ගව ඝාතනය පිලිබඳ යතාර්ථය

බෝවත්තේ ඉන්ද්‍රරතන හිමි තම ජීවිතය පුජා කරමින් ඉල්ලීම් කිහිපයක් රජය හා රට ඉදිරියේ තැබූ සේක. උන්වහන්සේගේ ආදාහන උත්සවය ඇමතු බහුතරයක් විසින් රැස්ව සිටි පිරිස වෙත පවසා සිටි කරුණු අතුරින් වඩාත් වැදගත් තැනක් ගත්තේ ගව ඝාතනයයි. මෙය ආගම්වාදී හා වර්ගවාදී දේශපාලනයට ද ඉතාම සංවේදී සටන් පාඨයක් බව අප සැවොම ඉතා හොඳින් දන්නා කරුණකි. මෑතකදී එක් කණ්ඩායමක් විසින් හලාල් මාතෘකාව පදනම් කරගෙන අති විශාල වාර්ගික පිළිකුලක් ඇති කරන්නට කටයුතු කරන ලදී.

මෙහිදී වඩාත් කැපී පෙනුණු සාධකය වුයේ බුදු දහම හා සිංහල ජාතිය ආරක්ෂා කිරීම කඩතුරාවක් කරගෙන දහමේ නාමයෙන් මුසාවාදය වපුරා වාර්ගික කොටස් අතරේ වෛරය හා ක්‍රෝධය ඇති කොට තම ජන පදනම ගොඩ නගා ගැනීමට කටයුතු කිරීමයි. සමාජයක් නරක එකක් බවට පත්වන්නේ නරක මිනිස්සු නිසාම නොවේ. එය එසේ වීමට ප්‍රධාන හේතුව බහුතරයක් වූ යහ මිනිසුන්ගේ නිහැඬියාව නිසා බවයි අපගේ මතය වන්නේ. ගව ඝාතනය හලාල් ප්‍රශ්නයට වඩා සංවේදී හා ආකර්ෂණීය එකක් බවට පත් කර ගැනීමේ ඉඩකඩ වඩාත් වැඩි හෙයින් මේ පිළිබඳව යතාර්ථ වාදීව සලකා බැලීමේ අවශ්‍යතාවය මතුවී ඇත. සමාජය තුල විවිධ සංවේදී මාතෘකා පදනම් කරගෙන ජනතාව උද්වේගයට පත්කොට තමන්ගේ පටු අරමුණු සාක්ෂාත් කර ගැනීමේ උත්සාහයක යෙදී සිටින සුළු පිරිසක් මෙරට ක්‍රියාත්මක හෙයින් මෙම මාතෘකාව පිළිබඳව විවෘතව කරුණු සාකච්චා කිරීම වැදගත්කොට සලකන්නෙමු.

මාංශ අනුභවය හා සතුන් කැපීම පිළිබඳ මාතෘකාව සාකච්ඡා කිරීමේදී නිරායාසයෙන්ම බහුතරයකගේ ඇඟිල්ල දිගු වන්නේ ඉස්ලාමයට හා මුස්ලිම්වරුන් වෙතට බව අමුතුවෙන් කිව යුතු නොවන්නකි. මෙම තත්වය උදාවී ඇත්තේ සත්‍යය වශයෙන්ම අනවබෝධය නිසා බව අපි සිතන්නෙමු. මෙම හේතුන් නිසාම මෙම මාතෘකාව විවිධ පැතිකඩ ඔස්සේ සලකා බැලිය යුතුව ඇත. පහතින් ඉදිරිපත් කරන්නට වෑයම් කර ඇත්තේ මේ පිළිබඳ විග්‍රහයකි. කරුණාකර විචාරශීලීව හා බුද්ධිමත් අයුරින් මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. සතුන් කැපීම තහනම් කිරීමට විවිධ ක්‍ෂේත්‍රයන්ගෙන් යෝජනා මතුවෙමින් පවතින නිසා පළමුව ඒ පිළිබඳව සලකා බලමු.

1. මාංශ අනුභවය ඉස්ලාමයේ අනිවාර්ය කරුණක් නොවන හෙයින් සමස්තයක් වශයෙන් සත්ව ඝාතනය හෝ ගව ඝාතනය පමණක් හෝ තහනම් කිරීම පිළිබඳව ප්‍රතිපත්තිමය විරුද්ධතාවක් ඉස්ලාමිකයින්ට නොමැත. නමුත් එහි අතුරු ප්‍රතිඵල කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් මෙහි අදූරදර්ශීභාවය අවබෝධ කරගැනීමට හැකිවේ යැයි සිතන්නෙමු.

2. පශු ආර්ථිකය රැඳී ඇත්තේ කිරි හා මාංශ මතය. මහා පරිමාන ගොවිපොළවල් ලංකාවේ ඇත්තේ කිහිපයක්
පමණකි. වැඩි පුරම කිරි නිෂ්පාදනය සිදු කරන්නේ කුඩා සත්ව ගොවිපොළවල් පවත්වා ගෙන යන්නන්ය. කිරි නිෂ්පාදනය, ප්‍රජනනය හා බැඳුනු ක්‍රියාවලියකි. මෙහිදී කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමුකළ යුතුව ඇත. සුළු හෝ මහා පරිමාන ගොවිපොළවල්වල බිහිවන පිරිමි සතුන් නඩත්තු කිරීම සඳහා අමතර වියදමක් ගොවිපොළ හිමියන්ට සිදුවන්නේය. මෙම පිරිමි සතුන් පිරිවැයක් දරා නඩත්තු කොට කිරි ගොවියා ලබන ආදායම කුමක්ද? මෙසේ නඩත්තු කටයුතු කිරීමට කිරි වලින් පමණක් ලැබෙන ආදායම ප්‍රමාණවත් වේද? කරත්ත ප්‍රවාහනය හා එල හරක් කුඹුරු ගොවිතැනට යොදා ගැනීමක් මෙරටේ දැනට තිබේද? මී හරක් පවා ක්‍රමයෙන් කුඹුරු ගොවිතැනින් ඉවත් වී යාන්ත්‍රීකරණයකට අප මුහුණපා ඇති යුගයක පිරිමි එල හරකුන් සම්බන්ධව ඇති ආර්ථික උපයෝගීතාව කුමක්ද? ‘පින් ගොනා’ යනුවෙන් නම් තබා මෙම පිරිමි සතුන් ලිහා හැර තම වගකීමෙන් කිරි ගොවියා මිදෙන්නට කටයුතු කළහොත් මෙයින් සිදුවන අනර්ථකාරී ප්‍රතිඵල කෙරෙහි අප අවධානය යොමු කොට ඇත්ද? පිරිමි සතුන් පමණක් නොව වයස් ගත වීමෙන් ගැහැනු සතුන්ද ප්‍රජනන ක්‍රියාවලියෙන් ඉවත් වන තත්වයක් උදාවන හෙයින් මෙම සතුන් ආදායමින් තොරව පිරිවැයක් දරා නඩත්තු කිරීමට කිරි ගොවියාට සිදුවේ. මෙය කිරි ගොවියාගේ වර්තමාන ආදායම් තත්වය තුළ කළ හැකි ක්‍රියාවලියක් ද? තීන්දු ගැනීම හුදු උද්වේගය මත පමණක් පදනම් වන විට ඇතිවිය හැකි අනර්ථකාරී විපාකයන් මෙම කරුණු වලින් හෙළිදරව් නොවන්නේද? කිරි ගොවියා ආර්ථික බංකොලොත්භාවයට තල්ලු කිරීමක් මෙයින් සිදු නොවන්නේද? කිරි පිටි ආනයනය කොට ඩොලර් බිලියන ගණනක් වාර්ෂිකව විදේශ කිරි ගොවියාට ගෙවන තත්වයෙන් මිදී දේශීය කිරි ගොවියා ශක්තිමත් කොට කිරි වලින් රට ස්වයංපෝෂිත කිරීමට දරන උත්සාහය ලත් තැනම ලොප් කොට දේශීය කිරි ගොවියා විනාශ කර දමන්නට මෙයට වඩා සුදුසු යෝජනාවක් ඇත්දැයි නොසිතිය හැකි තරම්ය.

3. තිස් වසරක බෙදුම්වාදී ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු විදේශ සංචාරකයින්ගේ පැමිණීම වැඩි වී එහි යහ ප්‍රතිඵල නෙළමින් සිටින අවධියකයි අප සිටින්නේ. සංචාරක කර්මාන්තය මෙලෙස දියුණු වන තත්වයක විදේශ විනිමය ඉපැයීම, නව රැකියා අවස්ථා බිහිවීම හා විදේශ ආයෝජනය මෙම ක්ෂේත්‍රයේ වැඩිපුර සිදුවීම දැනට සිදුවෙමින් පවතී. මෙම විදේශ සංචාරකයින්ට තරු පහේ හෝටල් වලින් දිය හැක්කේ නිර්මාංශ ආහාර පමණක් යන ප්‍රවෘත්තිය ජාත්‍යන්තරව ප්‍රචාරය වුවහොත් සංචාරක කර්මාන්තයට සිදුවිය හැක්කේ කුමක්ද? විදේශ සංචාරකයින්ගේ ජනප්‍රියතම භෝජනය Beef Steak නොහොත් තෙම්පරාදු කළ ගව මස් පෙත්ත බව නොදන්නෙක් නැති තරම්ය. ඔවුන්ට පමණක් දේශීය වශයෙන් හෝ ආනයනය කළ ගව මස් සපයන්නේ නම්, එය ගව මස් අනුභවය කැමති වූ දේශීය ජනයාගේ මුලික අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීමක් බවට පත් නොවන්නේද? ශ්‍රෙෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් මේ සම්බන්ධව ඉදිරිපත් වුවහොත් ඇති විය හැකි තත්වය කුමක්ද? ගව මස් ආනයනය කළවිට අප නැවත වරක් දේශීය කිරි ගොවියාට ආර්ථික ප්‍රහාරයක් එල්ල කොට විදේශීය කිරි ගොවියා නගා සිටුවීමට කටයුතු නොකරන්නේද?

4. වෙළඳ පොළේ භාණ්ඩ මිල රැඳී ඇත්තේ සැපයුම හා ඉල්ලුම මතය. එක් ආහාර වර්ගයක් වෙළඳ පොළෙන් ඉවත් කළ විට අනෙකුත් ආහාර වර්ග වල පාරිභෝජනය වැඩිවී මිල ඉහළ යාමක් අනිවාර්යයෙන්ම සිදුවන්නක්. මෙම මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා ක්‍ෂණිකව අනෙකුත් භාණ්ඩ සැපයුම වැඩි කිරීමේ ක්‍රමවේදයක් වහාම සිදුකළ හැකි වන්නේද?

5. සත්ව තෙල් විවිධ කර්මාන්තයන්ට උපයෝගී කර ගැනීමක් සිදු වේ. මෙම තීන්දුවෙන් දේශීය සත්ව තෙල් සැපයුමට සිදුවන්නේ කුමක්ද? සත්ව තෙල් සැපයීමේ කටයුත්තේ යෙදී සිටින්නන් ගේ රැකියා අවස්ථා ගිලිහී යාම පිළිබඳව ඉදිරිපත් කරනු ලබන විකල්ප විසඳුම කුමක්ද? ආනයනික සත්ව තෙල් සඳහා බොහෝ විට අධික මිලක් ගෙවීමට සිදුවන තත්වය තුළ මෙම කර්මාන්තයන්හි නිෂ්පාදන මිල අධික වී පාරිභෝගිකයාට එම භාණ්ඩ සඳහා අධික මිලක් ගෙවීමට සිදුවීම නොවේද? ප්ලාස්ටික් හා කෘතීම දෑ උපයෝගී කරගෙන සාදන්නාවූ පාවහන් බහුතරයකගේ සෞඛ්‍යයට හිතකර නොවන බව අප සැම දන්නා කරුණකි. දේශීය පාවහන් කර්මාන්තයද එතරම් දියුණු තත්වයේ දැනට නොමැත. ආනයනික පාවහන් සඳහා විශාල විදේශ විනිමයක් වැය කරන්නට සිදු වී තිබේ. මෙම තීරණයෙන් සත්ව සමින් නිෂ්පාදිත පාවහන් කර්මාන්තයට පමණක් නොව අනෙකුත් සම් භාණ්ඩ කර්මාන්තයටද ඉතා විශාල හානියක් සිදු වීමට ඇති ඉඩකඩ ඉමහත්ය. මෙම කර්මාන්තයන්ටද සත්ව සම් ආනයනය කළහොත් නියත වශයෙන්ම ඒ සඳහා අධික මිලක් ගෙවීමට සිදු වනු ඇත. මෙම ආනයනික සත්ව සම් උපයෝගී කර ගෙන සිදුකරන්නාවූ භාණ්ඩයන්ගේ මිල වැඩිවීමක් මෙමගින් සිදුවීමට නියත වශයෙන්ම ඉඩකඩ ඇත. මෙම සියලු ක්‍රියාවන්ගෙන් සිදු වන්නේ දේශීය කිරි ගොවියාගේ ආදායම් තත්වය පහත හෙළා ඔහුගේ පැවැත්මට තර්ජනයක් ඇති කොට විදේශීය කිරි ගොවියා නගා සිටුවීම නොවේද?

6. අප ජීවත් වන්නේ බහු වාර්ගික හා බහු සංස්කෘතික සමාජයකයි. මෙම සමාජ ස්තරයන්ට ආවේනික වූ චර්යාවන් හා ක්‍රියාකාරකම් ඇත. උදාහරණයක් ලෙස ගත් විට ඌරු මස් අනුභවය ඉස්ලාමිකයින්ට තහනම්ය. ශුද්ධවූ බයිබලය අනුව කිතුනුවන්ට ද එම මාංශ අනුභවය ඉස්ලාමිකයින්ට වඩා තද බල ලෙස තහනම් කොට ඇත.
උදාහරණ:

“ඌරාගේ කුරය බෙදී වෙන ව තිබෙන නමුත් ඌ වමාරා නොකයි. ඌ අපවිත්‍ර ලෙස සැලකිය යුතුය. ඉහත දැක් වූ සතුන්ගේ මස් නොකෑ යුතුය.උන්ගේ මළකුණු ස්පර්ශ නොකළ යුතුය. උන් අපවිත්‍ර ලෙස සැලකිය යුතුය” (ශුද්ධ බයිබලය – ලෙවී ව්‍යස්ථාව 11:7-8)

“ඌරා කුරය බෙදී ඇති සතෙකු නමුත් ඌ වමාරා නොකන බැවින් අපවිත්‍ර සතෙකු මෙන් සැලකිය යුතුය. උන්ගේ මස් නොකෑ යුතු අතර උන්ගේ මලකුණුද ස්පර්ශ නොකළ යුතුය” (ශුද්ධ බයිබලය – ද්විතීය නීති සංග්‍රහය 14:8)

කරුණු මෙලෙස වුවද, කිතුනුවන්ගෙන් බහුතරයක් හා බෞද්ධයින්ගෙන් සුළුතරයක් ඌරු මස් අනුභව කරන්නන්ව සිටිත්. බහු සංස්කෘතික සමාජයක ඉස්ලාමිකයින්ගේ චර්යාවට මෙය පටහැනි බව පවසා ඌරු මස් අනුභවය තහනම් කරන ලෙස ඉල්ලීමට සදාචාරාත්මක අයිතියක් ඉස්ලාමිකයින්ට තිබේද? බහු ජනවාර්ගික හා බහු සංස්කෘතික සමාජයක එක් එක් සමාජ ස්තරයන්ගේ චර්යාවන් හා පිළිවෙත් අනිකා කෙරෙහි නීතියෙන් හෝ බලයෙන් පැටවීමට සදාචාරාත්මක අයිතියක් කිසිවෙකුට තිබේද? සුළුතරයක ගේ අදහස් මුළු රටටම බල පවත්වන්නට කළ ක්‍රියාව සුළුතරයකගේ ත්‍රස්තවාදය ලෙස හඳුන්වා එහි අනිසි විපාක දසක තුනක් අපි අත් වින්දෙමු. දැනට සිදුවෙමින් පවතින තත්වය තුල මෙයට පෙර වැකියට සුළුතරය වෙනුවට බහුතරය ආදේශ කළ විට එන අරුත වෙත අප යොමුවෙනවා නොවේද? පරිසරයට හෝ අසල්වැසියන්ට කිසිම හානියක්, බාධාවක් හෝ පෙළීමක් නොමැතිව අවුරුදු ගණනක් තිස්සේ සලාතය ඉටු කළ තැන්වලට පෙළපාළියෙන් පැමිණ “මෙතැන නැමදුම් නොකළ යුතු යැ”යි තර්ජනාත්මකව පවසන විට අප පත් වන්නේ කෙනම් තත්වයකටද? වර්ධනය වෙමින් පවතින මෙම අහිතකර සංස්කෘතිය වෙනස් කිරීමට කටයුතු කිරීම අප සැමගේ වගකීමක් නොවන්නේද?

7. බිලි පුජාව සැබැවින්ම සත්ව හිංසනයකි. එය පිළිකුල් කළ යුතු ක්‍රියාවක් බව නොරහසකි. එනමුත් මෙය ආරම්භ වුයේ හලාවත මුන්නේෂ්වරම් කෝවිලෙන් නොවන බව අප සැවොම දන්නා කරුණකි. බුදු දහම බිහි වූ යුගයේ භාරත දේශයේ පැවතියේ බහු ආගමික හා බහු ජනවාර්ගික සමාජයකි. විවිධ ආගමික ඇදහිලි හා විශ්වාස එහි විය. ඒ අවස්ථාව වන විට භාරත දේශයේ මහා පරිමාණ ලෙස ව්‍යාප්තවී තිබුණේ බ්‍රාහ්මණ දහමයි. ඒ අතර විවිධ ආගමික දෘෂ්ටි ගරු කළ ශ්‍රමණ කණ්ඩායම්, ආජීවකයන්, පරිබ්‍රාජකයන්, ජටිලයන්, සහ වෙනත් තාපස යෝගී නිකායයන් එහි ක්‍රියාත්මක විය. මේ අතර ෂඩ් ශාස්තෘ දර්ශනයන්ද විය. මේ හැම ආගමික සාම්ප්‍රදායක්ම විවිධ මතිමතාන්තර ඉදිරිපත් කළහ. මොවුන් ඉදිරිපත් කළ දෘෂ්ටි අතර බ්‍රාහ්මණ වාදය, ඊශ්වර නිර්මාණ වාදය, දේව වාදය, අධිච්ච සමුත්පත්ත වාදය, අහේතු අප්‍රත්‍ය වාදය, නියතිසංගතික වාදය, අකිරිය වාදය, සංසාර සුද්ධික වාදය, ශාස්වත වාදය, උච්ඡේද වාදය, දිට්ඨධර්මනිර්මාණ වාදය, මේ ආදී මත වාදයෝ එහි ප්‍රචලිතව තිබිණ. දීඝ නිකායේ බ්‍රහ්මජාල සුත්තයෙහි සඳහන් වන පරිදි බුද්ධ කාලීන භාරත දේශයේ දෘෂ්ටි දෙසැටක් ව්‍යාප්ත වී පැවත ඇත. බුදුන් වහන්සේ අන්‍යාගමික පැවිද්දන් හා ඔවුන්ගේ ඉගැන්වීම් හෙළා දැකීමට ඉදිරිපත් වූ බවක් පිළිබඳව කිසිම සඳහනක් පිටකයන්හි නොමැත.බුදුන් දවස බ්‍රාහ්මණ දහම අනුගමනය කළවුන් අතර අද මෙන්ම බිලි පුජා පැවති බවට පිටකාගත සාක්ෂි බොහෝමයක් දකින්නට ඇත. යාග හෝම සම්බන්ධයෙන් කරන්නා වූ මෙම ක්‍රියාව අර්ථ විරහිත කෘර හිංසාකාරී ක්‍රියාවක් බව පවසමින් බුදුන් වහන්සේ දේශනා කළා මිස එය නැවැත්වීමට රාජ්‍ය බලය යෙදවීම, හර්තාල් පැවැත්වීම වැනි ක්‍රියා උන්වහන්සේ හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයන් විසින් නොකරන ලදී. එම පිළිකුල් සහගත ක්‍රියාවන් සම්බන්ධයෙන් වුවද බුදුන් වහන්සේ ක්‍රියා කළ ආකාරය ප්‍රශංසනීයය, ප්‍රජාතන්ත්‍රවාදීය, තවද, කරුණාව මෛත්‍රිය පදනම් කරගත් ශ්‍රේෂ්ඨ නායකයෙකුගේ බුද්ධිමය ප්‍රතිචාරය මෙය යැයි ලොවට ඔප්පු කරන්නාවූ හැසිරීමකි එය.

8. ශ්‍රී ලංකාව තුළ රජයෙන් අවසර පත් ලද ගවයින් කපන ස්ථාන 300 ක් ඇත. මෙම අවසර පත් ලබා දෙන්නේ එම ප්‍රදේශය අයත් පළාත් පාලන ආයතනය මගිනි. මේ සඳහා විශාල මුදලක් ටෙන්ඩර් කැඳවීම තුළින් වැඩිම ටෙන්ඩරය ලබා ගන්නා ගෙන් එම පළාත් පාලන ආයතනය අය කර ගනී. ගවයින් කැපීම නතර කිරීමට යමෙකුට අවංක අවශ්‍ය තාවයක් ඇත්නම් කළ යුත්තේ තම ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයට මෙම අවසර පත් ලබා නෙදෙන ලෙස ඉල්ලා සිටීමය. මෙය අතහැර මුස්ලිම් හා කිතුනුවන් ඉලක්ක කරගෙන උද්ඝෝෂණ පැවැත්වීම සැබැවින්ම හාස්‍ය ජනක කරුණකි. හේන මුවන් කද්දී ගෙදර ඇති මුව හමට තඩි බෑමක් ලෙස මෙය සඳහන් කළ හැක. මෙම ගවයින් කපන අවසර පත් ලද ස්ථාන 300 මගින් දිනකට ගවයින් 4500 පමණ කපන බව සංඛ්‍යා ලේඛන අනුව දැන ගත හැක. මේ පිළිබඳව පශු සම්පත් අමාත්‍යංශය මගින් වැඩි දුර තොරතුරු ලබා ගත හැක. පෝය දින 12 අතහැර වර්ෂයකට සාමාන්‍ය වශයෙන් දින 350 කදී බලපත්‍ර ලබා ඇති ස්ථාන මගින් පමණක් කපන ගවයින් සංඛ්‍යාව පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු. බෝවත්තේ ඉන්ද්‍රරතන ස්වාමීන් පවසා සිටියේ දිනකට ගවයින් 5000 ක් කපන බවය.

4500 X 350 = 1,575,000

මෙය වර්ෂයක් තුළ බලපත්‍ර සහිතව කපන සංඛ්‍යාවය. බලපත්‍ර නොමැතිවද නීතියට පටහැනිව ගවයින් කැපීම අප සැම දන්නා ප්‍රසිද්ධ රහසකි. මෙයට අමතරව දැනට ජීවතුන් අතර ඉන්නා ගව ගහනයත් සැළකිල්ලට ගත් විට ගවයින් කැපීම නතර කළ හොත් වර්ෂ දහයක් ඇතුළත ජන ගහනයට වඩා ගව ගහනය වැඩි විය හැකි බව බුද්ධිය ඇති සැමට ඉතාම සරලව වටහා ගත හැකි සත්‍යයකි. මෙයින් සිදුවිය හැකි පාරිසරික අසමතුලිතතාවය ඉතාම භයානක ප්‍රතිඵල ගෙනදිය හැක්කක් බව ඕනෑම අයෙකුට පැහැදිළි වන කරුණකි. මාංශ අනුභවය විශ්වයේ නිර්මාතෘ විසින් මිනිසාට අනුමත කර ඇත්තේ එහි ඇති යතාර්ථය පදනම් කරගෙන බව මෙයින් පැහැදිළි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. උද්වේගය හෝ තවත් ආගමික-වාර්ගික කොටසක් කෙරෙහි ඇති වෛරය පදනම් කරගෙන අර්ථ ශුන්‍ය උද්ඝෝෂණ යන්හි නිරත නොවී ලෝක යථාර්ථය අවබෝධ කරගෙන ජීවත් වන්නට අදිටන් කර ගනිමුයි කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.

9. පංච ශීලයේ පළමුවන සිල් පදය පිළිබඳවය මෙතරම් ගැටළු මතුවී තිබෙන්නේ. එයිනුත් එළුවන්, ඌරන්, කුකුලන් හා මත්ස්‍ය වර්ග පිළිබඳව සැවොම නිහඬය. ගවයා පිළිබඳව මෙතරම් හඬක් මතුවීමට හේතු රාශියක් ඇති බව අපට ප්‍රතික්‍ෂේප කළ නොහැකි කාරණයකි. “ගව ඝාතන විරෝධතා ව්‍යාපාර”, “ගව පෙරහැරවල්”, “මරණයට කැපවූ ගවයින් මුදා හැරීම” වැනි ව්‍යාපාරයන්ට සම්බන්ධ සිල්වත් පිරිසට පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.

I. කුඹුරු ගොවිතැන් කිරීමේදී තද අව්වේ නගුලට බැඳ කෙවිටෙන් අමානුෂිකව තලමින් කරන්නාවූ සත්ව හිංසාව පිළිබඳව ඔබතුමන්ලා නිහඬව ඉන්නේ ඇයි?

II. කරත්තයට ගැට ගසා දින ගණන් විශාල බරක් අදිමින් හා ඒ අතරතුර කෙවිටෙන් ලැබෙන වේදනාකාරී පහරවල් විඳිමින් කටයුතු කරන කරත්ත ගොනාගේ හිංසාකාරී ජීවිතය ගැන කතා කරන්නන් කවුරුන්ද? කරත්ත ගොනාට ලාඩම් ගැසීමේ හිංසාකාරී ක්‍රියාව ඔබ දැක ඇතැයි සිතන්නෙමු.

III. කිරි ලැබෙන්නේ වැස්සිට පැටවුන් ලැබුනාට පසුවය. නමුත් මෙම කිරි අලුත බිහිවූ වසු පැටියාගේ ආහාරය බව අපි ඉතා හොඳින් දන්නෙමු. නමුත් අප වැස්සිට “කිරි අම්මා” යන ගෞරවනීය නාමයක් ප්‍රදානය කොට වසු පැටියාට අයත් කිරි ටික“මම නුදුන් දෙය ගැනීමෙන් වැලකෙන්නෙමි” යන දෙවන ශික්ෂාව වංචනික ලෙස බිඳ දමා කටයුතු කිරීම පිළිබඳව ඇති නිහැඬියාව ලැජ්ජා සහගතය.

IV. ගවයින් හඳුනා ගැනීම සඳහා ඇති පාරම්පරිකව පැවත එන හංවඩු ගැසීමේ ක්‍රියාව ඔබ දැක ඇතිදැයි දැනගන්නට කැමැත්තෙමු. සතෙක් මරණයට පත්කරණවාට වඩා අති භයානක වේදනාවක් ඇති කරවමින් කරන්නාවූ මෙම කෘර ක්‍රියාව ගැන ඇති නිහැඬියාව කන් බිහිරි කරවන තරමට භයානකය.

V. ගත හැකි සියලු ප්‍රයෝජන ලබාගෙන වයස්ගත භාවයට පත්වන විට “කිරි අම්මා” හදිසියේම “පින් ගොනා” බවට පත්කොට ආහාර ලබාදීම හා අනෙකුත් වගකීම් වලින් තමන්ව නිදහස් කරගෙන වංචනික අන්දමින් මෙම ගවයා ලිහා ඇරීම පිළිබඳව ඔබ සිතා බැලුවේ නැද්ද?

අප සැම අවංකව සිතා අවංකව කටයුතු කරන්නේ නම් අපගේ බොහෝ පාරම්පරික ක්‍රියාකාරකම් හා විශ්වාසයන් මිනිස් යතාර්ථයට කෙතරම් පටහැනි ද යන්න අවබෝධ කර ගැනීමට අපහසු නොවනු ඇත. එහෙයින්, ජනයා උද්වේගයට පත් කරවන ආගම්වාදය හා වාර්ගිකවාදය පිටු දැක යහ මිනිසුන් ලෙස බුද්ධිමත්ව කටයුතු කරන්නට අදිටන් කර ගනිමු.


අබු ෆාතිමා

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons