හලාල් ප්‍රශ්නය ඉවරයි?

හලාල් ප්‍රශ්නය ඉවරයි?

කිසිදු නිෂ්පාදනයකට ඉදිරියේදී හලාල් සහතිකය අවශ්‍ය නොවන බවට අදාළ පාර්ශවයන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට තීරණයකට එළඹ ඇති බව දැන් රටට ප්‍රකාශයට පත් වී තිබේ. එහෙත් අදාළ එකඟතාව අනුව ඉවත් වන්නේ භාණ්‌ඩයේ ඇසුරුමේ ඇති හලාල් ලාංඡනය පමණක්‌ බවත් භාණ්‌ඩ හලාල් කිරීම තව දුරටත් එලෙසම සිදුවන බවටත් මත පළ වී ඇත. ඇත්ත වශයෙන්ම සිදු වන්නේ භාණ්‌ඩවල ඇසුරුමෙන් හලාල් ලාංඡනය ඉවත් කිරීම පමණක්‌ ද එය එසේ නොවේද යන්න තවමත් හරිහැටි පැහැදිලි වී නැත. මේ ගැන තවදුරටත් මහජනයාට පැහැදිලි කිරීමක්‌ අවශ්‍ය බවට හලාල් ප්‍රශ්නය සම්බන්ධයෙන් තවදුරටත් ඉදිරියට ඇදෙන සංවාදය තුළ අපට පැහැදිලි වන කරුණකි. ඉදිරියේදී වෙළෙඳපොළේ ඇති භාණ්‌ඩ තම අභිමතය පරිදි මිලදී ගැනීමේ නිවැරැදි තීන්දු තීරණ ගැනීම සඳහා එම කරුණ තවදුරටත් පැහැදිලි විය යුතුව තිබුණත් හලාල් ලකුණ හෝ ඉවත් කිරීමට ජමයිතුල් උලමා සංවිධානය එකඟ වීම ගැන අප සතුටු විය යුතුය. ඒ ගැන ඔවුන්ටත් මේ එකඟතාව ඇති කර ගැනීම සඳහා මැදිහත්වූ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු මහා සංඝරත්නයටත් අපගේ ගෞරවය පුද කළ යුතුව ඇත. මේ පසුබිම තුළ තවදුරටත් ඉදිරියට ඇදෙන හලාල් සංවාදය තුළ තවදුරටත් අවධානයට ලක්‌ කළ යුතු තවත් කරුණු කීපයක්‌ ගැන මේ ලිපියෙන් අපගේ අවධානය යොමු කරමු.

මේ සංවාදය තුළ මූලික වශයෙන්ම හලාල් විරෝධය යනු කුමක්‌දැයි අප නිවැරැදිව හඳුනාගත යුතුව ඇත. එයට හේතුව මේ ගැන ඇතැමුන් බලවත් දුර්මත ඉදිරිපත් කරමින් මේ හලාල් විරෝධය වැරැදි ලෙස අර්ථකථනය කරමින් සිටීමයි. ඒ වැරැදි අර්ථකථන නිසා සිංහල මුස්‌ලිම් ජනවර්ග අතර විරසකයක්‌ ඇති වීමට අමතරව අප රටේ භාණ්‌ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියට ද අහිතකර බලපෑම් ඇති වෙයි. ඒ හානිකර තත්ත්වය ඇති කරන ප්‍රධාන දුර්මතයක්‌ වන්නේ ඇතැමුන් විසින් මේ හලාල් විරෝධය මුස්‌ලිම් අනුගාමිකයින් පරිභෝජනයට ගත යුතු බවට ඉස්‌ලාම් ආගමෙන් අනුමත කොට ලේබල් කෙරෙන ආහාරවලට එරෙහි යුද්ධයක්‌ වහයෙන් හඳුන්වා දීමයි. එවැනි ආහාරවලට එරෙහි යුද්ධයක්‌ ඇති වී නොමැති අතරම ලංකාවේ ජමයිතුල් උලමා සංවිධානයෙන් මුදල් අයකර ලබාදුන් හලාල් සහතිකය අනුව ඇසුරුමට හලාල් ලාංඡනය ඇතුළත් කර ඇති භාණ්‌ඩ ඉස්‌ලාම් ආගමෙන් අනුමත කොට ලේබල් කෙරෙන ආහාර ලෙස හඳුන්වාදීමද ගැටලු සහගතය. මේ හලාල් ලාංඡනය පිරිසිදු මුස්‌ලිම් බැතිමතුන් පවා මුලා කරන්නක්‌ බවට කරුණු සහිතව මේ වන විටත් අදහස්‌ ඉදිරිපත්ව තිබේ.

එසේම මේ හලාල් විරෝධය සුළු ජාතීන්ගේ ව්‍යාපාරික කටයුතුවලට එරෙහිව මහජාතියේ ඇතැමුන් විසින් දියත් කර ඇති ව්‍යාපාරයක්‌ වශයෙන් හඳුන්වාදීමට ද ඇතැම්හු උත්සාහ කළහ. මෙවැනි දුර්මත ප්‍රචාරය කරමින්, මේ අය පෙන්වා දෙන්නට උත්සාහ කළේ ආගමික සහජීවනයට හානි කරමින් සිංහල බෞද්ධ ඇතැම් සංවිධාන හලාල් ආගමික චාරිත්‍රයට එරෙහිව මහා සංග්‍රාමයක්‌ දියත් කර ඇති බවයි. මෙවැනි දුර්මතයක්‌ ලෝකයට ඉදිරිපත් කර මේ රටේ සිංහල බෞද්ධයන්ගෙන් මුස්‌ලිම් ප්‍රජාවට හිරිහැර සිදුවන්නේ යෑයි පණිවුඩයක්‌ දීමේ උත්සාහයක්‌ තිබිය හැකි වුවත් මේ රටේ මැදහත් සිංහල මුස්‌ලිම් ජනයා මේ කියන ආකාරයේ සංග්‍රාමයක්‌ දියත්ව නැති බවද පැහැදිලිව දනී. එසේ නම් මේ හලාල් විරෝධය කුමක්‌ද? ඒ තුළ මුස්‌ලිම් විරෝධයක්‌වත් හලාල් ආගමික චාරිත්‍රයට එරෙහි වීමක්‌ හෝ සුළු ජාතීන්ගේ ව්‍යාපාර කටයුතුවලට එරෙහිවීමක්‌ද නැත. මේ විරෝධය එල්ලවී ඇත්තේ සිංහල බෞද්ධයන්ගේ පමණක්‌ නොව මුස්‌ලිම් නොවන සියල්ලගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරමින්, ඔවුන්ට හලාල් භාණ්‌ඩ අනිවාර්යයෙන්ම පරිභෝජනය කිරීමට සිදුව ඇති තත්ත්වයට එරෙහිවය. ශ්‍රී ලාංකීය වෙළෙඳපොළ තුළ ඇති සියලුම භාණ්‌ඩ හලාල් කරමින් ඉස්‌ලාම් ආගම නොඅදහන අයටත් හලාල් භාණ්‌ඩ පරිභෝජනය කිරීමට සිදුව ඇති බලවත් අසාධාරණයට එරෙහිව මේ විරෝධය ඇතිව තිබේ.

එක්‌ ආගමක චාරිත්‍ර එම ආගම නොඅදහන වෙනත් ආගමික කණ්‌ඩායම්වලට බලෙන් පැටවීම අසාධාරණ බව තේරුම් ගැනීමට ඇතැම් උගත් වියතුන්ට බැරිවුවත් එය අද වන විට ශ්‍රී ලංකාවේ හලාල් සහතිකය නිකුත් කරන ජමෙයතුල් උලමා සංවිධානයද පිළිගෙන ඇත. එය තේරුම් ගැනීමට අපේ සහෝදර මුස්‌ලිම් ප්‍රජාවට මෙන්ම මේ රටේ මහජනතාවට ද අපහසු නැත.

හලාල් සහතිකය සහිත භාණ්‌ඩ සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදය සමනය කරනු වස්‌ ශ්‍රී ලංකා වාණිජ මණ්‌ඩලය (Ceylon Chamber of Commerce) අවස්‌ථා කිහිපයකදීම කර්මාන්ත ක්‍ෂේත්‍රය නියෝජනය කරන තම සාමාජිකයන් සමඟ සාකච්ඡා කරන ලදී. මෙහිදී ගරුතර සංඝරත්නයේ සහ සමස්‌ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ (ACJU) අදහස්‌ සහ යෝජනා පිළිබඳ දැඩි අවධානය යොමු කර තිබුණි. මේ සියලු පාර්ශවයන්ගේ අදහස්‌ හා යෝජනා සැලකිල්ලට ගනිමින් අදාළ පාර්ශවයන් පහත ක්‍රියාමාර්ගයන් සඳහා එකඟතාවක්‌ ඇතිකරගෙන තිබේ.

1. ශීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික වෙළෙඳ භාණ්‌ඩ සඳහා හලාල් සහතිකය ලබා ගැනීමේ ක්‍රියාවලියේදී, එම ආයතන තම නිෂ්පාදන ක්‍රියාවලියේ පෙර හෝ පසුව කිසිම අවස්‌ථාවක, කිසිම ආගමික කටයුත්තක දැනට නිරත නොවේ. මින් ඉදිරියටත් එය එපරිදිම ක්‍රියාත්මක වේ.

2. අමුද්‍රව්‍ය ලබා ගැනීම, නිෂ්පාදනය සහ බෙදා හැරීම ප්‍රායෝගිකව අති සංකීර්ණ කර්තව්‍යයක්‌ බවට පත් වන නිසා, හලාල් ලාංඡනය සහිතව සහ රහිතව එකම භාණ්‌ඩය නිෂ්පාදනය සහ අලෙවි කිරීමේ යෝජනාව, ප්‍රායෝගික නොවේ. තවද, එකම භාණ්‌ඩය හලාල් ලාංඡනය සහිතව සහ රහිතව අලෙවි කිරීමේදී, පාරිභෝගිකයන් අසීරුතාවට පත්විය හැක.

3. වෙළෙඳ සැල්වල ඇති සීමිත ඉඩ ප්‍රමාණය තුළ එකම භාණ්‌ඩය හලාල් ලාංඡනය සහිතව සහ රහිතව ප්‍රදර්ශනය හා අලෙවි කිරීම ප්‍රායෝගික නොවේ.

4. ශ්‍රී ලංකාව තුළ අලෙවි කරන භාණ්‌ඩවල හලාල් ලාංඡනය ප්‍රදර්ශනය කිරීම සිදු නොවේ. නමුත් අපනයනය වැනි වෙළෙඳ අවශ්‍යතා මත, සමාගම්වලට තම අභිමතය පරිදි හලාල් සහතිකය ලබා ගත හැකි අතර, ACJU සංවිධානය මගින් එය නොමිලේ සිදු කරනු ඇත.

5. විදේශ සංචාරකයන් සඳහා පවත්වාගෙන යනු ලබන විශේෂ වෙළෙඳසල් තුළ අලෙවි වන භාණ්‌ඩ වල හලාල් ලාංඡනය ප්‍රදර්ශනය කළ හැක.

6. සියලුම නිෂ්පාදන ආයතන තුළ හලාල් ලාංඡනය මුද්‍රණය කරන ලද නිෂ්පාදන තොග සැළකිය යුතු ප්‍රමාණ වලින් ඇති බැවින්, එම තොග සම්පූර්ණයෙන්ම වෙළෙඳපොළෙන් ඉවත් වීමට සැළකිය යුතු කාලයක්‌ වැය වේ. ඒ අනුව හලාල් ලාංඡනය ඇති තොග සම්පූර්ණයෙන්ම අවසාන වනතුරු, හලාල් ලාංඡනය සහිත භාණ්‌ඩ වෙළෙඳපොළේ අලෙවියට තිබෙනු ඇත.

7. හලාල් ලාංඡනය රහිත භාණ්‌ඩ වෙළෙඳපොළ තුළ අලෙවිය සහතික කිරීම කඩිනම් කිරීම සඳහා, සියලුම නිෂ්පාදන ආයතන තම ඇසුරුම් වලින් හලාල් ලාංඡනය ඉවත් කිරීමට වහාම ක්‍රියාත්මක වන පරිදි පියවර ගනු ඇත.

සියලුම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සැපිරෙන පරිදි පාරිභෝගික භාණ්‌ඩ නිෂ්පාදනය කිරීමටත්, එම භාණ්‌ඩ රජය මගින් පනවා ඇති සියලුම නීති රීති වලට අනුකූලවත්, ඉතාමත් උසස්‌ ප්‍රමිතීන්ට අනුව, සෞඛ්‍යාරක්‍ෂිතව නිපදවීමට තම සියලුම සාමාජිකයින් ඇප කැප වී සිටින බවද මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වාණිජ මණ්‌ඩලය පවසයි. ඉහත ක්‍රියාමාර්ග සඳහා ශ්‍රී ලංකා තරුණ ව්‍යවසායක මණ්‌ඩලය (COYLE),ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්‌ඩලය (NCCSL), ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්‌ඩල සම්මේලනය (FCCISL), ඒකාබද්ධ ඇගළුම් සංගම් සංසදය (JAAF)ල ලංකා ජාතික කර්මාන්ත මණ්‌ඩලය, (CNCI) සහ ශ්‍රී ලංකා ජාතික අපනයන වාණිජ මණ්‌ඩලය (NCESL) යන ආයතන වල එකඟතාවය ද ලැබී ඇත.

ඉහත එකඟතාවන් පරීක්‍ෂාවෙන් අධ්‍යයනය කරන විට පැහැදිලි වන්නේ එහි සෑම කරුණකම පාහේ සඳහන් වන්නේ හලාල් ලාංඡනය ඉදිරියේදී ප්‍රදර්ශනය නොකිරීමක්‌ ගැන පමණක්‌ බවයි. ඒ අනුව මේ එකඟතාව ඇති කරගෙන ඇත්තේ භාණ්‌ඩ හලාල් කොට ඒ බව වසන් කිරීම සඳහා භාණ්‌ඩයේ ඇසුරුමෙන් හලාල් ලකුණ ඉවත් කිරීමට පමණක්‌ ද යන සාධාරණ සැකය අද කා තුළත් ඇතිව තිබේ. මෙය ජනතාවට පැහැදිලි කළ යුතුව ඇති කරුණකි. එනම් එකම කර්මාන්ත ශාලාවක එකම ආකාරයට නිපදවන භාණ්‌ඩ හලාල් ලාංඡනය සහිතව සහ රහිතව වෙළෙඳපොළට නිකුත් කරන්නේ කෙසේද යන ප්‍රශ්නය මෙහිදී නිතැතින්ම මතුවන නිසාය. භාණ්‌ඩ පෙර පරිදිම හලාල් කොට ඉවත් වන්නේ ඇසුරුමේ ඇති ලාංඡනය පමණක්‌ ද? කවරක්‌ නමුත් ගෞරවනීය මහා සංඝරත්නය, ජමෙයතුල් උලමා සංවිධානය සහ ශ්‍රී ලංකා වාණිජ මණ්‌ඩලය හදිසියේම එක්‌ වී ප්‍රකාශයට පත් කළ හලාල් ඉවත් කිරීමට ඇති කරගත් එකඟතාව, ජනතාව මුලා කරන්නක්‌ නොවේය යන්න කාගේත් විශ්වාසයයි. එය ළඟ එන අලුත් අවුරුද්දට භාණ්‌ඩ විකුණා ගැනීම සඳහා ජනයා රවටන කූට වෙළෙඳ උපක්‍රමයක්‌ද නොවිය යුතුය. එසේම මේ එකඟතාව පරිදි ඉස්‌ලාම් නොවන පාරිභෝගික ජනයා හලාල් භාණ්‌ඩ වෙනුවෙන් මෙතෙක්‌ ගෙවූ අසාධාරණ කප්පම් මුදලට සිදු වන්නේ කුමක්‌ද යන පැනයටත් මහජනතාව අද දිනයේ පිළිතුරක්‌ අපේක්‍ෂාවෙන් සිටිති. භාණ්‌ඩවල ඇසුරුමේ හලාල් නොවන ( non halal) බවට සහතික කිරීමක්‌ අවශ්‍ය නොවූවත් හලාල් ලාංඡනය නැති භාණ්‌ඩ හලාල් ක්‍රමයට නිෂ්පාදනය කර ඇති ඒවා වුවහොත්, ඒ නිසා සිදුවන විශ්වාසය පළුදුවීම තුළින් වෙළෙඳපොළට සහ ව්‍යාපාරික ආයතනවලට පෙරළා ඇති විය හැකි හානියද ඉමහත්ය. ඒ නිසා එවැනි රැවටීමකට අතිමහත් බහුතර ඉස්‌ලාම් නොවන පාරිභෝගික ජනයා ලක්‌කර නැතැයි යන්න (තවමත්) කාගේත් විශ්වාසයයි. එහෙත් හලාල් ඉවත් කරන බව පැවසීම මුළුමනින්ම ජනතාව සහ ස්‌වාමින් වහන්සේලා නොමඟ යෑවීමක්‌ බව ජාතික හෙළ උරුමයේ ලේකම් තාක්‍ෂණ පර්යේෂණ හා පරමාණුක බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා පෙරේදා (12 දා) ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා තිබුණි. හලාල් ලාංඡනය නිෂ්පාදිත භාණ්‌ඩවලින් ඉවත් කිරීමෙන් ඉතා සූක්‍ෂම ලෙස සිදුකරන්නේ උත්සව සමයේදී භාණ්‌ඩ අලෙවි කර ගැනීමට ක්‍රියා කිරීම මිස, භාණ්‌ඩ හලාල් කිරීම නවතා දැමීම නොවන බවටද ඇමැතිවරයා සිදුකර තිබූ ප්‍රකාශය බරපතළ එකකි. ඔහු තවදුරටත් මෙසේද පවසා තිබුණි. "හලාල් ලාංඡනය යෙදීම හලාල් ක්‍රියාදාමයේ අවසාන අදියර පමණයි. භාණ්‌ඩ නිෂ්පාදනයේදී, ඇසුරුම්වලදී. ප්‍රවාහනයේදී හලාල් ප්‍රමිති රාමුව උලමා සංවිධානය විසින් නිෂ්පාදන ආයතනවල ක්‍රියාත්මක කිරීම හලාල් ලාංඡනය ඉවත් කිරීමට සමගාමීව නවතා දමන බවට තහවුරු කර නැති බැවින් තවදුරටත් හලාල් භාණ්‌ඩ වර්ජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා".

මෙය රටේ ජයග්‍රහණයක්‌ ලෙස සලකා ක්‍රියා කරමු

අවුරුදු 30 ක්‌ විතර යුද්ධයක්‌ කරල රට ආපස්‌සට ගිය යුගයක අපිට නැවතත් මෙවැනි ප්‍රශ්නයක්‌ නිසා අපේ ආගම් අතර හෝ ජාතීන් අතර හෝ ගැටුමක්‌ ඇති කරගෙන එය දුරදිග ගෙනියන්න අවශ්‍ය වෙන්නේ නෑ. අපේ රටේ ඇති වන ප්‍රශ්න විස¹ ගන්න අපි බුද්ධිමත් වෙන්න ඕන. අපේ බෞද්ධ පාර්ශවය මේ සියලු මහා සංඝරත්නය වෙනුවෙන් ස්‌තුතිවන්න වෙනව ජමයිතුල් උලමා සංවිධානයටත් මුස්‌ලිම් ප්‍රජාවටත් මෙවැනි තීරණයකට එළඹීමට ඒ අයගේ කැමැත්ත දැක්‌වීම ගැන. මෙය අපේ ජයග්‍රහණයක්‌වත් එතුමන්ලාගේ පරාජයක්‌වත් නොවෙයි. අපි දෙගොල්ලන්ගෙම හැමෝගෙම ජයග්‍රහණයක්‌. මේ රටේ ජයග්‍රහණයක්‌ හැටියට මෙය සලකා කටයුතු කරන්නැයි අපි මේ වෙලාවෙ විශේෂයෙන් ඉල්ලා සිටිනවා." (මාර්තු 11 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී)

- මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි

හලාල් ලාංඡනය ඉවත් කිරීමට අප තීන්දුවකට එළැඹියා

"හලාල් සහතිකය ප්‍රදර්ශනය කිරීම සඳහා භාවිතා කළ හලාල් ලාංඡනය, එයත් ගැටළුවක්‌ බව පෙනී ගිය හෙයින්, එය ඉවත් කිරීම සඳහා මේ රටේ සාමයික සහජීවනය මුල්කරගෙන අපි තීන්දුවකට එළඹ සිටිනවා. ඒ තීන්දුවට අපි ආවේ ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදයත් වාණිජ මණ්‌ඩලයේ සහයෝගයත් ඇතිවයි. හලාල් සහතික කිරීම අපි සේවාවක්‌ හැටියට තමා ආරම්භ කළේ. එය ආවරණය කිරීම සඳහා පමණයි, මෙම සහතික ක්‍රියාවලියට ගාස්‌තුවක්‌ අය කළේ. නමුත් මෙයත් ගැටළුවක්‌ ලෙස අපගේ සුහදත්වය හා සහජීවනයට හානිකර තත්ත්වයක්‌ ලෙස මතුවන්නේ නම් එයත් ඉවත් කරගෙන අය කිරීමකින් තොරව මෙම ක්‍රියාවලිය කරන්නත් අප සුදානමින් සිටිනවා. හැමදේකටම වඩා අපට වැදගත්වන්නේ අපගේ සියලු සහෝදර පිරිස සමග සාමයෙන්, සමගියෙන් හා සුහදත්වයෙන් ජීවත්වීමට අවශ්‍ය වාතාවරණයක්‌ ගොඩනගා ගැනීමයි. සමස්‌ත ලංකා ජමයිතුල් උලමා සංවිධානය මෙම ධර්මය ඉගැන්වීම් තුළ මෙම සියලු කැපවීම් කරන්නේ, ඒ උදාර ශ්‍රේෂ්ඨ අරමුණ සාක්‌ෂාත් කර ගැනීම සඳහායි. (මාර්තු 11 වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී)

මුර්ෂිඩ් මුලෆර්
සමස්‌ත ලංකා ජමයිතුල් උලමා සංවිධානය

ශ්‍යාම් නුවන් ගනේවත්ත


http://www.divaina.com/2013/03/14/feature01.html

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons