සිංහල ජනගහනය විනාශ කිරීම සඳහා මුස්ලිම්වරුන් කුමන්ත්‍රණකාරීව කටයුතු කරමින් සිටින්නේ ද?

සිංහල ජනගහනය විනාශ කිරීම සඳහා මුස්ලිම්වරුන් කුමන්ත්‍රණකාරීව කටයුතු කරමින් සිටින්නේ ද?


සිංහල ජනගහනය පිළිබඳ මුස්ලිම් ජනයාගේ මතය

ආගමික හා වාර්ගික අන්තවාදීන් විසින් මවාපාන්නට උත්සාහ දරන මුස්ලිම් භීතිකාව සනාථ කරන්නට ඉදිරිපත් කරන අභූත චෝදනා කෙසේ වෙතත් සත්‍යය වශයෙන්ම සිංහල ජනගහනය පිළිබඳ ප්‍රශ්නයක් ඇති විය හැකි බව අපි අවංකවම පිළිගන්නෙමු. පහතින් උපුටා දක්වා ඇති පුවත්පත් වාර්තාවන් දෙස ඔබගේ අවධානය යොමු කර එමගින් ඇති විය හැකි සමාජ ව්‍යසනයන් පිළිබඳව කරුණාකර සිතා බලන්න.

1.     2013 අගෝස්තු 16 වැනි සිකුරාදා ‘මව්බිම’ පුවත්පතේ පහත සඳහන් ප්‍රවෘත්තිය වාර්තා කොට තිබුණි.

‘ලංකාවේ දිනකට 1,40,000 ක් අනාචාරයේ හැසිරෙනවා’

‘සමලිංගිකයින් 10% කින් වැඩිවෙලා’

‘සමීක්ෂණයකින් හෙළි වෙයි’

“ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයන් එක්ලක්ෂ හතළිස් දහසක් අභිසරුලියන් සමඟ සහ අනියම් සබඳතා මත අනාරක්ෂිත ලිංගික සබඳතා වල යෙදෙන බව සමීක්ෂණයක දී හෙළි වී තිබේ. ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂක වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේ රාජ්‍ය නොවන සංවිධාන වල සහය මත කරන ලද සමාජ සමීක්ෂණයක දී මේ බව හෙළි වී ඇති බවය”.

මෙම වාර්තාව අනුව දරුවන් බිහි කිරීමේ කාර්යයට බාධක දෙකක් පැහැදිලිව දක්නට ඇත. අනාචාරයේ හැසිරෙන්නන් මාතෘත්වය හෝ පීතෘත්වය පිළිබඳ හැඟීමකින් කටයුතු කරන්නන් නොවන බවයි. ඔවුන් පැහැදිලිවම සදාචාර විරෝධීව තමන්ගේ ලිංගික ප්‍රේරණය සමථයකට පත් කර ගන්නට කටයුතු කරන්නන් හා කරන්නියන් පමණි. බොහෝ විට මෙහි මුල්‍යම අපේක්ෂාවන් තිබිය හැක. අනෙක් බාධාව සමලිංගිකයින්ගේ වැඩි වීමය. මෙම පිරිසද ජනගහන වර්ධනයට කිසිසේත්ම දායක වන්නන් නොවේ. මෙම කරුණු දෙක සම්බන්ධව වැඩි සහභාගිත්වයක් ඇත්තේ මුස්ලිම් වරුන්ගෙන් ද සිංහල ජනයාගෙන් ද යන්න පිළිබදව කරුණාකර සිතා බලන්න. මෙය සිංහල ජනගහන වර්ධනයට බාධාවක් බව පවසන අතරතුර මේ පිළිබඳව කඩිනම් විසඳුම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස සිංහල ප්‍රජා නායකයින්ගෙන් ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.

2.       2012 ජුනි මස 17 දින ‘ලංකාදීප’ පුවත්පතේ පළ වූ සවිස්තරාත්මක වාර්තාව කෙරෙහි ද අපගේ අවධානය යොමු කරමු.

“කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය වසන්තා සුබසිංහ විසින් ගබ්සාව පිළිබඳව සිදු කරන ලද පර්යේෂණයන් හි දත්ත පදනම් කොට ගෙන මෙම ලිපිය සැකසේ. නිල නොලත් වාර්තා වලට අනුව දිනකට 800-1000 ත් අතර ප‍්‍රමාණයක් නීති විරෝධී ගබ්සා සිදු වේ. ගබ්සාව පිළිබඳව පළමු පර්යේෂණය සිදු කරන ලද්දේ 1998 දීය. එයින් හෙළිදරව් වූ කරුණක් නම්, ලංකාවේ වසරකට සිදු වන දරු උපත් ප‍්‍රමාණය 3,75,000කට ආසන්න වන බවයි. නමුත් ලක්‍ෂ තුන ඉක්මවා ප‍්‍රමාණයක් ගබ්සා සිදු වීම බරපතළ අර්බුදයක් බවට පත්ව ඇත. ගණනය කිරීම මගින් දක්නට ලැබෙන ප‍්‍රශ්නය මෙය වුවත් මින් එහා ගිය සමාජ ප‍්‍රශ්න රැසක් නීති විරෝධී ගබ්සාව නිසා දැකිය හැකිය”.

ඉහත වාර්තාව අපට හඬ නගා පවසන්නේ කුමක් ද?  මෙරට ගබ්සා මධ්‍යස්ථාන අති විශාල ප්‍රමාණයක් ඇති බව නිතර මාධ්‍යයන් මගින් දකින්නෙමු. මෙම ගබ්සා මධ්‍යස්ථානයන්ට මුස්ලිම් වරුන් යන්නේ නැති බව අපි දනිමු. ජනගහනය පිළිබඳව අන් අයට අසත්‍ය චෝදනා කරමින් සිටිනවාට වඩා ගබ්සා මධ්‍යස්ථාන වල දිනකට විනාශ කර දමන අති විශාල ජීවිත සංඛ්‍යාව බේරා ගැනීමට කාරුණිකව ඉදිරිපත් වන්න.

කැලණිය විශ්ව විද්‍යාලය මගින් පවත් වන ලද සමීක්ෂණයේ අඩංගු තොරතුරු අනුව හෙළිදරවු වන  කරුණු අති භයානකය. සමස්ත වාර්ෂික දරු උත්පත්තිය 375,000 ක් වන අතර වාර්ෂික ගබ්සා සිදු වන ප්‍රමාණය 300,000 ඉක්මවන බව සඳහන් කිරීමෙන් අප සමාජය ඉදිරියේදී මුහුණ පෑ හැකි ගැටලු කිහිපයක් ඇත. මෙම නීති විරෝධී ගබ්සා මධ්‍යස්තානයන්ගෙන් සේවා ලබා ගන්නට යන  මුස්ලිම් වරුන්ගේ සංඛ්‍යාව ඉතාම අල්පය, නැතහොත් කිසිවෙකුත් නොයන්නේයැයි පැවසීමද නිවැරදිය. සිංහල ජනගහනයේ වෙනසක් වීමට මෙම ගබ්සා මධ්‍යස්ථාන කෙතෙක් දුරට ඉවහල් වන්නේද යන්න පිළිබඳව මුස්ලිම් වරුන්ට චෝදනා නගන සංවිධාන කුමක් කර ඇත්දැයි අසන්නට කැමැත්තෙමු. ගබ්සාව මිනිස් ඝාතනයකි. මෙම ලිපියේ මීළඟට උපන් හැටියේ සිදු කරනු ලබන බිළිඳු ඝාතන පිළිබඳ ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයුර සමරකෝන් මහතාගේ අදහස් උපුටා දක්වා  ඇත්තෙමු. ගව ඝාතන නතර කරන්නැයි ජීවිත පුදති. තවත් පිරිසක් ජීවිත පුදන්නට සුදානමින් සිටිති. මහ පොළොව කම්පා කරවන තරම් සිදු වන මෙවන් හා අනෙකුත් මිනිස් ඝාතන පිළිබඳව මෙම පිරිස් මුනිවත රකිති.

3.    උපන් විගස දරුවන් මරා දැමීම

ගබ්සාවට වඩා භයානක සමාජ පිළිලයක් බවට පත් ව ඇත්තේ උපන් හැටියේ බිළින්දන් මරා දැමීමේ කෲර ක්‍රියාවයි. මෙම සමාජ ප්‍රශ්නය පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයුර සමරකෝන් මහතා සමග ‘අද’ පුවත්පතේ පාලිත ආරියවංශ මහතා විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවේ වාර්තාව 2013 ඔක්තෝම්බර් මස 29 වැනි දින ‘උපන් හැටියේ දරුවන් මරා දමන්නේ ඇයි’ යන මාතෘකාව යටතේ එම පුවත්පතේ පළ කොට තිබිණි. එම වාර්තාවෙන් උපුටා ගත් කොටස් පහතින් දක්වා ඇත්තෙමු.

‘ලෝක ළමා දිනය සමරන්න මුළු රටම සුදානම් වී සිටියදී ඊට දින තුනකට පෙර බදුලු වැසියන්ට දක්නට ලැබුණේ ඉතා දුක්බර දසුනකි. බදුල්ල දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි ගුවන් පාලමේ පඩියක් මත තිබුණේ මළ සිරුරකි. මේ කිරිකැටියා රෙදි කඩකින් ඔතා තිබුණේය. හිමිදිරි පාන්දරම මේ ඛේදජනක දසුන දැක තිබුණේ මෙම පාලම මතින් ගමන් කළ ගම් වැසියෙකි. බිළිඳු සිරුර පිරිමි දරුවෙකුගේය. බදුල්ල පොලිසියට ලැබුණු දුරකථන පණිවිඩයක් අනුව බදුල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කළහ.

බදුල්ල මහේස්ත්‍රාත් වරිය එම ස්ථානයට පැමිණ බිළිඳු මළ සිරුර පරීක්ෂා කර එය පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කරවීමටත් වැඩිදුර පරීක්ෂණ පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගැනීමටත් නියෝග කළාය. එම නියෝගය ලැබී පැය කිහිපයක් ගත වෙද්දී බදුල්ල පොලිසියට තවත් තොරතුරක් ලැබුණේය. ඒ හාලිඇල ක්වීන්ස් ටවූන් වත්තේ ගැබිනියක් ව සිටි කාන්තාවක් පිළිබඳවය. එම සැකකාරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුයේ වෙනත් බිළිඳු විපතක් ගැනය. අවිවාහක කාන්තාවක් වූ ඇය බිහි කළ දරුවා උපන් හැටියේ වළ දමා තිබිණි. උපන් හැටියේ බිළිඳා ඝාතනය කර හෝ නොකර ගෝනි කැබැල්ලක ඔතා වළ දමා තිබුණේ ඇගේ නිවසේ මුළුතැන් ගේ ආසන්නයේ පිහිටි කෙසෙල් පඳුරක් යටය.

උපන් හැටියේ දරුවන් ඝාතනය කරන සිද්ධීන් පසුගිය කාලය පුරා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් අසන්නට ලැබිණ. අම්මලා තම කුසින්ම බිහි කළ දරුවන් මෙසේ ඝාතනය කරන්නේ ඇයිදැයි යන ප්‍රශ්නයට විසඳුම් සොයා දීම අද දවසේ සමාජ වගකීමකි. අපි මේ පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයුර සමරකෝන් මහතාගෙන් විමසුවෙමු.

“වර්තමාන සමාජයේ අද තිබෙන ප්‍රධානතම ප්‍රශ්නය තමයි විවාහ සංස්ථාව බලවත් අර්බුදයකට ලක් වී තිබීම. ඒකට සමාජ විද්‍යාත්මකව ප්‍රධාන හේතු කිහිපයක් බලපානවා. විවාහයට අද ලැබිල තියෙන්නෙ ආර්ථික වටිනාකමක්. මේ නිසා විවාහ වීමේ වයස් සීමාව ක්‍රමයෙන් කල් යමින් තිබෙනවා. වර්තමානයේ සමාජය තුළ විවාහ වීමේ සීමා පිරිමියෙකුගේ අවුරුදු 31 – 33 දක්වාත් කාන්තාවකගේ විවාහ වයස් සීමාව අවුරුදු 31 – 32 දක්වා වූ කාල පරාසයකටත් ගමන් කරලා තියෙනවා. නමුත් විවිධ හේතුන් නිසා විවාහයට ඇතුළත් වීම ප්‍රමාද වීම අනියම් ආකාරයකට සමාජයේ වෙනත් ගැටලු වලට හේතු වෙලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් විවාහ වීමේ වයස් සීමා කල් යන්නේ අධ්‍යාපන හා ආර්ථික හේතු මත. නමුත් පුද්ගලයෙකුගේ කායික හා ලිංගික අවශ්‍යතා කල් දාන්න බැහැ. මෙහි අනියම් ප්‍රතිඵලය වෙලා තියෙන්නෙ අද සමාජය තුළ අනියම් ලිංගික සම්බන්ධතා වැඩිවෙලා තියෙනවා. මෙන්න මේ හේතුව කරණ කොට ගෙන බොහෝ අවස්ථා වල මෙවැනි ඛේදවාචකයන්ට සමාජය ලක් වන බව පැහැදිලිවම පේනවා.”

ඉහතින් උපුටා දැක්වුයේ  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයුර සමරකෝන් මහතා සමග ‘අද’ පුවත්පතේ පාලිත ආරියවංශ මහතා විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාව 2013 ඔබ්තෝම්බර් මස 29 වැනි දින ‘උපන් හැටියේ දරුවන් මරා දමන්නේ ඇයි’ යන මාතෘකාව යටතේ එම පුවත්පතේ පළ කොට තිබිණු වාර්තාවෙන් කොටසකි.  උපන් හැටියේ දරුවන් මරා දැමීමේ සංස්කෘතිය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව මෙම ලිපියේ අඩංගු කරුණු වලින් පැහැදිලිව පෙනෙන්නට ඇති සාධකයකි. මෙය අති සාහසික කෲර ක්‍රියාවකි. මෙම අති පිළිකුල් සහගත ක්‍රියාව සිංහල ජනගහන වර්ධනය කෙරෙහි බලපාන අයුරු පිළිබඳව  විමර්ශනය කර බැලීමේ අවශ්‍යතාව මතු වී ඇත. මෙවන් කරුණු වළක්වාගත හැකි නම් එය මුස්ලිම් වරුන්ට ඇඟිල්ල දිගු නොකර තමන්ගේ වාර්ගිකත්වයේ වර්ධනය ඉහළ නංවා ගැනීවට සිංහල ප්‍රජාවට හැකි වනු ඇත.

මෙම ලිපිය අනුව විවාහ වීමේ වයස 31 ඉක්ම වන බව සඳහන් වී තිබේ. මෙය ද වැඩියෙන් දරුවන් ලැබීමට බාධාවක් ලෙස අපි දකින්නෙමු. විවාහ වීමේ වයස ඉහළ යන විට සමාජයේ සදාචාර ප්‍රශ්න මතු වීමට ද ඉඩ ඇති බව මෙම ලිපිය විග්‍රහ කරයි. වයස 25 ඉක්මවන්නට පෙර විවාහ බන්ධනයට ඇතුළත් වීමට දිරි ගැන්වුවහොත් අඩු ජනගහන ප්‍රශ්නයට මෙන්ම සදාචාර ප්‍රශ්නයට ද එය විසඳුමක් වනු ඇත.

4.       මුස්ලිම් ජනගහනයෙන් සම්පුර්ණ රජයේ සේවයේ සිටින්නේ 1.5% කට වඩා අඩු පිරිසකි. ස්වාමි පුරුෂයා හා බිරිය යන දෙදෙනාම රජයේ සේවයේ සිටින්නේ ඉතාම අල්ප පිරිසකි. සිංහල ජනයාගෙන් අති මහත් බහුතරයක් රජයේ සේවයේ සිටිති. එයින් ස්වාමි පුරුෂයා හා බිරිය යන දෙදෙනාම රජයේ සේවයේ සිටින පිරිස ඉතාමත් අධිකය. දෙදෙනාම රජයේ සේවයේ නිසා ඔවුන්ට දරුවන් ලබා ඔවුන් නඩත්තු කිරීමේ කාර්යය ඉතාමත් දුෂ්කර එකක් බවට පත් වී ඇත. පොලිසීයේ හා හමුදාවේ සේවය කරන්නන්ට දරුවන් ලැබු විට දෙන දීමනාව සෑම රජයේ සේවකයෙකුටම ලබා දෙන්නට කටයුතු කරන්න. රජය මගින් දිවා ළමා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවා දරුවන් බලා ගැනීමේ කාර්ය පහසු කරන්නට කටයුතු කරන්න. මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම තුළින් රජයේ සේවකයින්ට දරුවන් වැඩි වැඩියෙන් ලබා ගැනීම පහසු කළ හැකි වනු ඇත. ප්‍රශ්නය තමන් වෙතම තබා ගනිමින් වඳ බෙහෙත් මගින් සිංහල ජනගහනය විනාශ කරන්නට මුස්ලිමුන් කටයුතු කරන බව  මුසාවාද ඉදිරිපත් නොකොට සත්‍යවාදීව හා කාරුණිකව කටයුතු කරන මෙන් ඉල්ලා සිටින්නට කැමැත්තෙමු.

5.       ‘පුංචි පවුල රත්තරන්’ යනුවෙන් ලංකාවේ පවුල් සැලසුම් ව්‍යාපාරය 1950 ස් ගණන් වල ආරම්භ වූ අතර එහි ව්‍යාප්තිය විශේෂයෙන්ම අසූව දශකයේ දක්නට ලැබුණි. බෞද්ධ ජනගහන වර්ධන වේගය තරමක් දුරට අඩු වීමට මෙම සාධකය බලපා ඇති බව පෙනෙන්නට ඇත. 1953 දී පවුල් සැලසුම් සංගමය (Family Planning Association) පිහිටු වීම ලංකාවේ පවුල් සැලසුම් ක්‍රියාමාර්ගයේ ප්‍රධාන මංසන්ධියක් ලෙස සැලකිය හැක. ලංකා රජය විසින් මෙම සංගමයේ ක්‍රියා මාර්ගයට අනුබල දීමක් ලෙස 1954 සිට වාර්ෂිකව ප්‍රතිපාදන වෙන් කරන ලදී. 1958 සහ 1965 කාලය අතරතුර පවුල් සැලසුම් ක්‍රියාවලිය ක්‍රමක්‍රමයෙන් ව්‍යාප්ත විය. 1955 වර්ෂයේදී පවුල් පාලනය ජාතික ව්‍යාපාරයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයට එකාබද්ධ විය. 1965 සහ 1975 කාලය තුළ, ස්වීඩනයෙන් ලැබුණ ආධාරත් සමගින් පවුල් සැලසුම් වැඩපිළිවෙළ තවදුරටත් වර්ධනය විය. 1975න් පසුව මෙම ව්‍යාපාරය තව තවත් ව්‍යාප්ත වූ අතර ජනතාව පවුල් සැලසුම් පිළිබඳව දැනුවත් කිරීම ඇතුළු විවිධ වැඩසටහන්ද අරම්භ විය. මුස්ලිම් ජනගහන බිල්ලා එනවායයි ජනයා බියවද්දන පිරිස සඳහන් කරන ප්‍රධාන කරුණ වන්නේ පවුල් සැලසුම් හමුවේ සිංහල ජනතාව අතර ජනගහන වර්ධනය අඩු වන බවත්, මුස්ලිම් ජනතාව අතර එසේ නොවන බවත්ය. එම කරුණ නිකම්ම නිකම් ප්‍රකාශනයකට පමණක් සීමා වන අතර ඔවුන් ඉදිරිපත් කරන දත්තයක් නැත. ඉස්ලාමයට අනුව පවුල් සැලසුම තහනම් නොවේ. ගැබ් ගැනීම් වැළැක්වීමට භාවිත කරන ක්‍රම, කාණ්ඩ දෙකකට බෙදිය හැක: ස්ථිර ලෙස නිසරු කිරීම සහ තාවකාලික ලෙස ගැබ් ගැනීම වැළැක්වීම. ඉස්ලාම් දහමට අනුව තහනම් වන්නේ පළමු කාණ්ඩයට අයත් පවුල් සැලසුම් ක්‍රමයන් පමණක්ය. පවුල් සැලසුම් ව්‍යාපෘතීන් හි ප්‍රතිඵල පිළිබඳ අපුරු මාධ්‍ය වාර්තාවක් 2014 අප්‍රයෙල් 30 වැනි දින ‘අද’ පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන ශීර්ෂ පාඨය ලෙස පළ කොට තිබුණි. එම වාර්තාව පහතින් උපුටා දක්වා ඇත්තෙමු.



“වසර 10 කදී කාන්තාවන් 890,000 ක් වඳ භාවයට”

“බොදුබල සේනා සංවිධාන ජාලය”

“ලෝක ජනගහනය පාලනය කිරීම් සඳහා ශ්‍රී ලංකාවේ පවුල් සංස්ථාව තුළ දරුවන් දෙදෙනෙකුට සීමා කිරීමට 1973 වසරේදී මහා බ්‍රිතාන්‍යයේ සංවිධානයක් වන ‘මාරි ස්ටොප්’ සංවිධානය ශ්‍රී ලංකාව තුළ සිදු කල වැඩ පිළිවෙළට මුවා වී මෙරට තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ගෙවී ගිය වසර 10 ක කාලය තුළ මේ රටේ කාන්තාවන් අට ලක්ෂ අනුදහසකට අධික පිරිසක් වඳ භාවයට පත් කර තිබෙන බව බොදුබල සේනා සංවිධාන ජාලය සඳහන් කරයි. ‘පුංචි පවුල රත්තරන්’ යන තේමාව යටතේ 1973 වසරේදී මෙරට තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ බවත් එම වැඩ පිළිවෙළ එම කාලය තුළ අවසන් වුවත් එහි නම වෙනස් කර යම්කිසි සංවිධානාත්මක පිරිසක් මෙරට කාන්තාවන් වඳ භාවයට ලක් කිරීමට අවශ්‍ය වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් එම සංවිධාන ජාලයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අවධාරණය කළහ. මෙලෙස කාන්තාවන් වඳභාවයට පත් කිරීමේ කටයුත්තට යම් යම් වෛද්‍යවරුන් පවා සහයෝගය ලබා දී තිබෙන බවත්, මීට අමතරව පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් හරහාද මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙන බවත් උන්වහන්සේ සඳහන් කර සිටියහ. මෙලෙස වඳ භාවයට අවශ්‍ය කටයුතු කර ගන්නා සෑම කාන්තාවකටම මෙම රාජ්‍ය නොවන ආයතනය විසින් රුපියල් 500 ක මුදලක් ලබා දී තිබෙන බව ද උන්වහන්සේ අවධාරණය කළහ”.



මෙම ව්‍යාපෘති මුස්ලිම් වරුන්ගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් යැයි සඳහන් නොකිරීම ගැන අප උන්වහන්සේට ස්තුති කළ යුතු වන්නෙමු. සිංහල ජාතියට ඇති තර්ජනය මෙවන් ප්‍රවෘත්ති මගින් පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. මෙම වඳ සැත්කම් කර ගන්නා පිරිසගෙන් බහුතරය සිංහල කාන්තාවන් වන අතර ස්ථීර වඳ සැත්කම් කර ගැනීම ඉස්ලාමීය නීතිය අනුව තහනම් හෙයින් නොදැනුවත්කමින් මිස මුස්ලිම් කාන්තාවන් මෙම කටයුත්තට ඉදිරිපත් නොවෙති. රුපියල් 500 ක් වැනි අල්ප මුදලකට ජාතියේ අනාගතය අප විකුණා දමන්නේ නම් සිංහල ජනගහන ප්‍රශ්නය සම්බන්ධයෙන් මුස්ලිම් වරුන්ට ඇඟිල්ල දිගු කිරීමේ අර්ථයක් තිබේ ද කියා අසන්නට කැමැත්තෙමු.



6.       2014 මාර්තු 14 වැනි දින ‘මව්බිම’ පුවත් පතේ පළ වූ වාර්තාවක් කෙරෙහි ද ඔබගේ අවධානය යොමු කරවන්නට කැමැත්තෙමු.

“මත්ද්‍රව්‍ය භාවිතයෙන් දිනකට 360 ක් මරුට”

“ලංකාවේ දිනකට 1200 ක් උපදිනවා  - දිනකට 1000 ක් මැරෙනවා”

“ඒ දාහෙන් 600 ක් මැරෙන්නේ බෝ නොවන රෝගවලින්”

“ඒ 600 න් 360 ක් මැරෙන්නේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා වැළඳෙන රෝග වලින්”

“සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාල හෙළි කරයි.”

මත්ද්‍රව්‍ය භාවිතය මුස්ලිම් ජනයා අතර නොමැත්තේයැ’යි පවසන්නට තරම් අතාත්වික වන්නට කිසිවෙකුට නොහැක. නමුත් මත්ද්‍රව්‍ය භාවිතය මුස්ලිම් ජනයා අතර ඇත්තේ ඉතාම අවම මට්ටමකින් බව වගකීමකින් යුක්තව පවසන්නට කැමැත්තෙමු. දිනකට මේ හේතුවෙන් මිය යන සංඛ්‍යාව අතර බහුතරය කවුරුන්දැයි අමුතුවෙන් අටුවා ලියන්නට අවශ්‍ය නොවේ.



ප්‍රසුත නිවාඩු?

සිංහල ජනගහනය වැඩි කරගන්නට අවශ්‍ය නම් බොහෝ ආයතන වල මුල් පුටු හොබ වන නිලධාරීන් තම ආයතන වල සේවය කරන කාන්තාවන් ප්‍රසුත නිවාඩු ලබා ගැනීම පිළිබඳව සුබවාදී ඇසකින් බැලිය යුතුය. නමුත් අද සිදු වන්නේ කුමක්ද? වැඩිම කාන්තා ප්‍රතිශතයක් සහිත රජයේ වෘත්තීය ශ්‍රේණියක් වන හෙද සේවාවේ ප්‍රසුත නිවාඩු ලබා ගන්නා අයට දඬුවම් මාරු දෙන ක්‍රමයක් තිබේ. මගේ මිතුරෙකුගේ බිරිය හෙදියකි. ඔවුන්ගේ දරු දෙදෙනා වෙනුවෙන් ලබා ගත් ප්‍රසුත නිවාඩු අවසන් වී සේවයට පැමිණි අවස්ථා දෙකේම ඇය  වඩා දුෂ්කර ස්ථාන වලට මාරු කරන ලදී.

කාන්තා ප්‍රතිශතය වැඩි තවත් රැකියාවක් වන ගුරු වෘත්තියේ විදුහල්පති ප්‍රතිශතය තුළ පිරිමින් ඉහළය. මගේ නිරීක්ෂණයට අනුව දරුවන් ලැබීම වැඩියෙන්ම අධෛර්ය කරන ක්ෂේත්‍රයක් වන්නේ ගුරු වෘත්තියයි. රැකියා කරන කාන්තාවක් ප්‍රසුත නිවාඩු ලබා ගැනීම වරදක් සේ සලකන තත්වයක් මුළු සමාජය තුලම පවතී.

සිංහලයන්ට මුස්ලිමුන් සමග තරඟයට දරුවන් හදමින් ජනගහනය වර්ධනය කරගන්නට අවශ්‍ය නම් එය පටන් ගත යුත්තේ දිළිඳුකම පැටව් ගහන සමාජ ස්ථර වලින් නොවේ. ඉහළ ධනවත් සමාජයෙනි.

‍එසේ නොකර ‍ජාතිවාදී බියක් සිංහලයන් අතර පතුරුවමින් සිටින්නේ කපටීන් පිරිසක් බව අවධාරණය කළ යුතුය.

මුස්ලිම් භීතිකාව

සිංහලුන්ට විශේෂයෙන්ම සිංහල බෞද්ධයින්ට මුස්ලිම්වරුන් කෙරෙහි එක්තරා ආකාරයක පදනම් විරහිත බියක් ආරෝපණය කර තිබේ. සමහරුන් එය වෛරයක් කර ගන්නා අතර සමහරුන්ට එය කනස්සල්ලකි. ඊට සමගාමීව පොදුවේ මුස්ලිම්වරුන්ටද සිංහලුන් කෙරෙහි බියක් සැකයක් ඇති බව පෙනේ. මුස්ලිම් බිය යනු මේ අන්‍යෝන්‍ය බියයි. මේ අතර කිසිම බියක් සැකක් නැති සිංහලුන් මෙන්ම මුස්ලිම්වරුන්ද නැතුවා නොවේ. මුස්ලිම් බියට හේතුව සිතා මතා හෝ නොසිතා හෝ මුස්ලිම්වරුන් විසින් කර ගෙන යනු ලබන සංස්කෘතික ආක්‍රමණයක් යැයි සිංහල ප්‍රජාව සිතන්නට පටන් ගෙන තිබේ. පසුගිය වසර පහළොවක් විස්සක් පමණ කාලයේ සිට මුස්ලිම්වරුන් ජන වර්ගයක් ලෙසට පොදුවේ කරන කටයුතු හරහා සිංහලුන්ගේ සංස්කෘතික අවකාශය ආක්‍රමණය කරමින් සිටිතියි ඔවුන්ගෙන් කොටසක් සිතන්නට පටන් ගෙන තිබේ. ඔවුන් මේ සඳහා උදාහරණ ලෙස දක්වන්නේ හලාල් ප්‍රශ්නය, බොදු බිම් ආක්‍රමණය, අනවසර පල්ලි ඉදිකිරීම් ආදියයි. මෙම කරුණු කිසිවක් සත්‍යය පදනම් කර ගත් ඒවා නොවේ. මුස්ලිම් බිය අනියත පදනම් විරහිත හුඹස් බියකි. මුස්ලිම් සංස්කෘතියට මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය බිම දැමීමට කිසිම ආකාරයක අරමුණක් නොමැත. අපගේ මතය වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය වැටෙන්නේ, අදටත් වැටෙමින් පවතින්නේ සිංහල ප්‍රජාව බටහිර ගරා වැටුණු සදාචාර විරෝධී සංස්කෘතිය අනුකරණය කරමින් බෞද්ධයින් වෙන්නට උත්සාහ කරන නිසාවෙනි.

මීට දශක තුනකට පමණ ඉහතදීවත් මෙරට මුස්ලිම් බියක් නොතිබිණි. එකල වෙසක් කාලයට බෞද්ධයින්ගේ තොරණ් වල ඇසුනේ මොහිදීන් බෙග් ගේ ගීතය. ඔහු බෞද්ධයෙකු නොවන වග බෞද්ධයින්ට වැදගත් නොවිණි. ඔහු බෞද්ධයෙකු නොවීම ඔහුටද වැදගත් නොවුණා විය යුතුය. එවැනි වතාවරණයක් මෙරට යළිත් ඇති කර ගත හැකිය. සිංහලුන් නිදහස් චින්තනයක් ගොඩනගා ගන්නා තුරු මෙරට ජාතීන් අතර සංහිඳියාවක් ඇති කිරීම ඉතාම දුෂ්කර ක්‍රියාවක් වනු ඇත. මෙරට ජාතීන් අතර සංහිඳියාවක් ඇති නොවෙනතුරු ජාතියක් වශයෙන් ශ්‍රී ලාංකික කිසිවෙකුටත් ඉදිරි ගමනක් නොමැත.

මෙම සියලු කරුණු කෙරෙහි සාවධාන ව විමසුමක යෙදී සෑම සමාජ ප්‍රශ්නයකටම මුස්ලිම් ප්‍රජාව දෙසට ඇඟිල්ල දිගු නොකොට කරුණාකර තමන් දෙසට හැරී ගත යුතු නිවැරදි ක්‍රියාවන් ගැනීමට අපගේ හිතවත් සහෝදර සිංහල ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නට කැමැත්තෙමු. සියලු සමාජ ප්‍රශ්න අවබෝධ කර ගෙන ඒවාට නිසි පිළියම් යොදා ශක්ති සම්පන්න ශ්‍රී ලංකාවක් ගොඩ නගන්නට ලක් මවගේ සියලු දරුවන් එකට අත්වැල් බැඳ ගනිමු.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons