ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය 900 – 1915 – හැඳින්වීම – 1 කොටස


ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු – සහශ්‍රයක ජනවාර්ගික සහජීවනය 900 – 1915  යන මැයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිලිබඳ සම මහාචාර්ය ලෝනා දේවරාජ (M. A (Sri Lanka). Ph. D. (London) Rhodes Fellow-St. Annes’ Collage – Oxford Fulbright Scholar – In Residence – University of St. Thames, Minnesota) තුමිය විසින් රචිත ග්‍රන්ථයේ කොටස් වශයෙන් පලවන ලිපියේ පළමු කොටස මෙමගින් ඉදිරිපත් කෙරේ.

1. හැඳින්වීම
” සියලු යුගයන් හා සසඳන කල ඉතිහාසය ගැන දැඩි සැලකිල්ලක් යුමුවී ඇති යුගය වර්තමානයයි. නූතන මිනිසා පෙර කිසි දා නොදුටු ප්‍රමාණයක ස්වයං සවිඥාන හැගීමකින් වෙලී සිටින අතර ඒ නිසාම ඉතිහාසය පිළිබඳව දැනුමක් ඇතිව සිටි. තමා පිය නගමින් සිටින අඳුරු දිසාව කදොපැණියකු තරම් වත ආලෝක ධාරාවකින් එලිය කෙරෙනු ඇති යන අපේක්ෂාවෙන් ඔහු තමා පසු කර ආ අරුණෝදය දෙස ආපසු හැරී බලයි. අනික අතට ඉදිරියෙන් ඇති මාර්ගය පිළිබඳ ව ඔහු තුල පවත්නා අපේක්ෂාවෙන් සහ සක මුසු උනන්දුව, යටගිය කරුණු පිලිබඳ ඔහුගේ විනිවිඳ දක්නා නුවන දියුණු කරවයි. අතීතය වර්තමානය සහ අනාගතය යනු ඉතිහාසය නම වූ නිම් නොමැති දම්වැලේ එකට ඇඳුනු පුරුක් ය. “  ( ඊ එච් කාර් 1)
ඉතිහාසය යනු මිනිස් වර්ගයා ගේ අපරාධ, මෝඩකම් හා දුර්භාග්‍යය පිලිබඳ වාර්තාවකට වඩා වැඩි යමක නොවේ යයි කියමනක් ඇති අතර සාම්ප්‍රදායික වශයෙන් යුද්ධ සහ කැරලි ඉතිහාසඥයන් ගේ සිත අන්ද ගැනීමට සමත් වී ඇති නමුත් මනුෂ්‍ය සමූහයන් අතර දීර්ඝ කාලයක් මුළුල්ලේ පවතී සාමකාමී සහජීවනය අමතක කිරීම පුරුද්දක් වී තිබේ. ඒ බැවින් සාම උපක්‍රමවලට වඩා බෙහෙවින් යුද්දෝපක්‍රම පිලිබඳ ව ඉතිහාසයේ විස්තර වේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ සිංහල ස්වදේශිකයන් සහ මුලින් විදේශිකයන් වූ මුස්ලිම් ජාතිකයන් අතර වර්ධනය වී ඇති සුහඳ සම්භාන්දතාව පිලිබඳ ව මෙන්ම මේ ජාතින් දෙකොටස අවුරුදු දහසකටත් වැඩි කාලාන්තරයක් මුළුල්ලේ සාමකාමිව එකට ජීවත් වූ අයුරු පිළිබඳවත් දන්නා අය විරල වෙත්. ඇතැම් විට එය සාමකාමී සම්භන්ධතාවක් වූ බැවින් දෝ ඉතිහාසඥයන් හට නොපෙනුනා විය හැකිය.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයින් දීවයිනේ සිටින දෙමල ජාතිකයන්ට පසුව දෙවන විශාල සුළු ජාතිය වන අතර දිවයිනේ මුළු ජනගහනයෙන් සියයට හතක් වන ඔවුහු සංඛ්‍යා වශයෙන් දශ ලක්ෂය ඉක්මවන්නාහ. 1981 ජන ලේඛන වාර්තාවෙන් දක්වා ඇති පහත සඳහන් සංක්‍යා ලේඛන වලින් ප්‍රත්‍යක්ෂ වන පරිදි මුස්ලිම් වරුන් දිවයිනේ දිස්ත්‍රික්ක විසිහතරේම විසිරි ජීවත් වන නමුත් ඒ එකද දිස්ත්‍රික්කයක හෝ ඔවුහු බහුතරය නොවෙත්. නැගෙනහිර පලාතට අයත් මඩකලපුව, අම්පාර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක තුනේ මුස්ලිම් වරු බහුල ලෙස ඒකරාශී වී සිටිත්.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරු මෑතක්‌ වන තුරුම බහුතර ජන කොටස සමඟ පූර්ණ දේශපාලන සමෝධානයකට පිවිස සිටියහ. තම අපේක්ෂකයන් පාර්ලිමේන්තු ආසනවලට පත කිරීම පිණිස භාෂා හෝ ආගමික කරුණු මත පදනම වූ මුස්ලිම් දේශපාලන පක්ෂයන් ඔවුන්ට නොතිබිණි. එසේ වුවත් දිවයිනේ ප්‍රධාන පක්ෂ සියල්ලේම මුස්ලිම් වරුන් නියෝජනය වෙනවා පමණක් නොව ඔවුහු ඒ මගින් සුප්‍රසිද්ධියට ද පත්ව සිටිත්. ජනගහනයෙන් අතිවිශාල බහුතරය සිංහලයන් වන මැතිවරණ කොට්ඨාශවලින් විරුද්ධවාදී අපේක්ෂකයා සිංහලයකු වූ අවස්ථාවලදී පවා මුස්ලිම් ජාතිකයන් තෝරා පත කරගෙන තිබේ.
මුස්ලිම් ජනගහනය සියයට දහහතක් පමණ වන මැතිවරණ කොට්ඨාශයකින් පිට පිට ම පවත්වන ලද මැතිවරණ හයක දී ම ශ්‍රී ලංකාවේ විදේශ ඇමති ගරු ඒ සි එස් හමීඩ් මහතා පාර්ලිමේන්තුවට තෝරා පත් කර එවීම මීට කදිම නිදසුනකි. පාර්ලිමේන්තු කතානායක ගරු එම් එච් මොහමඩ් මහතා සහ කම්කරු හැ වෘත්තීය පුහුණු ඇමති ගරු එම් එල එම් අබුසාලි මහතා මුළුමනින් ම සිංහල බහුතරයක් ඇති ජන්ද කොට්ඨාශවලින් පාර්ලිමේන්තුවට තෝරා පත් කොට යවන ලද තවත් මුස්ලිම් නියෝජිතයෝ දෙදෙනෙක් වෙත්.
මුස්ලිම් දේශපාලන අනන්‍යතාවයක් වෙන ම ඇති කරගැනීම සඳහා වරින් වර දරන ලද ප්‍රයත්න නිසා යට කී තත්වය මෑතක දී වෙනස් විය. උගත් නව මුස්ලිම් පරම්පරාවක අපේක්ෂාවලින් සහ අන්තර්ජාතික මතවලින් ඇති වූ බලපෑම එයට හේතු විය. මුස්ලිම් විඥානය තියුණු කල තවත් සාධකයක් වුයේ පසුගිය දශකය මුළුල්ලේ දිවයින ගොදුරු වී තිබුණු සිංහල දෙමල ගැටුමයි. බොහෝ අවස්ථාවලදී මොන යම හෝ කරුණක් හේතුවෙන් මුස්ලිම්වරු විශේෂයෙන් නැගෙනහිර මුස්ලිවරු පහරදීම්වලට ඉලක්ක වූහ. ජනගහනයෙන් තුනෙන් කොටසක් මුස්ලිවරුන් වූ නැගෙනහිර පළාත ජනවාර්ගික ගැටලුව සාකච්චා මාර්ගයෙන් විසදාගැනීමකට බෙහෙවින් වැදගත් වූ බැවින් සිංහල – දෙමල ගැටුම නිරාකරණයේදී මුස්ලිම් වරුන් ගේ අයිතිවාසිකම අමතක කරනු ඇති ඇතැම් මුස්ලිම් කණ්ඩායම් අතර බියක් පහල විය. එහි ප්‍රතිපලයක් වශයෙන් ශි ලංකා මුස්ලිම් කොන්ග්‍රසය පිහිටුවාගන්නා ලදී. එම පක්ෂයේ මග පෙන්වීම සහ බලපෑම් අනාගතයේදී මුස්ලිම්වරුන් කෙරෙහි කෙසේ බලපානු ඇත් දැයි දැන්ම කිව නොහැකිය. ගතවූ අවුරුදු කිහිපය තුල මතු වූ මුස්ලිම් ජනවාර්ගික – ආගමික අනන්‍යතාව පිලිබඳ මතවාද පිළිබිඹු කෙරෙමින් නව දේශපාලන පක්ෂයක් බිහිවීම වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටීමට මුස්ලිවරුන් දරන ප්‍රයත්නයක් හැටියට කිසිසේත්ම සැලකිය නොහැකිය.
1987 ජූලි මස 29 වන දින ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන් දෙදෙනා විසින් ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කරනු ලැබිණි. ශ්‍රී ලංකා රජය සහ වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින දෙමල කණ්ඩායම් අතර පවත්නා ජනවාර්ගික යුද්ධය අවසාන වී අවිනිශ්චිත සාමයක් ඉන් උදා වනු ඇති අපේක්ෂා කරන ලදී. දිවයිනේ උතුරැ හා නැගෙනහිර පළාත් තෝරා පත් කරගන්න ලද තනි පළාත් සභාවක් සහිත තනි පරිපාලන ඒකකයක් විය යුතු යයි ගිවිසගන්න ලදී. නැගෙනහිර පළාත, උතුරු පළාත හා ඒකාබද්ධ වී තනි ඒකකයක් වසයෙන් පැවතිය යුතු ද නැති එනම සවකීය පළාත් සභාවක් සහිත වෙනම පරිපාලන ඒකකයක් විය යුතුද යන්න නැගෙනහිර පළාතේ වැසියන්ට තීරණය කිරීමට ඉඩ ලැබෙන පරිදි 1988 අවසනට පෙර ජනමත විචාරණයක් පැවැත්විය යුතු ය යනුවෙන් ද ගිවිසගනු ලැබිය. එහි ප්‍රතිපලයක් වශයෙන් මුස්ලිම් ප්‍රජාව වෙත අවධානය යොමු වී ඇත. නැගෙනහිර පළාතේ ජනවාර්ගික අනුපාතය දල වශයෙන් මෙසේය. දෙමල 42%, මුස්ලිම් 32%, සිංහල 26%. ජනමත විචාරණයක් පැවැත්වුවහොත් දිවයිනේ උතුරු කෙලවරේ සිට ඈත දකුණ දක්වා විහිදීයන දෙමල භාෂාව කතා කරන එකට ඇඳුනු තනි කලාපයක් පිහිටුවීම පිණිස දෙමල ජනතාව සියල්ලන්ම පාහේ නැති නම් බහුතරයක් හෝ උදුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට ජන්දය දෙනු ඇති විශ්වාස කරන ලදී. දිවයින තුල භාෂාව පදනම කරගත් වෙනම ප්‍රදේශයන් ඇති කිරීම රටේ භෞමික අඛණ්ඩතාවය තර්ජනයක් විය හැකි යයි විශ්වාස කරන සිංහල ජනතාව ඒ අදහසට තරයේම විරුද්ධ වෙත්. ජනමත විචාරණයක් පැවැත්වුවහොත්, ඒකාබද්ධ කල පළාත් එසේම පැවතිය යුතුද නැතිනම් විසුරුවා හරිය යුතුද යන තීරණාත්මක ප්‍රශ්නය තීරණය කරනු ඇත්තේ නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව විසින් බෑවු සක්සුදක් සේ පැහැදිලිය. මුස්ලිම් වරුන් ද දෙමල භාෂාව කතා කරන්නවුන් බැවින් උතුරු හා නැගෙනහිර පළාත් සඳහා වෙනම භාෂාමය කලාපයක් ඇති කල යුතු ය යන ඉල්ලීම වඩා ප්‍රබල වේ. මුස්ලිම් ජාතිකයන් වැදගත් ප්‍රශ්නවලදී තමන් සමග එකට සිටිය යුතු, භාෂාමය වසයෙන් සහෝදර ජනතාවක් හැටියට දෙමල ජනතාව සලකති. එසේ වුවද, අවුරුදු දහසකට අධික කාලයක් මුළුල්ලේ භාෂාව නොව තම ආගම පදනම කරගත් ස්වයත්තතාවයක් හුවා පාමින් සිය අනන්‍යතාව පිලිබඳ අර්බුදයකට මුහුණ පා සිටිත්. එය අද ඊයේ අතු වුවක් නොවේ. එහි මූලාරම්භය අවුරුදු සියයකට ඉහත කාලයක් තෙක්, ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් විසින් ඔවුන් ඉස්ලාම් දහම වැළඳගත් දෙමල ජනතාවක් වසහයෙන් වර්ග කරනු ලැබූ දා තෙක් ඈතට විහිදී යයි. ඉස්ලාම්කරණය කිරීමේ ක්‍රියාවලියක් ඉන්පසුව ආරම්භ වූ අතර එය ගෝලීය ප්‍රවණතා හේතු කොටගෙන මෙන්ම ඊටත් වැඩියෙන වර්තමානයෙහි පවත්නා දේශීය තත්වයේ ව්‍යාකූලත්වය සහ අවිනිශ්චිත ස්වභාවය හේතු කොටගෙන මෑත වර්ෂවල දී වඩාත් උත්සන්න වී පවතී.
කෙසේ වෙතත් මෙහි කර්තෘගේ අරමුණ වනුයේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් සුළුතරයේ සමකාලින දේශපාලන කටයුතු සාකච්චා කිරීම නොවේ. එමෙන්ම මැලේ  මෙමොන් බෝරා සහ ඇෆ්ගන් වැනි මුස්ලිම් ජනගහනයට අයත් වෙනත් කොටස් පිලිබඳ ව මෙහි සාකච්ජා නොකැරෙන බැවින් මේ ග්‍රන්ථය ශ්‍රී ලංකික මුසලිම් ප්‍රජාව පිලිබඳ විස්තරාත්මක ඉතිහාසයක්ද නොවන්නේය. වර්ගය, ආගම හා සංස්කෘතිය අනුව මුලින් විදේශිකයන් මෙන්ම සංචාරක වෙළෙඳුන් වූ කණ්ඩායමක් ශ්‍රී ලාංකික සමාජයේ අත්‍යවශ්‍ය මෙන්ම ඒ හා ඊකාබද්ධ කොටසක් බවට පත්වීමට හේතු සාධක වූ ඓතිහාසික පසුබිම සමාජීය ක්‍රියාදාමය සහ දේශපාලන හා ආර්ථික බලපෑම් විමසා බැලීමේ අදහසින් විෂයානුබද්ධ හා මද්යස්ත විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීම මේහි අභිප්‍රාය වේ. මේ හිතකර සම්භාන්ධතාව වර්ධනය වී ඇත්තේ ශ්‍රී ලංකාව ප්‍රථම වරට ඉස්ලාමිය ලෝකය සමඟ සම්භන්ධකම් ඇති කර ගත් බැවු වාර්තා කැරෙන දල වශයෙන් අට වන සහ නව වන ශත වර්ෂවල සිට බ්‍රිතාන්‍ය පාලනය මුල් අවදිය දක්වා විහිදුනු අවුරුදු දාහකටත් අධික කාලයක් මුළුල්ලේ ය. මේ සහසම්භන්දය කෙතරම් සම්පූර්ණ වුයේද යත්, 1799 සිට 1804 තෙක් අවුරුදු පහක කාලයක් මේ රට නැවතී තමා අසු දුටු දෙ පිලිබඳව සටහනක් තබාගත් ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයේ උපාධිධරයකු මෙන්ම තීක්ෂණ බුද්ධිමත් නිරීක්ෂකයකු වූ ජේම්ස් කොඩිනර් පූජකතුමා මුස්ලිම් වරුන් පිලිබදව සටහන් කර ඇත්තේ ” මුහම්මද්ගේ ආගම අදහන සිංහලයන් මිශ්‍ර වර්ගයක් බැව් පෙනේ. ඔවුන් ගේ මුතුන්මිත්තන් ගේ ප්‍රධානයා ඉන්දියානු අර්ධද්වීපයෙන් සංක්‍රමණය වූවෙකි. ඔවුහු ක්‍රිස්තු ලබ්ධිකයනටද බෞද්ධයනටද වඩා ක්‍රියාශීලී කඩිසර මනුෂ්‍ය සමූහයකි. යනුවෙනි.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons