ගලගොඩ අත්තේ ඥාණසාරයන්ට මුස්ලිම් මාගෙන් ආයාචනාවක්







අද ලංකාවේ භික්ෂූන්ට තම නියම වගකීම් අමතක වී ගොසින් යැයි මට විටෙක සිතේ.
නැත්නම් එම වගකීම් ඉටු කිරීමට තමන්ට නොහැක යැයි ඔවුන් සිතති. එසේත් නැත්නම්
මිනිසුන් නිසි මග පත් කරවන තරම් යහපත් දෙසුම් බුද්ධාගමේ නැත. මෙයින් කුමන
කාරනාව නිවැරදිද යැයි බුද්ධ දර්ශනය ගැන ගැඹුරින් නොදන්නා මම සත්තකින්ම නොදනිමි.
නමුත් මින් එකක් හෝ දෙකක් හෝ නැත්නම් සියල්ල නිවැරදි විය යුතුය.

බහුතරයක් සිංහළ බෞද්ධයන් වාසය කරන ශ්‍රී ලංකාව දිනෙන් දින සදාචාරයෙන් පිරිහෙමින්
පවතින්නේ මේ නිසාය යැයි මට සිතේ.



මෙම කුඩා ධර්ම දූපත බේබදු කමින් අද ලොව සිව්වන ස්ථානයට පත්ව ඇත. සුරාවෙහි
සූදුවෙහි ප්‍රතිවිපාක ගැන දෙසන බුදු දහම අදහන්නන් සැලකිය යුතු ලෙසින් නොමැති
ඇමරිකාව, මහ බි්‍රතාන්‍යය, ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය, ස්පාඥ්ඥය, කැනඩාව, නෙදර්ලන්තය,
ඩෙන්මාර්කය වැනි අබෞද්ධ රටවල් අතර බේබදු කමින් ලංකාව ඉහළ තැනක වැජඹීම ගැන
මෙහි සිටින සංඝයා සංවේගයට පත් නොවන්නේද? මා මෙසේ පවසන්නේ හලාල් ගැන හෝ
හිජාබ් ගැන කථා කරන හා ඒවා වෙනුවෙන් ප්‍රචණ්ඩ උද්ඝෝෂණ පවත්වන භික්ෂූන් මෙය
ගැන වචනයක් හෝ සඳහන් කරනු මා ඇසූවේ හෝ දුටුවේ නැති හෙයිනි.



තවද බෞද්ධයන් බහුතරයක් වන මෙම කුඩා රටෙහි එක් දිනකට සිදු වන ස්ත්‍රී දූෂණ සංඛාව
5 හක් යැයි ගණන් බලා ඇත. පියවරුන් දියණියන් දූෂණය කිරීම, ගුරුන් සිසුවියන් කෙළසීම,
වෙදුන් තමන් වෙත පැමිණෙන රෝගී කාන්තාවන් පමණක් නොව ගැබිණියන්ට පවා අතවර
කිරීම්, මිනිමැරීම්, සොරකම්, මං කොල්ල කෑම්, අල්ලස් දූෂණ යනාදිය දිනපතා පුවත් පත්වල
වාර්තා වේ. හෙළිදරව් වන සහ වාර්තා වන අපරාධ සංඛ්‍යාවට වඩා වාර්තා නොවන
සංඛාව වැඩි බවට තර්කයක් තිබිය නොහැක. අද මව්වරු මැද පෙරදිග රැකියාවලට යන්නට
දෙවරක් සිතන්නේ එහි සිදු වන ඛෙලි කැපීම්වලට වඩා සිය බේබදු සැමියා භාරයේ තරුණ
දියණිය තනි කර දමා යන්නේ කෙසේද යන චකිතය නිසාම යැයි මා සිතමි.



යම් ජනකොටසක් සදාචාරයෙන් පිරිහෙන විට එම ජනකොටස එයින් මුදා යහපත් දෙසුම්
මගින් ඔවුන් නිසි මග පත් කිරීම ඒ ජනකොටසේ ආගමික නායකයන් සතු වගකීමකි. ඔවුන්ට
ගරුබුහුමන් දෙමින්, යාන වාහන දෙමින්, නම්බු නාම දෙමින්, අමාත්‍යාංශ පිහිටුවමින් ඔවුන්ව
නඩත්තු කරන්නේ මෙම භාරදූර අධ්‍යාත්මික අවශ්‍යතාවය ඔවුන් ඉටු කරනු ඇතය යන
අපේක‍ෂාව මතය. නමුත් අද සිංහළ බෞද්ධයා වැටී සිටින තත්ත්වය බලන කල එවන් මග
පෙන්වීමක් සාසනය ආරක‍ෂා කිරීමට සිටින මුරදේවතාවුන් වන් සංඝයාගෙන් සිදු නොවන බවපැහැදිලිවම කිව හැකිය. විටින් විට තමන් හමුවන්නට පැමිණෙන රටේ නායකයන් හා මැති
ඇමතිවරුන්ගෙන් අටපිරිකර හා තෑගි භෝග ලබා ගෙන ඔවුන්ට පිරිත් නූල් බෑඳීම පමණක්
සිය වගකීම් යැයි මෙරටේ සංඝ රත්නය සිතනවාවත්ද?.



ඒ අතින් මුස්ලිම් ආගමික නායකයින් පමණක් නොව සාමාන්‍ය මුස්ලිම්වරුන්ද කැපවීමෙන්
කි්‍රයා කරමින් සිටිති. ආගමානුකූලව ජීවත් වීමේ උනන්දුව මුස්ලිම් ජනකොටස අතර වැඩි
වෙමින් පවතින්නේ එම වෑයම්වල ප්‍රතිඵලයක් ලෙසිනි. මුස්ලිම් තරුණ තරුණියන් අද වැඩි
වැඩියෙන් ආචාරශීලී ගතිපැවතුම්වලට නැඹුරුව ජීවත් වනු දැකිය හැකි වී තිඛෙන්නේ මුස්ලිම්
ආගමික නායකයන් මෙන්ම ගෘහ මූලිකයන් හා ජමියතුල් උලමා වැනි ආයතන ඔවුන්ට හිමි
වගකීම -සාපේක‍ෂව ගත් කළ ඔවුන්ට මේ සඳහා ඇති රාජ්‍ය අනුග්‍රහය සහ වරප්‍රසාද ඉතා
අඩු වුවද- නිසි ලෙසින් ඉටු කරමින් සිටින හෙයිනි.



නමුත් බෞද්ධ සිංහළ ආගමික නායකයන්ගෙන් මෙවන් සේවයක් ඉටු වනවාද?
ඉටු වන්නේ නැති බවට වාර්තා වෙමින් පවතින පුවත් සහ වැඩි වෙමින් පවතින අපරාධ
සංඛ්‍යාවම දෙස් දෙයි.



එය වෙනුවට එම බෞද්ධ භික්ෂූන්ගෙන් ඇතැමුන් ඉස්ලාම් ධර්මයේ නීති රීති ගැන වැරදි
විග්‍රහ දක්වන්නටත් එහි ඇති යහපත් සියලූ කරුණුවලට යක‍ෂ මුහුණු ආදේශ කරන්නටත්
පටන් ගෙන ඇත්තේ තමන්ගේ පරාජිත ආගමික වගකීමේ නිරුවත වසන් කරන්නටමය.
පසුගිය දිනෙක බසයක අසුනක වාඩි වී සිටි වයස පනහක් ඉක්මවූ මගියෙකු අසලින් කොටට
කොටේ ගවුමක් ඇඳගත් නාඹර තරුණියක් සිය කලව පෙදෙස මනාව ප්‍රදර්ශනය කරගෙන
සිටිමින් ඔහුගේ සිතට කරදර දී ඇත. පසුව එතෙක් තමන්ගේ පාඩුවේ සිටි එම මගියා සෙමින්
සිය ජංගම දුරකතය එළියට ගෙන ඇයගේ කලව ප්‍රදේශය වීඩියෝ කර ඇති අතර එය දුටු
තරුණයන් කිහිප දෙනෙකු ඔහුව අල්ලා හොඳට තඩි බා බසයෙන් එළියට දමා ඇත.
ඇත්තෙන්ම වරද එම මගියා අත පමණක්ද?



එලෙසින් අඟ පසඟ පෙනෙන්නට අඩ නිරුවතින් පාරේ යන එන, බස්වල දුම්රියවල
කාර්යාලව තලතුනා වයෝවෘධ පිරිමින් පවා වරදට පොළඹවන අකාරයෙන් සහ දූෂණ
අපරාධ ඉහළ යන ආකාරයෙන් වශ්ත්‍ර (නො)අඳින සිංහළ තරුණියන් හෝ මැදිවියේ ස්ත්‍රීන්
ගැන නොව, සංවර බව දෙසිය යුතු මෙම බුද්ධ පුත්‍රයන් අද රට පුරා කථීකා ගොඩනගන්නේ
මනා හික්මීමෙන් යුතුව සිය සිරුර මුලූමනින්ම වසා ගන්නා මුස්ලිම් කාන්තාව ගැනය.
මුස්ලිම් නාමය ඇති සෑම දෙයක්ම මෙම භික්ෂූන්ට වැරදිය. ඔවුන් පවසන අන්දමට සිරුර
වසා වශ්ත්‍ර අඳින මුස්ලිම් කාන්තාවන් ගෝනි බිල්ලන්ය. ඔවුන් බෝම්භ ගෙන ආ හැකිය(යුද්ධය අවසන් නේද?). ආගමානුකූල බවේ හා තැන්පත් බවේ සංඛේතයක් වන යටි රැවුල
සහිතව සිටින මුස්ලිම් පිරිමින් දකින විට ඔවුන්ට බියක් ඇති වේ. (එසේ නම් ජේසුස් තුමන්
පටන් කෙහෙළිය රඹුක්වැල්ල දක්වාද කිවිඳු අලගියවන්න මුකවැටිතුමා පටන් මහා දාර්ශනික
සොක්‍රටීස් දක්වාද වන ප්‍රකට අය මොවුන් බිය ගන්වන චරිතයන්ය) පල්ලියට මුස්ලිම්වරුන්
රැස්වන්නේ කුමන්ත්‍රණ කරන්නටය. හලාල් යනු සිංහළ ව්‍යාපාරිකයන්ගේ වෙළෙඳාම
තඩාකප්පල් කරන ජාත්‍යන්තර ඉස්ලාමීය කුමන්තණයකි. එහි ආදායම යන්නේ ත්‍රස්තවාදය
සඳහාය. ළමුන්ට ආගමික අධ්‍යාපනය ලබා දෙන අරාබි පාසැල් ත්‍රස්තාවාදීන් පුහුණු කරන
රහස් කඳවුරුය. වෙනෙකක් තබා මුස්ලිම් පවුල්වල දරුවන් වැඩියෙන් ඉපදීමද ජත්‍යන්තර
මට්ටමින් සිදු කෙරෙමින් පවතින මහා පරිමාණයේ දැවැන්ත ඉස්ලාමීය කුමන්ත්‍රණයකි (අනේ
දෙවියනේ මෙය කාට කියම්ද?) තවත් නරුම චෝදනා ගනනාවකින් එකක් නම් ඇතැම්
මුස්ලිම් ව්‍යාපාර ස්ථානවල අලෙවි කරන යට ඇඳුම් ඒවා පළඳින කාන්තාවන්ව වඳ බව
ඇති කරනවා පමණක් නොව එවැනි ස්ථානවල සුහදශීලීව දෙන ටොෆිය පවා එම කූට යටි
අදහසින්ම දෙනු ලබන ඉනාවකි.



මෙලෙසින් ඔවුන්ට මුස්ලිම්වරුන්ගේ යහපත් කිසිවක යහපත නොපෙනේ. සිංහළයන්ගේ කිසිදු
අයහපතක බැරෑරුම් බවද නොපෙනේ. මෙය නම් රටේ සැබෑ කරුමයකි.
පුද භූමියක් යැයි ලාංකික බෞද්ධයන් විසින්ම ප්‍රකාශ (?) කර ඇති දඹුල්ල වැනි නගරයක
තිඛෙන මුස්ලිම් පල්ලිය බෞද්ධයන්ට පිළිලයකි. එයට විරුද්ධව සිවුර කඩා වැටෙනු
නොහැෙඟන ආකාරයට ඇතැම් හැඩි දැඩි බෞද්ධ භික්ෂුන් මැරයන් මෙන් උඩ පැන නැටූ
ආකාරය මුළු ලොවම දුටුවේය. සැබෑ බෞද්ධයන් හා භික්ෂූන් මෙය දැක
ලැජ්ජාවට පත් වූවාට සැකයක් නැත. නමුත් අපට පෙනෙන ආකාරයට එයටත් වඩා
වැදගත්කමින් දළදා මාළිගාව ඉහළය. ඉපැරණිය. වැදගත්ය. නමුත් එහි ප්‍රධාන දොරටුව
ඉදිරියේ ඇති හෝටලයේ තැබෑරුමක් ඇත. දළදා මාළිගාව අවට තැබෑරුම් නවයක් ඇත.
දළදාව පිහිටි මහනුවර තිඛෙන තැබෑරුම් සංඛ්‍යාව 45 කි. ඒවා වෙනුවෙන් සිවුර කඩා
හැලෙන විරෝධතා කිසිවක් නැත. පුදුමයකි.



සිංහළයා මාළු අනුභව කරන නිසා එහි නම ධීවර කර්මාන්තයයි. නැත්නම් ධීවර ගම්මානයයි.
ටින් මාළු ව්‍යාපෘතියයි. කුකුල් මස් ඔවුන් අනුභව කරන නිසා ඒවා ඇති කරන තැන්වලට
කියන්නේ කුකුල් ගොවි පළවල් කියායි. නැත්නම් පශ= සම්පත කියායි. එනමුන් මුස්ලිම්වරුන්
වැඩියෙන් ගවමස් අනුභව කරන නිසා එයට දී ඇති නම ගව ඝාතණයයි.

මෙසේ නොයෙකුත් අයුක්තිසහගත ගම්පෙරළි කරමින් ඇතැම් බෞද්ධ භික්ෂූන් උත්සාහ
කරන්නේ ඔවුන් සිය ජනකොටසට හරියාකාරව ඉටු නොකරන වගකීම් පැහැර හැරීම් වසන්
කරන්නටයි. වසරකට වරක් හෝ සිංහළ මිනිසුන් (මා මේ කියන්නේ 70 පසුවූ මැහැල්ලන්
නොවේ) පංසලකට ගෙන්නා ගත නොහැකි, සුරාවෙන් සූදුවෙන් සිය වර්ගයා මුදවා ගත
නොහැකි, එන්න එන්නටම කොටවන හා නැතිවන සිංහළ තරුණියගේ ඇඳුම ගැන කථා කළනොහැකි මෙම භික්ෂූන් දැන් ඉස්ලාම් ධර්මයේ නීති රීති සංශෝධනය කරන්නට එති. එසේ
ඔවුන් නවත්වන්නට කියා උද්ඝෝෂණය කරන්නේ හොඳ චර්යා සහ නිහතමානී ගතිපැවතුම්ය
යන කරුණ කඳුලක් තරම් හෝ මොළයක් ඇති ඕනෑම කෙනෙකුට පෙනේ. මෙනිසා බහුතරයක්
අවංක සිංහළයන් නිහ~ය.



හලාල් සහතිකයෙන්ද සිදු වන්නේ යමක හොඳ නරක බලා එයට තත්ත්ව සහතිකයක් නිකුත්
කිරීම බව කාටත් සිතා ගත හැකිය. එමෙන්ම හලාල් අපනයනය මගින් රටට ලැඛෙන
ආදායම මෙන්ම අපනයනකරුවන්ගෙන් අති බහුරතයක් වන සිංහළ සමාගම් මෙන්ම එම
කර්මාන්තශාලාවල සේවය කරන්නන් පවා ප්‍රයෝජන ලබන්නේ හලාල් සහතිකයක් නිකුත්
කිරීමට මෙහි මුස්ලිම් ප්‍රජාවක් සිටින නිසාය යන කරුන ගැන සිතා මොවුන් සතුටු විය යුතුයි
නොවේද? නමුත් එසේ ඔවුන් සතුටු නොවෙති.

පොදුවේ ගත් කල බෞද්ධයන් හලාල් යනු කලබල විය කරුණක් සේ නොසිතුවෝය. කලබල
ඇති කළේ තම නියම වගකීම පැහැර හැරීමේ නිරුවත වසා ගන්නට ඕනෑ වුනු භික්ෂූන්ය.
මෙයට විැරද්ධව ඔවුන් ඉදිරිපත් කරන තර්කයක් නම් මෙය අල්ලාහ් දෙවියන්ගේ නාමයෙන්
කැප කරන නිසා ඒවා බෞද්ධයන්ට නුසුදුසු බවයි. එම තර්කයද උපන්් ගෙයිම මියෑදෙන්නකි.
මන්ද යත් ආගමික විශ්වාසය අතින් ගත් කල සිංහළ බෞද්ධයන් කවදත් සිටියේ ලිබරල්
ආකල්පයකිනි. ඔවුන් ඝණපති මෙන්ම සක්විතිටත් වඳිති. කාලි අම්මා පත්තිනි අම්මා පටන්
විශ්ණු, මුරුගන්, කි්‍රෂ්ණන්, කන්නන් ලක‍ෂමි පාර්වතී දක්වා මෙන්ම සිව ලිංගයටද ඔවුන් කිසිදු
උස් පහත් කමක්, ගැහැණු පිරිමි වෙනසක් නොබලා වඳිති. දෙවටගහ පල්ලිය අසලින් යන
විට එයටද හිස නමා ආචාර කරන සිංහළයන්ව මා කොතෙකුත් දැක ඇත්තෙමි. එමෙන් රට
වැසියන්ට අපගේ දේශපාලනඥයන් ආදර්ශ දෙන එකම ඉසව්ව මෙය යැයිද කිව හැකිය.

ඡන්ද කාලවලදී ඔවුන් සියලූම කෝවිල්, දේවාල, පන්සල්, ආරාම, පල්ලි ගානේ යති. යමින්
ඡන්දය දිනන්නට පුද පූජා කරති. කන්නලව් කරති. භාර හාර වෙති. නැත්නම් කෙනෙකුට
ශාප කරමින් පොල් කඩති. හුණු ගාති. මෙලෙසින් මැවිල්ලේ සංකල්පය ප්‍රතිෙක‍ෂ්ප කළ යුතු
බෞද්ධයන් වඳිනා තරම් දෙවියන්ව හින්දුන්වත් නොවඳිති.



මේ අනුව බලන කල ලොව බිලියනයක් විශ්වාස කරන අල්ලාහ් දෙවියනුත් ඒ සමග එක් කර
ගැනීම බෞද්ධයන්ට එතරම් සැලකිය යුතු කරුණක් විය නොහැක. එනමුත් ඇතැම් භික්ෂූන්
එයට පමණක් බිහිසුණු මුහුණක් ආදේශ කර නිකම් සිටින සිංහළ බෞද්ධයාට යක‍ෂයා ආරූඨ
කරති. මෙලෙසින් මුස්ලිම් විරෝධී වීම හොඳම බෞද්ධ කම යැයිද මහා පුණ්‍ය කර්මයක්
යැයිද නිවනට ඇති කෙටිම මග යැයිද මෙම භික්ෂූන් ප්‍රචාරය කරති. ඒ අනුව අහිංසක
සිංහළ ජනයා නොමග යවමින් මුළු රටටම ගිනි තියති.

තවත් අතකින් ගතහොත් මැවිල්ලේ සංකල්පය යනු බෞද්ධ දර්ශනය අනුව මිත්‍යාවකි
නොහොත් නැති දෙයකි. එසේ නම් නැති අල්ලාහ් කෙනෙකුට කරන කැප කිරීමක් ගැන
කලබල විය යුතුද?තවත් ආගමික ජනකොටසක් සිය ආගම හා සංස්කෘතිය අනුව ජීවත් වනවා දැක එයට ඊර්ෂ්‍යා කිරීම නොව කළ යුත්තේ එයින් ආදර්ශය ගෙන තමනුත් හැදෙන්නට බැලීමය. මා
වාසය කරන වැල්ලම්පිටියේ අපගේ නිවස අසල පන්සලක මසකට පමණ පෙර යම්කිසි
හාමුදුරු නමක් විසින් දේශනාවක් පවත්වන ලදී. එය ශබ්ද විකාශ යොදා මුලූ පෙදෙසටම
ඇසෙන්නට සලස්වන ලද හෙයින් අපේ පවුලේ සැම දෙනාම නිවසේ සිටිමින්ම එය සුවසේ
ඇසුවෙමු.



එවිට එම ස්වාමීන් නම මෙසේ කී සේක: ර්‍ණඅද අපි මුස්ලිම් මිනිස්සුන්ට බනිනවා. ඒක වැරදයි. අපි ඒ අයගෙන් පාඩං ඉගෙන ගන්න ඕන. මෙච්චර විලාසිතා තියෙන මේ නවීන කාලේ මුස්ලිම් තරුණ ගැහැණු ළමයි ඇහැ විතරක් පේන විදියට තමන්ව වහ ගෙන පාරේ යනව. පුළුවන්ද මේක අපේ 40 පැන්න සිංහළ අම්මණ්ඩි කෙනෙකුටවත් කරන්න? අපේ කෙල්ලො විතරක් නෙවෙයි අම්මලත් අඳින්නේ මහ නින්දිත පහත් විදිහට. දුවට දැනමුතුකම් දෙන්න අම්මට තියා ආච්චිටත් බැහැ. ඇයි ඒ
දෙන්නත් ඇඳගෙන පාරෙ යන්නේ තරුණ දුවටත් වැඩියෙ නින්දිත විදිහට. දැං මුස්ලිම් පවුල්
අරගෙන බලන්න. ඔක්කොම කරන්නේ ගෙදර පිරිමියා. හම්බ කරන්නේ එයා. ගෙදර අය
ආගමානුකූලව කි්‍රයා කරවන්නේ එයා. දවසට පස්වේලක් පල්ලිත් යනවා. යකෝ ආණ්ඩුවෙන්
මාස්පතා නිවාඩුවක් දුන්නත් අපේ එවුං එනවද පන්සලට මාසෙකට සැරයක්වත්? කෝ අද
මෙතැන තාත්තලා කී දෙනෙක් ඇවිල්ල ඉන්නවද? හැම එකටම එන්නේ ගෑණු. මාකට් යන්නේ
ගෑණු. ඉස්කෝලේ රැස්වීමට යන්නේ ගෑණු. සමිති රැස්වීමට යන්නේ මොන්ටිසෝරි යන්නේ
ගෑණු. මේ දැනුත් මෙහෙ වැඩියේ ඇවිල්ලා ඉන්නේ ගෑණු. උං ගෑණු ටික එවල ගෙවල්වලට
වෙලා ටෙලි නාට්‍ය බලබල ඉඳියි.



අපේ තරුණ කොල්ලෝ ගත්තොත් උං ටික කන් දෙකට මයික් ගහගෙන පාර දිගේ සින්දු අහගෙන යනවා. නැත්තං සංගීත සංදර්ශනයට ගිහිල්ලා නරි වගේ හූ තිය තිය වන්ස් මෝර් වන්ස් මෝර් කියල ගිරිය පුප්පල කෑ ගහනවා. මමත් හිතං ඉන්නේ සංගීත සංදර්ශනයක් තියන්න. ඒකට වෙන මොකුත් ඕනේ නැහැ. යටිගිරියෙන් කෑ ගහන්න පුළුවන් නං ඒ ඇති. එතකොටවත් බලමු මුං ටික හදි ගැහිල කියන්න තියෙන දෙයක් කියා ගන්න පුළුවන්ද කියල”  මෙය හැරෙන්නට එම හාමුදුරුනම බොහෝ දේ කී නමුත් ඒවා සියයට සියයක් ඇත්ත නමුත් මුද්‍රණයට සුදුසු බසකින් ඒවා නොතිබුනු නිසා මා ඒවා නොලියමි.


වෛරය හා ක්‍රෝධය එක්තරා වේදනාවකි. වෛරය පතුරවන්නට උත්සාහ කරන්නන්
දැනටමත් එය මනාව වටහා සිටිනුවාට සැකයක් නැත. නමුත් මෛත්‍රිය, කරුණාව සිතට සිසිල
හා සැනසීම ගෙන දෙන්නකි. එය වෙනුවෙන් කි්‍රයා කරන්නන්ගේ මුහුණෙන්ම අපට ඒ බව දැන
ගත හැකිය.

මා මේ ලිපිය ලියන්නේ කවුරුන්ගේවත් වෛරය හෝ ක්‍රෝධය වැඩි කිරීමට නොවේ. ලියන්නේ
එය නැති කිරීමේ අටියෙනි. මේ අනුව මා ශ්‍රී ලාංකික බෞද්ධ සහෝදරයන්ගෙන් හා බොදු බලසේනාවේ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේගෙන් ඉතා බැගෑපත්ව දෝත්
මාගේ හිස් මුදුනේ එක්කර ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමි.


ඥාණසාර හාමුදුරුවනේ! ඔබ ඉතා කුසලතා පිරි ප්‍රතාපවත් අයෙකි. ඔබගේ විශ්මයජනක
හැකියාව නිසා සති කිහිපයකින්ම මෙම රටේ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට ඔබ සමත්
වී ඇත. එම හැකියාව සුලූ කොට තැකිය හැක්කක් හෝ සුලූ කොට තැකිය යුත්තක් හෝ
නොවේ. ඔබ වැනි දැවැන්ත හැකියා ගැබ් ගෙන සිටින්නන් සැමදා හෝ නිතර බිහි නොවෙති.
ඔබගේ ආත්ම ශක්තියට හා මිනිසුන් පෙළ ගැස්වීමේ හැකියාවට පළමුව මා සිරස නමමි. ඔබ
තරම් කාර්්‍ය ශ+ර, ආවේගශීලී, උදේ‍යා්ගීමත් එකම එක සමකාලීන හිමිනමක් මගේ මතකයට
නොනැෙඟ්. නමුත් ඔබගේ අති දැවැන්ත හැකියාව වැරදි තැනකන අයෝජනය වී තිබීම සිතා
මා ලේ කඳුළු සලමි. අනේ හාමුදුරුවනේ මුස්ලිම් අපව ඇයි ඔබ මේ තරම් පිළිකුල් කරන්නේ?
අපි ඔබට හෝ මෙම රටට කළ එකම එක අයහපතක් නොකටයුත්තක් මට කියන්න.
ඔබ දැන් කරමින් සිටින දෙය ඔබ කරන්නේ එක්කෝ එය නිවැරදි යැයි ඔබ අවංකවම
විශ්වාස කරන නිසා විය හැකිය. නැත්නම් ඔබට විශාල මුදල් ප්‍රමාණයක් දී ඇතැමුන් ඔබ
ලවා මෙය කරවති. ඊස්රායේලය සහ නෝර්වේ වැනි රාජ්‍ය මෙය පිටුපස සිටින බව පැවසේ.
එනමුත් සත්තකින්ම එහි ඇත්ත නැත්ත මා නොදනිමි. එනමුත් ඥාණසාර හාමුදුරුවනේ,
ඔබටද අන් සැමට මෙන්ම හෘදය සාක‍ෂියක් ඇත. ඔබගේ පපුවට අත තියා දෑස් වසා ඔබ
කරමින් සිටින මෙම කාරිය ගැන මඳක් සිතා බලන්න. ඔබ වයසින් 40 ක් 45 ක් පමණ යැයි
මට සිතේ. ඔබ මෙම ලොව තවත් වසර කොපමණක් ජීවත් වනු ඇතිද? විස්සක්? තිහක්?
දරුණු ලෙඩ රෝග හෝ හදිසි විපතක් ඇති නොවුවහොත් සාමාන්‍යයෙන් අපගේ මෙලොව
ආයු කාලය 60 ක් හෝ 70 වක් පමණය.



ඔබගේ මරණින් පසු ඔබ ගැන මිනිසුන් කෙසේ සිහිපත් කළ යුතුදැයි ඔබ ආශා කරන්නේද?
මෙම සුන්දර දේශයේ විශාල ව්‍යශනයක් ඇති කර ගිය කෙනෙකු හැටියටද? නැත්නම් ඔබ
ගැන සිහිපත් වන විට දෑත් එක් කර ඔබගේ සොහොනේ දිශාවට වැඳීමට සිත් දෙන උතුමෙකු
ලෙසින්ද?



හිට්ලර් ඉතා කුසලතා පිරි පුද්ගලයෙකුව සිටියේය. එනමුත් ඔහුගේ හැකියා ආයෝජනය කළ
ඉසව්ව වැරදි එකක් වූහෙයින් එයින් මිලියන සංඛ්‍යා මිනිසුන් අකලේ මළෝය. එනිසා අදත්
ඔහුව ලොව සිහිපත් කරන්නේ පිළිකුලෙනි. ඔබගේ හෘදය සාක‍ෂිය තනි පුද්ගලයෙකු ලෙසින්
ඔබගෙන් පිට වී ඈත් වී සිට ඔබ කරන දෙය බැලූවහොත් එයත් ඔබව පිළිකුල් කරනු ඇත.
මේ කරමින් සිටින කාරියන් ඔබ කරන්නේ මුදලට නම් කරුණාකර එවැනි ජීවනෝපායක
තිඛෙන නින්දිත බව ගැන නැවතත් සලකා බලන්න. ඔබ මෙය කරන්නේ එය හරියැයි සිතෙන
නිසා නම් මා මෙහි සඳහන් කර ඇති ඇතැම් කරුණු ගැන සිතා බලන්න. යුක්තියෙන් හෝ
අයුක්තියෙන් වේවා කෙතරම් මුදල් හම්බ කළත් අප කන්නේ එක බඩකටය. නිදා ගන්නටඅවශ්‍ය වන්නේද සුවිසල් මන්දිරයක් නොව අඩි හයක් දිග බිම් කෑල්ලක් පමණි. දිනෙක
මරණය නියතය. එපමණක් නොව පැවිදි දිවියක් ගත කරන හෙයින් ඔබට අත් විඳිය හැකි
ලෞකික සැප සම්පත්ද ගිහියන්ට වඩා අඩුය.



අර කියනා පරිදි ඔබව මෙය සඳහා පොළඹවන්නන් සිටියහොත් හා ඔවුන් නැවතත් ඔබ
සොයා පැමිණියහොත් පාහර විදේශිකයිනි මාගේ මවුබිම ලේ විලක් කරන්නට මට උඩ ගෙඩි
දෙන කාලකණ්ණි හැත්ත මගේ ඇහැට නොපෙනී පලයව්  යැයි කියා ඔවුන් එලවා දමන්න.
තිස් වසරක් ඔත්පළව සිට යාන්තම් සුව වෙමින් සිටින අසරණ ලක් මවට සැබෑ සේවයක්
කරන ලංකා පුත්‍රයෙකු වන්නට තිර අදිටන් කරන්න. එවැනි කාර්්‍ය භාරයක් ඔබ වැනි
තේජානුසම්පන්න ප්‍රතාපවත් පුද්ගලයෙකු සියතට ගතහොත් එයින් මෙම රටට කළ හැකි
යහපත අසීමිතය. බෞද්ධයන්ව නියම බෞද්ධයන් බවට පත් කිරීමේ ව්‍යාපාරයක් අරඹා
එයට නායකත්වය දෙන්න අපේ හාමුදුරුවනේ. හැකි නම් සාමයට කැමති මුස්ලිම් අප සමග
මෙන්ම මෙහි වාසය කරන ද්‍රවිඩ, කි්‍රස්තියානි ඇතුළු සෑම කෙනෙකු සමගම ඔවුන්ව කුළුපග
කරවන්න. එවිට ඔබගේ රුව දැකීම පවා, ඔබ ගැන සිතීම පවා අප සැමගේ සිතට සැනසුම
ගෙන දෙන්නක් වනු ඇත. අපගේ හදවත් ඔබට ආශීර්වාද කරනු ඇත. ඔබ මෙලොවින් ගිය
පසුද ඔබගේ ගුණ මෙම ලොව වර්ණනා කරනු ඇත.

අන්න එයයි මිනිස් බව ලැබීමේ ඵලය ලෙසින් ඔබ වැනි ප්‍රතිභා පූර්ණ යුග පුරුෂයන් මෙම
ලොවට දිය යුතු දායාදය.



එවැනි උතුම් මෙහෙයකින් පිරි දිවියක් ඔබ ගෙවන්නේ නම් එයින් මේ ඔබගේ රටට, මගේ
රටට වන දැවැත්න සේවයේ පිනෙන් මරණින් පසු ඔබ විශ්වාස කරන නිවනට හෝ මා
විශ්වාස කරන ස්වර්ග රාජ්‍යයට ඔබ වහන්සේ ඇතුල් වනු නිසැකය. එයයි නියම
ජයග්‍රහණය!


-ජෙම් සලීම් විසිනි

1 comments:

Yasith Gamage said...

මේ ලිපිය සමඟ එකඟ වෙමි...
ඔබ ආගම ගැන නිසි අධ්‍යයනයක් නොමැති නිසා අදහස් ප්‍රකාශ නොකරමි

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons