ගවයන් ඝාතනය නොවෙනවා නම් ඇතිවිය හැකි ප්‍රතිවිපාකයන් කුමක්ද?

සත්ව ඝාතන තහනම් නීතිය යටතේ ඝවයන් ඝාතනය කිරීම වහා තහනම් කළයුතු බවත් එය විකිනීම තහනම් කළයුතු බවත් යන්න විශාල ඝෝෂාවන් නැවත නැවතත් අප රටේ ඇතිවෙමින් පවතින බව අමුතුවෙන් කිවයුතු නැත. මෙම ප්‍රශ්නය අළුයට ගිනිපුපුර මෙන් අප සමාජය තුල එදිනෙදා විවිධ මට්ටමින් කථාබහට ලක්වෙන මාතෘකාවක් බවට පත්ව හමාරය. ආගමික වශයෙන් පමණක් නොව දේශපාලන වශයෙන්ද ආන්දෝලනාත්මක විෂයක් බවට මෙම ගව ඝාතනය විටින් විට ජලයේ එබූ රබර් බෝලයක් සේ සැමවිට ඉපිලෙමින් මතුවෙන ප්‍රශ්නයක් බවටද අප සැම පිළිගෙන හමාරය.

මෙම ප්‍රශ්නයට ප්‍රධාන හේතුවක් ලෙස අපට දැක්විය හැක්කේ ආගමික වශයෙන් ගව මාංශ කෑම ඉස්ලාම් දහමට අනුව අනුමත කරන ලද ආහාරයවන අතර බුද්ධාගම සහ හින්දු ආගමට අනුව මෙය තහනම් ආහාරයක් බවට කියවෙන බැවිනි. ඒ නිසාම විවිධ ආගමික කොටස් අතර වාද විවාදවලටද මෙය තුඩුදී තිබෙන හෙයින් ජාතීන් අතර පවතින සමගියටද බාධා එල්ල කළහැකි තත්වයටද අද අප රටේ පසුබිමක් සකස්වෙමින් පවතින බව නොකියාම බැරිය. මෙම මාතෟකාව ආගමික ඝට්ටනයකට ඇද නොදමා සාකච්ඡා මාර්ගවලින්ම විසඳුම් සොයාගැනීමට වගකිව යුත්තන් කටයුතු කරන්නේ නම් රටේ සාමය සහ සහජීවනය ප්‍රාර්ථනා කරන සමගිය අගයන සියළු අපගේ බලාපොරොත්තුවන් ඉටුවන බව කිව යුතුයි. පොදුවේ ගත්කල ඝව ඝාතනයට පමණක් හඬ නගන ඝෝෂා කරන ඇතැම් පිරිස් ‍රටේ පවතින අනෙකුත් බරපතල ආගම් විරෝධී සමාජ විරෝධී ක්‍රියාවන්වලට විරුද්ධව හඬක් නොනගන්නේ මන්දැයි යන්න අපට නම් ප්‍රහේලිකාවකි.

මේ වනවිට මෙම ඝව ඝාතනයට විරුද්ධතාවය දැක්වීම සඳහා යැයි කියමින් චීවරධාරියෙකු විසින් තම සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකරගෙන ඇත. අපි නම් මෙය දකින්නේ ආදරයට පැටළුනු තරුණ යුවලගේ පෙමට සිය දෙමව්පියන් විරුද්ධවූ නිසා සිත් තැවුලක් ඇතිකරගෙන සියදිවි නසාගැනීමට තරුණයෙකු හෝ තරුණියකු විසින් ගන්නා මෝඩ තීරණයකට සමාන තීරණයක් මේ අහිංසක හෝ මෝඩ චීවරධාරියා විසින් ගන්නා ලද බවයි. ඉස්ලාම් දහම පිළිකුල් කර තහනම් කර තිබෙන මිනිසුන්ගේ සොඛ්‍යටද හානිකරන සූකර මස් අප රටේ විවිධ ජනකොටස් පරිභෝජනය කිරීමට විරුද්ධව මුස්ලිම් පූජකවරයෙකු හෝ ලබ්ධිකයෙකු තම ජීවිතය හානි කරගන්නවා නම් ඔහු අමුම අමු මෝඩයෙකුවිය හැකිය. තමන් අකැමැති ආහාරයක් අනෙකෙකු විසින් පරිභෝජනය කරනවා නම් එයට විරුද්ධව සියදිවි නසාගත යුතු බවට බුද්ධාගම දේශනා කර තිබෙනවාදැයි අපි නම් නොදනිමු.

බෞද්ධ රටක් යැයි කියනු ලබන ශ්‍රී ලංකාවේදී සියළුම දහම් විසින් අනුමත නොකරනවා පමණක් නොව පවුල් සංස්ථා කිහිපයක්ම බිඳ වැටීමට පවා ප්‍රධාන හේතූන් ලෙස සැලකිය හැකි මත්පැන් සහ සූදුව නීතියේ අනුග්‍රයෙන් අද රටේ බහුලව සිදුවෙමින් පවතිනවිට මානව ප්‍රේමීන් ලෙස එයට විරුද්ධව හඬක් අවදි කිරීම වෙනුවට මධ්‍යම සහ දුප්පත් අයගේ එකම එක සුඛෝපබෝගී ආහාරයවන මෙම මස් මාංශ ආහාරයට ‍එරෙහිව පමණක් කඩු අමෝරාගෙන යුද්ධ ප්‍රකාශ කිරීමට මෙම සත්ව ප්‍රේමී මහත්වරු සහ චීවරධාරීන් පෙලඹෙන්නේ ඇයිදැයි අපට නම් තේරුම් ගැනීමට අපහසු කාරණයකි. මෙය හුදෙක් එක ජාතියකට හෝ දහමකට එරෙහිව කුහකකමෙන් පහර ගැසීමට සුළු පිරිසක් විසින් කරන කූට ව්‍යායාමයක් හැර මෙහි ඇති ප්‍රයෝගික වෙනයම් අභ්‍යන්තර සැබෑ කරුණු කිසිවක් අඩංගුවී නොමැති බව අපගේ විශ්වාසයයි.

බුද්ධාගමට අනුව පළමුවෙන්ම අපි තෝරාබේරා ගතයුතු ප්‍රශ්නය නම් බුදු රජාණන් දේශනා කලේ ගව ඝාතනය කිරීමට විරුද්ධව පමණක් ද? එසේත් නැතිනම් සකල සත්ව ඝාතනයන්වලටම විරුද්ධවද ? එසේ මෙම ප්‍රශ්නයට පලමුවෙන් පිළිතුරු සොයාගැනීමට හැකිවේ නම් මෙම මස් මාංශ අනුභව කිරීම අරඹයා විසඳුමක් සොයාගැනීම එතරම් අසීරුවන්නේ නැත. බුදු රජාණන් කිසිවිටෙකත් ගව ඝාතනය ගැන කථා නොකල අතර එතුමන් වදාරා ඇත්තේ පොදුවේ ප්‍රාණයන් ඝාතනය නොකළයුතු යන්න බව නමුත් මේ ලෝකයේ කිසිදු ප්‍රාණයක් ඝාතනය නොකොට ආහාරයක් සකසා ගැනීම කිසිවිටෙකත් සිදුකළ හැකි කාරියක් නම් නොවේ.

බුදු රජාණන් විසින් උන්වහ්සේගේ කාලයේ ජීවත්වූ ජනයාගේ පැවැත්ම අනුව තම දේශනයන් සිදුකරන්නට ඇත. කැලෑවදිමින් දඩයම් කර තම බඩවියත රැකගත් යුගයක විසූ බුදු රජාණන් එම දඩයක්කරුවන් එම දඩයමින් මිදීම සඳහා කළ දේශනයක්ද විය හැක. දහමක් හෝ චින්තනයක් යනු ලොව සියළු ජනතාවම කිසිදු බේදයකින් තොරව සමානව අනුගමනය කළ හැකි සාධාරණ ධර්මයක්විය යුතුය. එය කාලයෙන් කාලයට දේශයෙන් දේශයට වෙනස්විය නොයුත්තකි.  ඉස්ලාමයට අනුව මුස්ලිම්වරයෙකුට තම ජීවිත කාලය පුරාම මස් මාංශ අනුභව නොකර ශාකභක්ෂයෙකු ලෙස පමණක් ජීවත්වීමට අවශ්‍ය නම් ඔහුට එසේ කළහැකියි. එයට කිසිදු වාරණයක් හෝ තහනමක් ඉස්ලාමය පණවා නොමැත. ඒ නිසාම ඔහු මස් මාංශ බුදින අනෙක් අයට එසේ නොකරන ලෙස ඉල්ලීමට කිසිදු අයිතියක් නොමැති බව කිව යුතුයි. එමෙන්ම දරුණු සීත හිමේ ජීවත්වන එස්කිමෝවරුන් වෙත ගොස් බුද්ධාගමේ සත්ව ඝාතන පිළිබඳව දේශනා කළ නොහැකිය.  මන්ද ඔවුන්ගේ ආහාරය සඳහා විකල්ප ආහාරයන් බුද්ධාගම විසින් ඔවුන්ට සපයා නොදී ඇති බැවිනි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේදී මෙසේ විවේචනයට තුඩුදී ඇති ගව මස් ආහාරයට ගන්නා මුස්ලිම්වරුන් සහ අනෙකුත් මස්බුදින්නන් විසින් සම්පූර්ණයෙන්ම මස් ආහාරය නතර කරනු ලැබුවා යැයි මෙහොතකට අපි උපකල්පනය කරන්නේ නම් රටට ඇතිවිය හැකි භයානක ප්‍රතිවිපාකයන් සහ උවදුරන් පිළබඳව මෙනෙහි කිරීම අප කාගේත් සෞඛ්‍යයට හොඳ බව මතක් කිරීමට කැමැත්තෙමි.

නිරෝගී කිරි ගවයෙකු සාමාන්‍යයෙන් අවුරුදු 25 – 30 දක්වා ජීවත්වන බව කියවෙන අතර මෙසේ ජීවත්වන එලදෙන වයස අවුරුදු තුනකින් පැටවුන් දැමීමට පටන්ගන්නේය. එක ගවයෙකු පුරා අවුරුදු 25ක් තුල අඩුම වශයෙන් පැටවුන් 22ක් බිහි කිරීමට සමත්වන බව කියනු ලබන්නේය. එසේ බිහිකරන ලද පැටවුන්ගෙන් ජීව විද්‍යා න්‍යායට අනුව හරි අඩක් පිරිමි ගවයන් යැයි අනුමාන කරනවා නම් ඉතිරි එලදෙනුන් අවුරුදු තුනෙන්ම පැටවුන් දමන්නට පටන්ගත්තා නම් තම ජීවිත කාලය පුරාම (එනම් 25 අවසානයවනවිට) පැටවුන් 122 ක දරු පරම්පරාවකට හිමිකම් කියන තැනත්තියක් බවට මෙම මුල්ම එලදෙන හෝ කිරි ගවයා පත්වෙනවා.  

මෙසේ අවුරුදු තුනෙන් තුනට උපදින එලදෙනුන් සහ පිරිමි ගවයින් 122ක දරුමල්ලන් මේ
ගණනය අනුව රටේ ජනගහනයට සාපේක්ෂව අඩුම ගණ‍නින් නිවාස ලක්ෂ දහයක් මෙම ගවයින් ඇතිකරනවා යැයි අනුමාන කර බැලුවා නම් දොලොස් කෝටි 20 ලක්ෂයක දැවැන්ත හරක් පට්ටියක් බිහිවීම වැලක්විය නොහැකියි. මෙය සෑම අවුරුද්දකම ප්‍රගුණවී දෙගුණ තෙගුණවී පාර තොටේ වාහන ගමනාගමනය කෙසේ වෙතත් සාමාන්‍යයෙන් මිනිසුන්ටම පාරේ ගමන් කිරීමට මහා උවදුරක් වනවා නොඅනුමානයි. මෙම උවදුරට යම් විසඳුමක් මෙහි ඝවයන් ඝාතනය කළ යුතු නැහැ පිටරටෙන් හෝ මස් ආනයනය කර මස් කන්නන්ට ලබාදෙන්න යැයි යෝජනා කරමින් බහුබූත දොඩවන අය හෝ බුදු දහම විසින් ලබාදී ඇතිනම් එය දැනගැනීමට අපිද කැමැත්තෙන් සිටින්නෙමු. එක ගවයෙකු දිනපතා පස් වතාවකට පානීය ජලය පානය කරන්නේය. එක් වතාවකට ඇය ලීටර් පහක් පමණ එසේ පානය කරන බවද කියැවේ. මේ ගණනය අනුව ඉහත ගව ප්‍රමාණය ජලය පානය කරන්නේ නම් අප රටේ පරාක්‍රම සමුද්‍රය මෙන් කොපමණ සමුද්‍රයන් ගව පට්ටියට පමණක් දවසකට අවශ්‍යවේදැයි ගණන් බලන්නට ඔබට අමුතු කැල්කුලේටරයක් අවශ්‍ය නැත.

මේ ආකාරයටම ගවයන්ගෙන් රට පිරී පවතී නම් ජලය බෙදාහැරීම ඔවුන්ට සීමාවුවා නම් අප රටේ සියළු වැව් ගංගා අමුණු ජල හිඟය පටන්ගෙන ඒවා හි‍ඳිනවා පමණක් නොව පොලොව වියලිවී යෑම වලක්වා ගැනීමට අපට ක්‍රමවෙදයන් තිබේද? එපමණක්ම නොව මේසා දැවැන්ත රටේ ගව පට්ටියක් දිනපතා තම ආහාරයන් සඳහා තනකොල ඇතුළු සියළු කොල වර්ග බුදින්නට පටන්ගත්තා නම් දැනට එලවළු පමණක් කමු යැයි යෝජනා කරන මෝඩ හාදයින්ගේ දිනපතා එලවළු ආහාරය සොයාගන්නේ කොහෙන්ද කොහොමදැයි මදක් සිතා බැලුවා නම් එහි බරපතලකම කෙසේදැයි මෙනෙහි කරන්නට පුළුවන් නොවේද? ලස්සන කොල පාටින් බැබලෙන සරුසාර අප මව්බිමේ මෙම සත්වයින් ඝාතනය නොවූවා නම් මහ පොලොව මෙම සතුන් විසින් ආක්‍රමණය කොට සියළු කොල පලා වර්ග බුදීමෙන් මහ පොලොවේ නියඟය පමණක් ඉතිරිවීමෙන් පොලොවට සිදුවීමට යන හානිය පිළිබඳව “පශු සම්පත් ප්‍රේමීන්” කල්පනා කර බලනවාදැයි අපි නම් නොදනිමු.  

එපමණක් නොව මෙසේ ගවයන් ඝාතනය නොවේ නම් සිදුවීමට යන මහා ඛේදවාචකය නම් මෙම අති දැවැන්ත ගව් පට්ටිය දෛනිකව පිටත් කරන සත්ත්ව කසල නොහොත් ගොම දිනපතා එකතු කිරීම සහ අපවිත්‍රවූ රටතොට පවිත්‍ර කිරීම ආදී කාර්ය කරන්නේ මෙම සත්ත්ව ප්‍රේමීන්දැයි අපට අහන්නට සිදුව තිබේ. තත්වය එසේනම් දැනට පවතින මහනගර සභා නගර සභා හෝ ප්‍රාදේශීය සභාවලින් මෙම සත්ත්ව කසල පාලනය කිරීමට නොහැකිව අනාගතයේදී වෙනම “ගොම අමාත්‍යාංශයක්”  පිහිටුවීමට සහ ජේෂ්ඨ ඇමැතිවරයෙකුද පත්කිරීමට රජයට සිදුවේ. රටේ සැමදා ඇතිවීගෙන යන ප්‍රශ්න ගොන්නට එක්වන මෙම ගොම උවදුර විශේෂ ප්‍රශ්නයක්වීම කිසිම ජගතෙකුටත් වැලක්විය නොහැකිය. තවද, ඉහත කියන ලද ආකාරයේ දැවැන්ත ගව් පට්ටියෙන් පිටවෙන එම ගොම කසල තුලින් මිතේන් (methane) නැමැති අමිල වායුවද පිටවෙන බැවින් තොගපිටින් බුරුතුපිටින් මෙසේ වායු පිටත්වීමේ හේතුවෙන් ඕසෝන් (Ozone) පටලයටද එමගින් බරපතල හානි සිදුවී සිදුරු ඇතිවන බැවින් විශාල පරිසර දූෂණයකට මහපොලොව පාත්‍රවීම වැලක්විය හැකි කරුණක් නොවන්නේය. මෙසේ ඉල්ලං කන්න සමහරුන්ට රුදාවක් සෑදී දඟලනවා නම් අපි ඔවුන්ට කුමක් කියන්නද?

ඉහත පෙන්වා දෙනු ලැබූ ප්‍රතිවිපාකයන් ජාතික මට්ටමෙන් සහ ජාත්‍යන්තර මට්ටමෙන් සිදුවිය හැකි විපාකයන් බිඳක් නමුත් දේශීය වශයෙන් පංසල්වල බෙර වාදනයට අවශ්‍ය සුදුසුම හම් වර්ගයවන ගව හම් නොලැබීමෙන් බෙර වාදනය කිරීමට නොහැකිවීම සහ හරක් මස් කඩය නිසා ලැබෙන ලක්ෂ ගණනක්වූ ටෙන්ඩර් මුදල් නොලැබීමෙන් පලාත් පාලන ආයතනයන්වලට පාඩු සිදුවීම ආදී කරුණුද විශේෂයෙන් ප්‍රතිවිපාකයන් ලෙස සැලකිය හැක. එබැවින් ශ්‍රීලංකාවේ මුස්ලිම්වරුන් සහ අනෙකුත් ගව මස් අනුභව කරන්නන්ගෙන් රටට සිදුවන්නේ සේවයක් මිස අගතියක් නොවන බව කව්රු කවුරුත් මතක තබාගැනීම වැදගත්වේ.

පශුසම්පත් පිළිබඳව ඉස්ලාම් දහම දරන මතය ඉතාම පැහැදිලිය. ලොව මවා පාලනය කරන්නාවූ දෙවියන් වහන්සේ විසින් තමන්ගේ මැවීම්වන මිනිසුන්හට (මුස්ලිම්වරුන්ට පමණක්නොවලොව වාසී සියළු ජනයාට) ආහාරය සඳහා සුදුසුවන්නේ කුමක්දැයි දන්නේ දෙවියන්ම පමණක් බැවින් ඒ පිළිබඳව අල්-කුර්ආනය විස්තරව පැහැදිලි කර කියාදී ඇත්තේය. මිනිස් රුචිකත්වය අරුචිකත්වය සම්බන්ධ ප්‍රශ්නය වෙනම එකකි. නමුත් ආහාර අනුමැතිය සම්බන්ධව තීරණය කිරීමේ බලයක් දෙවියන් වහන්සේ විසින් සාමාන්‍ය පුද්ගලයන්ට ලබාදී නොමැත. මන්ද එම සතුන් නිර්මාණය කර ඇත්තේ මිනිසුන් විසින් නොව සර්ව බලධාරී දෙවියන් විසින් බැවිනි.  එම නිසා කටට එන පලියට බහුබූත දොඩවන කාගෙන් හෝ කුලියට ලබාගත් චින්තනයක්වන ගව ඝාතන සිතුවිල්ලට මුවාවී මුස්ලිම් විරෝධී ආකල්පය පමණක් සිතේ දරාගෙන ක්‍රියාකිරීමට සැරසීම නිසා මේ ප්‍රශ්නය තවදුරටත් දිග්ගැසෙමින් පවතින බවත් එසේ දිග්ගැසීම සමහරුන්ගේ පැවැත්මට අවශ්‍යවන බවත් අපි ප්‍රකාශ කරසිටින්නේ ඉතා වේදනාවකින් බව කිව යුතුය.

M. Ossan Salam – Doha

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons