ශ‍්‍රී ලංකාවේ මුස්ලිම්වරු - කර්තෘ - ලෝනා දේවරාජ


අතීතය, වර්තමානය සහ අනාගතය යනු ඉතිහාසය යන නිමක් නොමැති දම්වැලේ එකට ඈඳුණු පුරුක් යයි ඊ. එච්. කාර් විසින් කරන ලද ප‍්‍රකාශය සනාථ කරමින් මහාචාර්ය ලෝනා දේවරාජ විසින් 1994 වසරේ දී ප‍්‍රකාශිත අප දිවයිනේ මුස්ලිම් ප‍්‍රජාව පිළිබඳ සවිස්තරාත්මක ඉංග‍්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය “ශ‍්‍රී ලංකාවේ මුස්ලිම්වරු” යනුවෙන් නොබෝ දා පාඨකයින් අතට පත් විය.
අතීතයේ කවුළුවෙන් වර්තමානයට එබී බලන මෙම ග‍්‍රන්ථය ශ‍්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් ගේ ඉතිහාසය පිළිබඳ හුදෙක් කාලානුක‍්‍රමික වෘත්තාන්තයක් නොව වසර දහසකට අධික කාලයක් සිංහල සහ මුස්ලිම් ජන කණ්ඩායම් අතර වර්ධනය වූ සුහද සම්බන්ධතාව උලුප්පා දක්වන අගනා විවරණයකි.
ඉතිහාසයේ අමුද්‍රව්‍ය මැනවින් හසුරුවන කතුවරිය ශිලා ලිපි, සන්නස්, බෞද්ධ විහාර වාර්තා, සාහිත්‍යය, වංශ කථා, පෘතුගීසි, ලන්දේසි සහ ඉංග‍්‍රීසි ජාතිකයින්ගේ ලේඛන වැනි මූලාශ‍්‍රයන්ගෙන් ලැබෙන තොරතුරුවලට අමතරව ක්‍ෂේත‍්‍ර අධ්‍යයනයෙන් ලබාගත් විස්තර ද මෙම මාහැඟි ග‍්‍රන්ථය රචනා කිරීම සඳහා භාවිත කොට ඇත.
ග‍්‍රන්ථයෙහි පරිච්ඡේදකරණය ලගන්නා සුලුය. “වෙළෙන්දෝ සහ වන්දනාකරුවෝ : වාර්ගික සුහදත්වයේ අඩිතාලම”, “කුරුසිය අඩ සඳ හමු වෙයි. රට තුළට පිවිසීම”, “උඩරට රාජධානියේ මුස්ලිම්වරු : ව්‍යූහාත්මක ස්වීකරණය” වැනි පරිච්ඡේද මාතෘකා ඊට කදිම නිදසුනකි.
ග‍්‍රන්ථය හැඳින්වීම සඳහා වෙන් කොට ඇති පළමුවන පරිච්ඡේදයෙන් පසුව ඇති “වෙළෙන්දෝ සහ වන්දනාකරුවෝ” යන පරිච්ඡේදය කි‍්‍ර.ව.900 සිට 1500 දක්වා ශතවර්ෂ හයක කාල පරිච්ඡේදයේ මුස්ලිම් ප‍්‍රජාවගේ කාර්ය සංසිද්ධිය විස්තර වෙයි.
මුස්ලිම් වෙළෙන්දන් ස්වකීය අනන්‍යතාව ද රැකගෙන පාලක නරපතියන් සමඟ සුහද සම්බන්ධතා පවත්වමින් වාණිජ කටයුතුවල නිරත වූ අයුරු හා ඇතැම් ප‍්‍රබුද්ධ මුස්ලිම්වරුන් රජුගේ දූතයින් ලෙස විදේශ රටවල් කරා ගිය අයුරුත් එහි මැනැවින් නිරූපණය වෙයි.
ශ‍්‍රීපාදස්ථානය “ආදම්ගේ කන්ද” යනුවෙන් මුලින් ම හඳුන්වන ලද්දේ නව වන ශතවර්ෂයේ මැද භාගයේ සංචාරක අරාබි වෙළෙන්දෙකු හා ගවේෂකයකු වූ සුලෙයිමාන් විසිනි.
ආදම් තමුන්ගේ ආදිතමයා යයි සලකනු ලබන මුස්ලිමුන් ඔහු පාරාදීසයෙන් එළවා දමනු ලැබීමෙන් අනතුරුව පෘථුවියේ පළමුවෙන් ම පය ගැසූ ස්ථානය ලෙස ශ‍්‍රීපාදස්ථානය සලකනු ලැබීය.
මැණික් සොයා ගිය වෙළෙන්දන් එතැන් පටන් වන්දනාකරුවන් වී ආධ්‍යාත්මික කටයුතුª පිළිබඳව නිරතුරුව ම ඉවසීමක් දැක්වූ සිංහලයින්ගේ හොඳ හිත දිනාගැනීමට සමත් වූ අයුරු ද මෙම පරිච්ඡේදයේ විස්තර වෙයි.
පූජනීය කඳු මුදුනේ බෑවුමෙහි ගුහාවක බෞද්ධ නරපතියකු වූ නිශ්ශංකමල්ල (1187-1196) ගේ ශිලා ලේඛනයක් ළඟින් එක පෙළට අරාබි ඉස්ලාමීය ශිලා ලේඛනයක් ද තිබීම සිංහල බෞද්ධයින්ගේ සහනශීලී බවත් එවකට පැවැති ආගමික එකමුතු භාවය සහ උද්‍යෝගයත් සනිටුහන් කරයි.
ග‍්‍රන්ථයෙහි දක්වා ඇති පරිදි මුස්ලිම්වරුන් අරාබි, සිංහල, ශ‍්‍රී ලාංකේය දෙමළ සහ දකුණු ඉන්දියානු වාර්ගික කණ්ඩායම් සමඟ ප‍්‍රමාණයක් මිශ‍්‍ර වී තිබේ.
එහෙත් අරාබි සම්භවය පිළිබඳ සදාදර මතකය සහ එහි වාර්ගික ව්‍යූහයේ පදනම, ඉස්ලාම් භක්තිය කෙරෙහි දැක්වූ අවධානය හේතුකොටගෙන මුස්ලිම් ප‍්‍රජාවගේ ස්වීයත්වය ආරක්ෂා විය.
”කුරුසිය සහ අඩ සඳ හමුව“ ලෙස නම් කොට ඇති පරිච්ඡේදයෙහි 1505 සිට 1796 දක්වා වූ කාලයේ පෘතුගීසීන් ගේ හා ලන්දේසීන් ගේ කාර්ය සංසිද්ධිය මඟින් මුස්ලිම් ප‍්‍රජාව කෙරෙහි වූ බලපෑම සාකච්ඡා වෙයි.
කතුවරිය පෙන්නුම් කර ඇති පරිදි මෙම අවධියේ දී පෘතුගීසීහු හා ලන්දේසීහු ස්වකීය වාණිජ ප‍්‍රතිමල්ලවයින් වූ ද මිථ්‍යාදෘෂ්ටිකයින් ලෙස සලකනු ලැබුවා වූ ද මුස්ලිම්වරුන් මර්දනයට දැඩි කි‍්‍රයා මාර්ග ගත්හ.
මෙහි සමුච්චිත ප‍්‍රතිඵලය වූයේ එතෙක් කල් මුහුදුබඩට සීමා වූ මුස්ලිම්වරුන් උඩරට රාජධානියේ අභ්‍යන්තරයට ප‍්‍රවිශ්ට වීමයි. මුස්ලිමුන්ට ඔවුන්ගේ දුර්භාග්‍ය සමයේ දී උඩරට ක්‍ෂේම භූමියක් වූයේ එහි රජවරුන්ගේ තිබූ සහනශීලී ප‍්‍රතිපත්තීන් නිසා ය.
ස්වකීය අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් ඔවුන් ස්වදේශීකරණයට හසුවූයේ එහිදී ය.
පෘතුගීසීන්ගේ මර්ධන හස්තයට අසුවූවද යටත් පිරිසෙයින් මුස්ලිම්වරුන්ගෙන් සුලු පිරිසක් හෝ ඔවුන්ගේ ධන සම්පත්, දියුණු නුවණ සහ නැව් පැදවීමේ අපූර්ව දක්ෂතාව මඟින් මෙන් ම දූෂිත පෘතුගීසි නිලධාරීන්ට අල්ලස් දීම මඟින් ද මුහුදුබඩ පළාත්වල අවිනිශ්චිත තත්ත්වයකින් හෝ සිටින්නට සමත් වූහ.
ලන්දේසීන් ද කෘෂිකාර්මික කටයුතු මඟින් සමාගමේ ලාභ වර්ධනය කර ගැනීමේ අපේක්ෂාව මත පහතරට දුප්පත් මුස්ලිම් ගොවි ජනතාව දැඩි මර්දනයකට ලක් නොකළ බව කෘතියෙහි සඳහන් වෙයි.
මේ හැර උඩරට පාලකයින් හා ලංදේසීන් අතර ඇති වූ සංග‍්‍රාමයන්හි දී මුස්ලිම් කුලී හේවායින් ලෙස දෙපක්ෂයට ම සේවය කළ අයුරුත් වෙළෙන්දන් වශයෙන් පෙනී සිටිමින් ප‍්‍රදේශ මායිම් හරහා යාමට ඔවුන්ට තිබූ දක්ෂතාව නිසා දෙපක්ෂයේ ම ඔත්තුකරුවන් හා පණිවිඩකරුවන් ලෙස කි‍්‍රයාකළ අයුරුත් මෙම ග‍්‍රන්ථයෙහි චිත්තාකර්ෂනීය ලෙස විස්තර කෙරෙයි.
කෙසේ වුවද 1500න් පසු රට අභ්‍යන්තරයේ බහුලව පදිංචි වීම නිසා උඩරට රාජධානියේ මුස්ලිම්වරු ව්‍යූහාත්මක ස්වීකරණයකට ලක්වූහ. මෙසේ උඩරට දේශපාලන හා සමාජ ව්‍යූහයට බද්ධ වීමේදී කරාව කුලයත් සමඟ සමීප වී රජුගේ ‘මඩිගෙ බද්ධ’ හෙවත් ගැල් ගවයින් ගේ දෙපාර්තමේන්තුවට අනුයුක්ත වූහ.
දළදා මාලිගාවට මෙන් ම අනෙකුත් බොහෝ සිද්ධස්ථානවල ධාන්‍ය රැගෙන යාම වැනි ප‍්‍රවාහන කටයුතු කළහ. එම සිද්ධස්ථානවල පවත්වනු ලැබූ අවුරුදු මංගල්‍යය, අලුත් සහල් මංගල්‍යය, ඇසළ පෙරහැර, කාර්ති මංගල්‍යය යන සතර මංගල්‍යයන්හි දී ලුණු වැනි විවිධ ද්‍රව්‍ය හා උපකරණ සැපයූහ.
බෙර ගැසීම, රන් රිදී භාණ්ඩ පිරිසිදු කිරීම වැනි සේවා කාර්යයන් ඉටු කළහ. ඔවුහු ඉස්ලාම් ධර්මයට හානියක් නොවන අයුරින් බෞද්ධ විහාරයන්හි පැවති ව්‍යූහයට නම්‍යශීලී ලෙස හුරුවූහ.
බෞද්ධ විහාරාරාමයන් ද මුස්ලිම් ප‍්‍රජාව කෙරෙහි විවිධාකාරයෙන් උපකාර කරන ලද අවස්ථා එමට ය. එබඳු ප‍්‍රතිචාරයන්හි පුදුම එලවන සුලු අති විශේෂ අවස්ථාවන්ගෙන් එකක් ලෙස සඳහන් කොට ඇත්තේ රිදී විහාරයේ භික්ෂූන් වහන්සේලා මුස්ලිම් පල්ලියක් ඉදිකිරීම සඳහා විහාර ගමේ කොටසක් පවරා දී මුස්ලිම් පූජකවරයකු ගේ නඩත්තුව සඳහා ද ඉඩම් කොටසක් වෙන් කර දී තිබීම ය.
භාරතයෙහි බහුල ලෙස පැතිරී තිබුණු උග‍්‍ර හින්දු – මුස්ලිම් ගැටුම් සහ ආගමික යුද්ධ දෙස බලන කල ශ‍්‍රී ලංකාවේ ඉස්ලාම් භක්තිකයින් හින්දු දේවාලවල කි‍්‍රයාකාරිත්වයට සාමකාමීව එක්වූ අවස්ථා ද විශ්මයජනක ලෙස දක්නට ලැබේ. මෙපරිදි මුස්ලිම් ප‍්‍රජාව ආගන්තුක සංස්කෘතියේ අවශ්‍යතාවලට පහසුවෙන් හුරු වුවද ඊට මුලුමනින් ම අනුගත නොවී ස්වීයත්වය ද මැනැවින් රැකගත්හ.
මෙම තත්ත්වය 1815 වසරේ දී බි‍්‍රතාන්‍යයින් කන්ද උඩරට අල්ලා ගත්පසු වෙනස් විය. එයින් පසු මුස්ලිම්වරු ජයග‍්‍රාහී බි‍්‍රතාන්‍යයන්ගේ පක්ෂය ගැනීමට නැඹුරු වූ හ. මෙහිදී ඔවුන්ට වෙන විකල්පයක් නො වූ බව කතුවරිය සඳහන් කරයි.
එතෙක් කල් සාමකාමීව එකට වාසය කළ සිංහල, මුස්ලිම් සහ දෙමළ ජන කණ්ඩායම් බි‍්‍රතාන්‍ය පාලකයින්ගෙ උපක‍්‍රමශීලී හා ඉතා සියුම් ලෙස බෙදා පාලනය කිරීමේ කි‍්‍රයාවලිය නිසා තරමක් දුරකට භේද භින්න විය.
අවසාන වශයෙන් කිව යුත්තේ මෙම මාහැඟි ග‍්‍රන්ථය සිංහල පාඨකයින්ට පිරිනැමීමෙන් මහාචාර්ය ලෝනා දේවරාජ උදාර සේවයක් ඉටු කර ඇති බවයි. සමස්ත වශයෙන් ග‍්‍රන්ථය පුරා රැව් පිළිරැව් දෙන්නේ බියුගල් නලා හඬ හෝ යුද්ධ බෙරයේ හඬ හෝ කඩු ගැටෙන හඬ හෝ නොව ඝණ්ඨා නාදය ගිරි ශිඛර සිසාරා හඬ දෙද්දී විවිධ ආගම් ඇදහූ, විවිධ උප සංස්කෘතීන්වලට අයත් වූ, විවිධ වාර්ගික කණ්ඩායම්වලින් සමන්විත වූ ශ‍්‍රී ලාංකේය ජනතාව සාමකාමී සහජීවනයෙන් වසර දහස් ගණනක් එකට ජීවත් වූ ආකාරය යි. ඝණ්ඨා නාදයේ ශ්‍රේෂ්ඨත්වය ද එයම ය.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons