුවක් කරගත යුතු නැහැ. 
හලාල් ලාංඡනය ගැනීම සඳහා භාණ්ඩ නිෂ්පාදන සමාගම්වලට හෝ ආයතනවලට යම් බලකිරීමක් කෙරෙනවාද?
නැහැ. කොහෙත්ම නැහැ. එය තමයි මෙහි සුවිශේෂීත්වය. අපගේ උලමා සභාව මගින් තමයි මෙම හලාල් ලාංඡනය නිකුත් කරන්නේ. නමුත් කිසිම විටෙක, කිසිම ආයතනයකට හලාල් ලාංඡනය ගන්නා ලෙස එම සභාව මගින් බලකිරීමක් කෙරෙන්නේ නැහැ.
එම සමාගම් ස්වේච්ඡාවෙන්ම තමයි මෙම  ලාංඡනය ලබාගන්නේ. ඔවුන් ඔවුන්ගේ කැමැත්තට මුදල් ගෙවා මෙම ලාංඡනය ලබාගන්නවා. එය එම සමාගම්වල වාණිජමය තීරණයක්. 
රටේ යම් කොටසක් තම භාණ්ඩය මිලදී ගන්නේ නැතිනම් එය එම භාණ්ඩ නිෂ්පාදන සමාගමට පාඩුවක්. එම නිසා ඔවුන් ස්වකැමැත්තෙන්ම හලාල් ලාංඡනය ගන්නවා. එමගින් ඔවුන්ට එම භාණ්ඩ කිසිදු ගැටලුවකින් තොරව අපනය කිරීමටද හැකියාව ලැබෙනවා.
මෙම ලාංඡනය ලබාදීමට විශාල වශයෙන් මුදල් අයකරන බවටද චෝදනා එල්ල වෙනවා. නමුත් එම චෝදනා අසත්‍යයි. මෙහිදී අසාධාරණ ලෙස මුදල් අය කිරීමක් සිදුකෙරන්නේ නැහැ. එවැනි අසාධාරණ මුදල් අය කිරීමක් සිදුවනවා නම් ඒ පිළිබඳව චෝදනා කළ යුත්තේ ලාංඡනය ලබාගන්නා සමාගම් විසින් බව පැහැදිලියි. නමුත් එතෙක් මතෛක් කිසිදු නිෂ්පාදන සමාගමක් හෝ ආයතනයක් මෙම ලාංඡනය ගැන චෝදනාවක් හෝ විවේචනයක් කර නැහැ. නමුත් සමහර බලවේග මේ ගැන අසත්‍ය ප්‍රචාර ගෙනයනවා.
මොනවාද ඔබ ඔය කියන බලවේග?
බටහිර කුමන්ත්‍රණකාරී බලවේග. මෙම බලවේග තමයි පසුගිය ජිනීවා මානව හිමිකම් සැසිවාරවලදී ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කළේ. එසේම මෙරට ත්‍රස්තවාදී ගැටුම් පැවැති කාලයේ ත්‍රස්තවාදීන්ට වක්‍රාකාරව සහය ලබාදුන්නෙත් මේ රට බෙදීම සඳහා විවිධ කුමන්ත්‍රණ දියත් කළෙත් මෙම බලවේග තමයි.
යුද්ධය අවසාන වී මේ වනවිට රට ස්ථාවරව ඉදිරියට ගමන් කරමින් තිබෙනවා. මෙම ගමන කඩාකප්පල් කිරීමට බටහිර බලවේග උත්සාහ කරනවා.
රට තුළ යලි ජාතිවාදි අරගල ඇතිකොට යළි මෙරට අස්ථාවර කිරීමටයි මෙම බලවේග උත්සාහ කරන්නේ.
හලාල් අර්බුදය මෙම බටහිර කුමන්ත්‍රණකාරී බලවේග විසින් මවා පෙන්වන අර්බුදයක් සැබැවින්ම මෙවැනි අර්බුදයක් රට තුළ නැහැ.
මුස්ලිම් ජනතාව කිසි දිනක මේ රට බෙදා වෙන්කිරීමට උත්සාහ කළේ නැහැ. කිසි දවසක ඔවුන් මේ රටින් කෑලි ඉල්ලා නැහැ. හැමදාමත් ශ්‍රී ලංකාවේ  ස්වාධීනත්වය භෞමික අඛණ්ඩතාව ස්වෛරීතාවය වෙනුවෙන් ඔවුන් පෙනී සිටියා.
ශ්‍රී ලංකාවේ ඒකීය භාවය ආරක්ෂා කරලීම සඳහා ඉතිහාසයේ මෙන්ම වත්මන් කාලයේදීත් මුස්ලිම් ජනතාව සිංහල ජනතාව සමග එක්ව සටන් වැදුණා.
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කරලීමේ සටනේදීත් මෙරට මුස්ලිම් ජනතාව සෘජුවම ශ්‍රී ලංකා රජය සමග සිටියා. මුතාලිෆ් වැනි රණවිරුවන් ත්‍රස්තවාදයට එරෙහිව රට වෙනුවෙන් දිවි පිදුවා . මේ රට තුළ ජාතිවාදී ප්‍රශ්නයක් නැති බව මුස්ලිම් ජනතාව, මුළු ලොවටම ප්‍රකාශ කළා.
බටහිර බලවේග ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් චෝදනා එල්ල කරන  විටත් මුස්ලිම් රටවල් මෙරටට සහය ලබාදුන්නා. මෙම හේතු නිසා බටහිර කුමන්ත්‍රණකාරී බලවේග මුස්ලිම් රටවල් හා ශ්‍රී ලංකාව විරසක කරලීමටද විවිධ උත්සාහ දරනවා. ශ්‍රී ලංකාව තුළ සිංහල හා මුස්ලිම් ජනතාව සමගියෙන් සිටීම, මෙම බලවේගවලට ගැටලුවක්. ඔවුන් එම සමගිය බිඳ දැමීමට විවිධ උපක්‍රම ක්‍රියාත්මක කරනවා.
මෙම බලවේග හලාල් සම්බන්ධව රට තුළ ගැටලු ඇති කරලීමට උත්සාහ කරන්නෙත් රට තුළ පවතින සිංහල මුස්ලිම් සමගිය නැති කරලීමටයි.
ඔබට දැන් නව අමාත්‍යංශයක නව වගකීම් සමුදායක් පැවැරී තිබෙනවා.
ඔව් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය මෙරටට ඉතා වැදගත් අමාත්‍යංශයක්. මෙහි නියෝජ්‍ය අමාත්‍යධුරය මා හට ලබාදීම පිළිබඳව මා ජනපතිවරයාට ස්තූතිවන්ත වනවා.
අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන මහතාද සමග එක්ව අප එක් කණ්ඩායමක් ලෙස එක්වී  රටේ ආර්ථිකය නැංවීම සඳහා මෙම අමාත්‍යංශය තුළින් උපරිම දායකත්වයක් ලබාදීමට කටයුතු කරනවා.
දශක තුනක් පුරා පැවැති යුධමය වාතාවරණය අවසන් වීමෙන් පසු මේ වන විට රටට විදේශ ආයෝජකයන් පැමිණෙමින් සිටිනවා.  මෙම තත්ත්වය තවදුරටත් ඉහළ නැංවීම අපගේ අරමුණයි.
පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක විදේශ ආයෝජන මෙරටට ගලා ආවා. මෙම වසර තුළ ඩොලර් බිලියන 2 ක දක්වා එය ඉහළ නැංවීම අපගේ ප්‍රධානතම ඉලක්කයක්. අධ්‍යාපන සංචාරක යන ක්ෂේත්‍ර වෙත අපගේ ප්‍රධාන අවධානය මේ වන විට යොමුව තිබෙනවා. එසේම සේවා හා නිෂ්පාදන ක්ෂේත්‍ර  හරහාද මෙරටට ආයෝජකයින් ගෙන්වා ගත හැකි බව අප හඳුනාගෙන තිබෙනවා.  විශේෂයෙන්ම අපගේ ශ්‍රම බලය තුළින් ආයෝජන මෙරට ගෙන්වා ගැනීමට හැකියාව තිබෙනවා. මේ කටයුතු සඳහා දිගු කාලීන මෙන්ම කෙටි කාලීන සැලසුම් සැකසීමට අප කටයුතු යොදනවා.
විදේශ ආයෝජකයන්ට මෙරට ආයෝජනයන් ක්‍රියාත්මක කිරීමේදී විවිධ නීති රෙගුලාසි හේතුවෙන් අවහිරතා  හා ප්‍රමාදවීම් ඇතිවන බවට තොරතුරු වාර්තා වනවා?
ඔව් අපට ඔය සම්බන්ධව පැමිණිලි  ලැබි තිබෙනවා. එම නීති රෙගුලාසිවල ඇති අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කොට කාර්යක්ෂම සේවාවක් සැපයීමට අප කටයුතු කරනවා. මෙරට තුළ ආයෝජකයන්ට සෑම අතින්ම සුදුසු යහපත් වාතාවරණයක් ගොඩනැගිය යුතුයි. වෙනම අමාත්‍යංශයක් මේ සඳහා වෙන් කරලීම තුළින් ජනාධිපතිවරයාද අපේක්ෂා කර ඇත්තේ එයයි.
සාකච්ඡා කළේ - පැතුම් වික්‍රමරත්න

1 comments:

Anonymous said...

Meka patta boru oya bala wega thama LTTE kale kriya kariwa parata basse Satan wiramakale army eke ape unwa LTTE parayo maraddi dan bala wega hadan inna hamuduru waru thama parata bahala kiuwe rata wenuwen ape army eke unwa bera ganda perata awe

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons