භික්ෂුවක් හමුවුණෙමු


භික්ෂුවක් හමුවුණෙමු

සෙනසුරාදා දිනකි. කිහිපවිටක්ම මගේ ජංගම දුරකථනය නාදවෙන්නට විය. අමතක කරන්න්නෙපා අද අහවල් තැන සාදු කෙනෙක් හමුවෙන්න තිබෙනවා. (අප ව්‍යවහාරයේ හිමිනමක් අමතන්නේ සාදු යනුවෙනි). බෞද්ධ සහෝදරයකුගේ ආරාධනාවක් මත අප තේ පැන් සාදය සඳහා එක්ෂුබිෂන් පාරේ ඇති ජාෆර් ෆාමසිය අසල රැස්වූ අතර එම සහෝදරයා පැමිණ ඔහුගේ නිවසට අපව රැගෙන ගියා.

අප එම නිවසට ඇතුළුවීමත් සමග එන්න ජිෆ්රි මහත්තයා යන හඬ සාලයේ සිට ඇසෙන්නට විය. ඉතා හොඳ පෙනුමකින් යුත් හිමිනමක් එසේ ජිෆ්රි සහෝදරයාව ඇමතීම මා තුල කුතුහලයක් ඇති කරන්නට විය. හේතුව මා කුඩා කාලයේ පාසල් හැර ගෙදර පැමිණ දවල් ආහාරය ගත්විගස දුවන්නේ අපේ පන්සලටය.

අවු 25 කට පෙර අතීතයට මගේ මතකය දුවන්නට විය. අපේ පන්සලේ තරුණ හිමි නමක් අප සමග ඉතා ආදරයෙන් සිටියා. පන්සල් මිදුලේ අප සමග ක්‍රිකට් සෙල්ලම් කළා. මා මුස්ලිම් ජාතිකයකු වුවත් ඒ බවක් කිසිම අවස්ථාවක අංශුමාත්‍රයක ඉඟියක් පන්සලේ සිටි කිසිම හිමි නමකගෙන් කිසි විටක දකින්නට නොලැබුණි. මා අපොස සාපෙළ දක්වා අමතර පන්ති ගියේ එම පන්සලේය.

 එම පන්සලේ නම ගුණවර්ධනාරාමය පන්සලයි. පොහොය දවසට ශබ්ද විකාශන මගින් පිරිත් අසන්නට ලැබේ. පන්සල පිටුපස මුහුණට මුහුණලා විශාල මුස්ලිම් පල්ලියයි. දිනකට පස් වතාවක් අදාන් (බාංගු) ශබ්ද විකාශන මගින් අසන්නට ලැබේ. පල්ලියේ දකුණු පසට වෙන්න ලොකු හින්දු කෝවිලකි. මහා විශාල ඝාන්ඨාරයක් එම කෝවිල සතුව ඇති අතර එමගින් උදේ සවස නාද කරනු ලබනවා. පන්සලත් සමග මීටර පනහක් පමණ ඉදරියට ගියවිට විශාල ක්‍රිස්තියානි පල්ලියකි. එහි ආගමික වතාවත් ශබ්ද විකාශන මගින් විසුරුවා හරිනු ලබනවා. කිසි විටක කිසිම සුළු ප්‍රශ්නයක් මොවුන් අතර දක්නට ලැබුනේ නැත. එකිනෙකා පරස්පරව හඳුනා ගෙන සිටීම මෙයට හේතුවයි. ඒ වගේම ඔවුන් අතර සර්වාගමික එක්මුතුවක්ද තිබේ. මෙම ප්‍රදේශයේ 60% මුස්ලිම්වරු සිටීම විශේෂයකි.

මා හා එම පන්සල අතර ලොකු බැඳීමක් තිබුණි. සිංහල භාෂාව පිලිබඳ දැනුම මා වර්ධනය කලේ මෙම පන්සලෙනි. අපොස සා පෙළ විභාගයෙන් පසු මාද එම පන්සලේ අමතර පන්ති ගුරුවරයකු ලෙස සේවය කලෙමි. මාසික ගාස්තුව වශයෙන් රු.500/-ක මුදලක්ද මට ලැබුණි. සමහර වෙසක් කාලවල එම පන්සලේ භක්ති ගී මෙන්ම විනෝදාංශ එනම් සොහොන් පිටිය වගේ දේ සංවිධානය කරනු ලැබුවා. ඒ දවස්වල සමහර අංග සඳහා ප්‍රචාර කටයුතුවලට මා අනිවාර්යයෙන් සහභාගී වන්නෙමි.
මෙසේ මගේ සිතුවිල්ල අතීතයකරා යමින් සිටියදී යමකු මා ඇමතීමෙන් එය බිඳී ගියේය. ඒ අවස්ථාව වන විට අප සමග පැමිණි අය එකිනෙකා තම තමන්ව එම හිමි නමට හඳුන්වා දුන්හ. මගේ අවස්ථාව වන විට මා ගැන තතු පැවසූ අතර මා එම පන්සල පිළිබඳවද පැවසුවෙමි.

එවිට එම ස්වාමින්වහන්සේ, එක ගුනවර්ධනාරාමයද මාත් ඒ පැත්තට කිහිප විටකම ඇවිල්ලා තියෙනවා යනුවෙන් පැවසුවා.

මහත්තයලා මේ එවිල්ලා කොච්චර කලද ? යන්වෙන් අසා නැවත එතුමා කතාව පටන්ගත්තා.
අපි මේ කාන්තාර පෙදෙසට එවිල්ලා යමක් කමක් හම්බකරන්නේ අපිත් ජීවත් වෙලා අපේ පවුලේ උදවියත් ජීවත් කරවන්න. අන්න ඒවගේ මේ ලෝකයේ සිටින සියලුම අය ජීවත් වෙන්න කැමති. අපි ජීවත් වෙනවා වගේම අනිත් අයත් ජීවත් වෙන්න ඕන. අනුන්ගේ ජීවිතයට හානි කරන එක නැත්නම් අනුන්ව රිදවන්න ඉස්සර අපිට කවුරු හරි රිදෙව්වොත් දැනෙන වේදනාව කොයිතරම් ද කියලා බලන්න ඕන.
එවිට අපෙන් කෙනෙකු, අල්කුරානයේ අල්ලාහ් දෙවියන් පවසනවා යම් කෙනෙකු නීතිමය පියවරක් නොමැතිව යම් පුද්ගලයකු ඝාතන කරයි ද ඔහු මුළු මිනිස් සමාජයම ඝාතනය කරා හා සමානයි. කවුරු යමකු මරණයෙන් බේරා ගන්නේද ඔහු මුලුමිනිස් සමාජයටම ජීවිත දානය දුන්නා හා සමානයි.(5:32) යනුවෙන් පැවසුවා. එවිට එතුමා අන්න හරි. සියලු දෙනා මේක හිතේ තියාගෙන වැඩ කලයුතුයි යනුවෙන් පවසා අපට පන්සිල් පද පිළිබඳව කරුණු කීපයක් කියා දුන්නා.

මේ රටේ මොකුත්ම නැහැ එහෙත් ඔක්කොම ලැබෙනවා. අපේ ලංකාවේ ඔක්කොම තියනවා නමුත් අපිට මුකුත් නැහැ. මෙහෙ මාස හයක් ගිනි අව්ව එලියට යන්න බැරි තරම් උෂ්ණ අධිකයි. මාස හයක් සීතලේ ගැහි ගැහි ඉන්න වෙනවා. කාන්තරය මැද නගර නිර්මාණ කරලා තියෙන්නේ. මුහුද පුරවලා අහස උසට මහා ගොඩනැගිලි හදලා තියෙනවා. නමුත් ලංකාව කොච්චර ලස්සන රටක්ද, යනුවෙන් කෙනක් පැවසුවා.
එවිට එම ස්වාමින්වහන්සේ, දැන් ලංකාව හොඳයි, ජනාධිපති තුමාත් ළඟදී, මේ රටේ සියලු දෙනා මගේ දරුවන් කියලා ප්‍රකාශ කරලා තියනවා. සියලු දෙනා මගේ දරුවන් කියන්නේ සිංහල වේවා මුස්ලිම් වේවා දෙමළ වේවා. සියලුදෙනා පිළිබඳවයි එතුමා ප්‍රකාශ කරලා තියෙන්නේ යනුවෙන් අප සමඟ පැවසුවා.
තාරික් සහෝදරයා අපගේ නැමදීමේ වේලාව පැමිණ ඇතිබව මතක් කළා. එවිට අපව අරාධනා කල සහෝදරයා සහ ඔහුගේ පවුලේ අය අපට නැමදුම් කිරීමට ඉඩ සලසා ඒ සඳහා අපට පැදුරක්ද ලබා දුන්නා. එවිට ඒ පිලිබඳව තාරික් සහෝදරයා මුහම්මද් තුමාගේ මස්ජිදයට ක්‍රිස්තියානි පුජකයන් කිහිපදෙනෙකු පැමිණ සිටියා. ඔවුන් දින තුනක් තිස්සේ එම මස්ජිදයේ රැඳී සිටි අතර ඔවුන්ගේ ආගමික වතාවත්ද මස්ජිදයතුලම ඉටු කළා යනුවෙන් පැවසුවා.

කි සැරයක් ඔයගොල්ලෝ දෙවියන් නමදිනවාද යනුවෙන් එම ස්වාමින් වහන්සේ  මගෙන් විමසූ අතර පස් වතාවක් යනුවෙන් මා පවසනවාත් සමගම මේ අපි කරන්න යන්නේ දවසේ හතරවන නම්දුම් යනුවෙන් සල්මාන් සහෝදරයා පැවසුවා. තවදුරටත් ඔහු පස් වතාවේ නැමදුම් කාලය පිලිබඳ කරුණු කිහිපයක් පවසන අතරතුර, ඇයි පස් වතාවක් නමදින්නේ යනුවෙන් එම සවමින් වහන්සේ අපෙන් ඇසුවා. එවිට මා, නැමදුම මගින් අල්ලාහ් දෙවියන්ට කිසිම යහපතක් සිදුවන්නේ නැහැ. යහපත අල්ලාහ්ගේ ගැත්තන් වන අපටයි. එනම් මිනිසා ස්වභාවයෙන්ම වැරදි කරන සුළු අතරම ඉක්මනටම යමක් අමතක කර දමනවා. නියමිත ආකාරයට පස් වේලක් නමදින අය අල්ලාහ් පිලිබඳ මතක තියාගන්නා අතරම දුශ්ශීල හා පාප ක්‍රියාවන්ගෙන් දුරස් වෙලා සිටිනවා. එක සැරයක් නැමැදුම් කරලා පාප ක්‍රියා කරන්න ඉතා පහසුවන අතර දිනකට පස් සැරයක් දෙවියන් හමුවන අය පාප ක්‍රියාවන් ගෙන් ඈත්වෙලාම ඉන්නවා.

මෙය ඇසු එම ස්වාමින් වහන්සේ, කොච්චර හොඳ දෙයක්ද යනුවෙන් පැවසු අතර අප නැමදුම අවසන් කර තේපැන් සංග්‍රහයට එක්වුනෙමු. ශ්‍රී ලංකික ආගන්තුක සත්කාර කිසිම අඩුවකින් තොරව අපට ලැබුණී. ශ්‍රී ලාංකිකයින් වශයෙන් සහයෝගයෙන් හා සහජීවනයෙන් අපට මේ වගේම ජීවත් වීමට ලැබුනා නම් මේ ලංකාව අපට සුරලොවක් වෙනවාට සැකයක් නැත.

අඳුරෙන් ආලෝකයට දෙවැනි කොටස


අඳුරෙන් ආලෝකයට දෙවැනි කොටස

ගෝත්‍ර වාදය, මමත්වය හා මේ කෙටි කාලීන ජීවිතය සඳහා වස්තු තණ්හාව ඇති කරගෙන  මේ ලෞකික් ජීවිතයට අසීමිත ලෙස ප්‍රේම කරන වෛරයෙන් හා ක්‍රෝධයෙන් පිරිචච මානසිකත්වකින් යුක්ත මනුෂ්‍යයන් රජකරන කාලයක ජීවිතයේ අර්ථය පහදාදීම යනු සුළු පටු කාර්යයක් නම් නොවේ. සමාජ සෝදකයන්, දාර්ශනිකයින්, හා බුද්ධිමතුන් කොපමණ සිටියත් ජිවිතයේ යථාර්තය පටු හදහස්වලින් අන්ධකාර වූ සමාජ තලයක සිටින්නවුන්ට පහදා දීම අහසට පොළොව මෙන්ය.




(අඳුරෙන් ආලෝකයට පළමු කොටස - http://islaamaya.blogspot.com/2012/07/blog-post_5832.html )

මිනිස් සංහතියේ උන්නතිය හා යහ ජීවනය තකා අල්ලාහ් දෙවියන්ගෙන් ලැබුණු අල්කුරානයේ ප්‍රථම වාක්‍ය එනම් කියවනු යන ශබ්දය ඇසීමත් සමඟ තිගැස්සුණු මුහම්මද් තුමා හැරී බලනකල එතුමාට දර්ශනය වුයේ මහා විශාල රූපයකි. තවදුරටත් භීතියට පත් මෙතුමා අසලට මෙම විශාල රුපය ලංවීමට පටන්ගත් අතර මෙම විශාල පුද්ගලයාගේ රූපය දෙස විශ්මයෙන් බලන්නට විය. මෙම නුපුරුදු කිසිදාක නොදුටු මෙම විශාල මිනිසා ලංවී පැවසුවේ කියවන්න යනුවෙනි. ලිවීමට හෝ කියවීමට නොදත් මෙතුමා තමන්ට කියවීමට නොදන්නා බව පැවසුවද එම පුද්ගලයා නැවත නැවත කියවනු යනුවෙන් පැවසීමත් සමඟ මුහම්මද් තුමා කියවීමට නොදනිමි යනුවෙන් පිළිතුරු දුන්හ. එවිට එම පුද්ගලයා මෙතුමාව තදකර අල්ලාගෙන පහත අල්කුරානයේ වාක්‍යයන් කියවන්නට පටන් ගත්හ.

96.1 (සියලු දෑ) මැවූ ඔබේ රක්ෂිතයාගේ නාමයෙන් කියවන්න.
96.2 ලේ කැටියකින් (අලක්) මිනිසා මැවුවේය. *1
96.3 – 4 කියවන්න! පෑන මගින් ඉගැන්වූ ඔබේ රක්ෂිතයා මහත් පරිත්‍යාගශීලීය.
96.5 මිනිසාට නොදන්නා දෑ ඔහු ඉගැන්වූයේය.


ඉන්පසු එම මිනිසා නොපෙනී ගිය අතර මේ අලුත් අත්දැකීමෙන් බියට පත් මුහම්මද් තුමා තමන්ගේ ආදරණීය බිරිඳගේ නිවසට ගොඩවිය. බිරිඳ අමතා තමාව පොරවන ලෙස ගැහි ගැහි අයදින්නට විය. කිසිදිනක නොදුටු තමන්ගේ ආදරණීය සැමියාගේ හැසීරීම වටහා ගත නොහැකිව කතීජා තුමිය තුෂ්නිම්භූත විය. එවිට තමන්ට මුහුණ පාන්නට සිදුවූ දේ පිලිබඳ ඇයට විස්තර කළහ. බොහෝ විට පිරිමියකුගේ සියලු ගති පැවතුම් හා ක්‍රියා කලාපයන් බිරිඳ හොඳාකාරව දැන සිටින අතරම ඒ හා සමානව  ඇයගෙන් උපදෙස් ද ලැබීම සාමාන්‍ය දෙයකි. ඒ ආකාරයෙන්ම මුහම්මද් තුමාවද ආදරණීය බිරිඳවන කතිජා තුමිය පහත ආකාරයට දිරිමත් කලාය.

"ඔබ යහපත් පුද්ගලයකුගේ යහපත් පුතෙක්. කිසිදාක අනුන්ට අයහපතක්වීම අනුමත නොකරන ඔබ අනුන්ට උදව් කිරීමෙහිලා ප්‍රමුකව කටයුතු කරන්නෙකි. අමුත්තන්ට සංග්‍රහ කරන ඔබ අසල්වසියන්ටද උදව් කරන්නේය. එනිසා ඔබට අයහපතක් සිදු නොවේ. අල්ලාහ් දෙවියන් ඔබව රකීවි" යනුවෙන් පැවසුවාය.

කෙසේ වෙතත් කතිජා තුමිය තමන්ගේ ඥාතියකුවන ක්‍රිස්තියානි ධර්මය පිලිබඳ මනා දැනුමක් ඇති වරකා ඉබ්නු නව්ෆල් තුමාගෙන් මේ පිළිබඳව ඇසූ විට  වරකා ඉබ්නු නව්ෆල් තුමා මෙසේ දෙවියන්ගෙන් පණිවුඩ ලබන්නේ වක්තෘවරුන්ට පමණක් බැවින් අල්ලාහ් දෙවියන් විසින් මුහම්මද් තුමාව වක්තෘ වරයකු ලෙස තෝරාගෙන තිබෙන බව පැවසුහ.

මෙසේ කාලය ගෙවෙත්ම වසර තුනක්ම මුහම්මද් තුමා සර්වඥය අල්ලාහ් දෙවියන්ගෙන් තමන්ට ලැබෙන පණිවුඩ ඉතා සීමිත අයට පමණක් එළිදරව් කළහ. තමන්ගේ කල්‍යාන මිත්‍රයා වන අබුබක්කර් තුමාද තමාගේ ඥාති පුත්‍රයකු වන අලි තුමාද මෙය ඇසු විගස මුහම්මද් තුමාව විශ්වාස කළහ. දිනක් මෙම සත්‍යය සියල්ලන්ටම දැනුම් දියයුතු බවට අල්ලාහ් දෙවියන්ගේ අණ ලැබිණි.

ඒ අනුව සියල්ලන්ම රැස්වසිටින ක:බාව ඉදිරිපිට ඇති කන්දකට නැගගත් මෙතුමා හඬ නගා සියල්ලන් ඇමතුහ. "මේ කඳු පේලියට පිටුපසින් ඔබට පහර දීමට සේනාවක් පැමිණ සිටිනවා යනුවෙන් මා පැවසුවහොත් ඔබලා එය විශ්වාස කරනවද" යනුවෙන් ඇසුහ. එවිට ඔවුන් "ඔබ අපගේ ගෞරවයට පාත්‍රවූ අයකි. ඔබ කිසිදිනක බොරු පවසන්නේ නැත. අප ඔබව විශ්වාස කරන්නේමුයි" පැවසුහ. එවිට එතුමා " එයටත් වඩා භයානක මතු ජීවිතය ජයගැනීමට මා සමග එක්වන්න. අල්ලාහ් දෙවියන්ට පමණක් අවනත වෙන්න, අයහපත් දේ අතහැර යහපත කරා පැමිණෙන්න යනුවෙන් පැවසුහ.

මෙයත් සමගම මෙතෙක් කාලයක් අස්සාදික් අල්අමීන් එනම් සත්‍යවන්තයා විශ්වස්වන්තයා යනුවෙන් ගරුනාම ලබපු මුහම්මද් (එතුමාට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා) තුමාගේ දිවියේ ඉතාම භයානක කාල පරිච්චේදය ආරම්භ විය.

මෙතුමාගේ මාර්ගයට පැමිණියහොත් තමන්ගේ මහන්තත්වය, සැප සම්පත් සුඛෝපභෝගී ජීවිතය නැති වේ යන බිය නිසා මෙතුමාට හැකිතරම් විරෝධය පෙන්වීමට මෙම නින්දිත ජනයින් වග බලා ගත්හ. ශාරීරික හා මානසික වශයෙන් නොයෙකුත් වධබන්ධානයන්ට ලක්වීමට මෙතුමාට හා මෙතුමාගේ අනු ගාමිකයන්ට සිදුවිය.

මෙසේ දිනෙන් දින මුහම්මද් තුමාගේ අනුගාමික සංක්‍යාව වර්ධනය වීම නොරූස්සු මොවුන් මෙතුමාව හා මෙතුමාගේ පවුලේ සාමාජිකයන්ව සමාජයෙන් වෙන්කර ඔවුන්ට ආර්ථික තහංචිද පැනවූහ. මේ නිසා මෙතුමාට අනේකවිද දුක් කම්කොටලුවලට මුහුණපාන්නට සිදුවුවත් තමන්ගේ ප්‍රචාර කටයුතු එලෙසම කරගෙන ගියහ.

ඉස්ලාමීය ප්‍රචාරය නවතා දැමීමට නොහැකි මක්කා නගරයේ කුරයිස්වරු මෙතුමා සමග අන්‍යෝන්ය සම්බන්දතාවයක් ගොඩනැගීමට තෙත් කළහ. ඒ අනුව මනා දැනුමක් ඇති අය ලවා මෙතුමාට පහත පරිදී යෝජනා මාලාවක් යොමු කළහ.

1. ඔබට අවශ්‍ය පරිදි වස්තුන් අප නොමිලයේ ලබා දෙන්නම්
2. ඔබ කැමති රූමත් තරුණියක් විවාහ කරගන්න
3. ඔබ අපේ නායකයා ලෙස පිළිගන්නම්

ඒ වෙනුවෙන් ඔබ ඔබේ ප්‍රචාරය නවතාදමන්න. අපේ දෙවි වරුන්ව දිනක්ද ඔබේ දෙවියන්ව දිනක්ද නමදින්න ඉඩ හරිය යුතුය යන්න පැවසුහ. එවිට අල්ලාහ් විසින් පහත සඳහන් අල්කුරන් වාක්‍ය පහල කරන ලදී.

 (නබියේ! ප‍්‍රතික්ෂේප කරන මක්කාවාසීන්ට) ඔබ මෙසේ පවසනු: ප‍්‍රතික්ෂේප කරන්නෙනි! ඔබ නමදින දැය මා නමදින්නේ නැත. මා නමදින තැනැත්තා ඔබ නැමදුවේ නැත. (ඒ අන්දමටම) මින් පසුවද, ඔබ නමදින දැය මා නමදින්නෙකු නොව. මා නමදින්නාට මින් පසුව ඔබ නමදින්නන් නොව. ඔබගේ (අපරාධයන්ට අයත්) ඵලවිපාක ඔබටත්, මගේ (ක‍්‍රියාවන්ට අයත්) ඵලවිපාක මටත් ලැබෙන්නේය.


මෙම සිදුවීමත් සමගම මුහම්මද් තුමාගේ අධිශ්ඪානය ලෞකික ජීවිතය නොවන බව වටහා ගත් මොවුන් අවසන් වරට මෙතුමාව ඝාතනය කිරීමට තීරණය කළහ.
(ඉතිරි කොටස ළඟදීම බලාපොරොත්තු වන්න)

අඳුරෙන් ආලෝකයට පළමු කොටස
http://islaamaya.blogspot.com/2012/07/blog-post_5832.html

ෆේස් බුක් facebook ඔබේ මිතුරාද නැත්නම් හතුරාද?


ෆේස් බුක් facebook ඔබේ මිතුරාද නැත්නම් හතුරාද?

ලොව ප්‍රබලම සමාජ වෙබ් අඩවියක් වන ෆේස් බූක් වෙබ් අඩවිය අද වන විට අන්තර්ජාලයේ සමාජ වෙබ් අඩවිවල ඒකාධිකාරීතත්වයක් පතුරුවා ඇති බව රහසක් නොවේ. මෙහි සාමාජික ගිණුම් බිලිනය ඉක්මවයි. සෑම ලෝකවාසී හයෙන් එක් කෙනෙකු මෙහි සමජිකයකි. ලොව හොඳම ප්‍රචාරක මාර්ගයද මෙම ෆේස් බූක් වෙබ් අඩවියම වේ. එපමණක් නොව ලොව විශාල රාජ්‍යයන්වල බිඳ වැටීමටද මෙයම හේතුකාරක වූ බව අරාබි කරයේ සිදුවූ පුටු මාරුවීම්වලින් පැහැදිලිවිය. නමුත් මේ ප්‍රසිද්ධිය සමගම තවත් අහිතකර දේද මේ හා බැඳුනු භායනක් සිදුවීම්ද විශාල ලෙස වාර්තා වෙන්නට පටන්ගෙන ඇත. ඒවායින් සමහරක් පහත දැක්වේ.

1. සෑම මිනිත්තු 40කට වරක් බ්‍රිතාන්‍ය තුළ Face Book හා බැඳුණු අපරාධයක් සිදුවන බවට එහි බුද්ධි අංශය අනාවරණය කරගෙන් ඇත.
2. මෙම ගණන නිවැරදි නොවන බවත් මෙයටත් වැඩ වැඩි විය හැකි බවත්  තවත් පාර්ශ්වවලින්
   චෝදනා එල්ලවෙමින් පවතී
3. මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, හා පැහැර ගැනීම් ෆේස්  බුක් හා ඈඳුනු අපචාර අතර ප්‍රධානයි.
මේ හා බැඳුනු කතා බොහෝය. ඒ අතරින් සමහරක් පමණක් අප මෙහි සඳහන් කරන්නෙමු.

කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රදේශයේ ජීවත් වූ 15 හැවිරිදි අමන්දා ටොඩ් දියණිය ජීවිතය පටන් ගැනීමටත් පෙර ජීවිතයෙන් සමු ගැනීමට තීරණය කළා ය. ඇගේ මරණය සිය දිවි නසා ගැනීමක් ලෙස නීතිය හමුවේ තීරණය වුව ද, සමාජ විද්‍යාත්මක ඇසින් බැලුවොත් එය මිනී මැරුමකි මිනීමරුවා පැමිණයේ අන්තර්ජාලය ඔස්සේය ඒ අනුව අමන්දාගේ මරණය, අන්තර්ජාලය නිසා සිදු වී ඇති ජංජාල ලැයිස්තුවට තවත් අංගයක් එකතු කර ඇත.

අන්තර්ජාලය ඔස්සේ විවිධ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් සමග වීඩියෝ සංවාද පවත්වන විට අමන්දා ටොඩ් හතේ පන්තියේ ඉගෙන ගන්නා (වයස අවුරුදු 12) දැරියකි. එසේ සංවාද පැවැත්වූ එක් පුද්ගලයෙකු ඇයට උඩුකය නිරාවරණය කරන්නැයි ඉල්ලීමක් කර ඇය එසේ කළ විට ඡායාරූපයක් ගත්තාය. එය යොදාගෙන ඇගෙන් අයුතු ප්‍රයෝජන ගන්නට බැලුවේ ය. ඊට ඇය එරෙහි වන විට අදාළ පුද්ගලයා විසින් ඇය දන්නා හඳුනන සියලු දෙනාට එම ඡායාරූපය යැවීම නිසා ඇය බොහෝ දෙනාගේ විහිළුවට සහ ශාරීරික මෙන්ම මානසික පීඩාවට ලක් විය. අවසානයේදී මෙයින් කලකිරී තමාව බේරා ගැනීමට එයට දිවි නසා ගැනීමට සිදුවිය. (උපුටා ගැනීම : ලක්බිම)

මාක් සූකර්බර්ග් ෆේස් බුක් සමාගමට තමන් පිළිබඳවම තක්සේරුවක් ලෝකයාට ඉදිරිපත් කරන්නට සිදු වූයේ ෆේස් බුක් වබේ අඩවියේ ඇති ව්‍යාජ ගිණුම් හරහා සිදුවන සමාජ අපරාධ පිළිබඳව බොහොමයක් පාර්ශ්වවලින් දැඩි චෝදනා එල්ල වීමත් සමගය. එනම් ෆේස් බුක් සමාගම මෙවැනි හෙළිදරව්වක් කළේ “බැරිම තැන හන්දියට” පැමිණීමෙන් පසුවය.

එමෙන්ම මේ වසරේදීම බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන්ද ෆේස් බුක් වබේ අඩවියට රතු එළියක් දැල්වුණි. ඒ එරට ආරක්ෂක අංශ මගින් නිකුත් කෙරුණු වාර්තාවක් නිසාය. ෆේස් බුක් සමාගම කලබල කළ එම වාර්තාවෙන් කියැවුණේ දළ වශයෙන් ගතවන සෑම මිනිත්තු 40කට වරක් ෆේස් බුක් හා ගෑවුණු අපරාධයක් බ්‍රිතාන්‍ය තුළ කොතැනක හෝ සිදුවන බවයි.

පසුගිය වසර තුළ එරට ආරක්ෂක අංශවලට කිනම් අයුරකින් හෝ ෆේස් බුක් සමග ඈඳුනු අපරාධ පිළිබඳව පැමිණිලි 12300ක් වාර්තා වී ඇති බවද අනාවරණය විය.

මේවා අතරින් බහුතරයක්ම වූයේ මිනීමැරුම් ස්ත්‍රී දූෂණ ළමා අපචාර හා පැහැර ගැනීම් ආදියයි. එමෙන්ම පුද්ගලයන් අපහසුතාවට පත් කිරීමේ අරමුණ ඇතිව නිරුවත් ඡායාරූප ඇතුළු කිරීම කුඩා දරුවන් හා මිතුරු වී ඔවුන් රවටා විවිධ අපචාර ක්‍රියා සඳහා යොදා ගැනීම වෙනත් අයකුගේ නමින් ෆේස් බුක් තුළ පෙනී සිටිමින් ඔවුන් අපහසුතාවයට පත් කිරීම ආදී කරුණුද එහි අඩංගු වී තිබුණි.

ඒ එංගලන්තයේ තත්ත්වයයි. සුද්දාගේ රටේ තරමටම නොවුණත්, අපේ රටෙන්ද ෆේස් බුක් නිසා සිදුවුණු අපරාධ ඕනෑ තරම් වාර්තා වී තිබේ.

වරක් කොළඹට ආසන්න ප්‍රදේශයක ගුරුවරියක් ෆේස් බුක් හරහා හඳුනාගත් තරුණයෙක් සමග හාදකමක් ඇති කර ගත්තේය. කෙසේ වුවද වැඩි යාළුකම නපුරට ගොස් අවසානයේ ඇයට නීතියේ පිහිට පතන්නට සිදුවිය. ඒ, පෙර කී තරුණයා ඇයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කරන්නට පටන් ගැනීමත් සමගය.

ගාල්ල නගරයේ එක්තරා ජනප්‍රිය බාලිකා පාසලක සාමාන්‍ය පෙළ පන්තියක අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියකගේ නිවසේ ඇය පමණක් සිටි අවස්ථාවක මහා කලබගෑනියක් හටගෙන තිබුණි. විපරම් කර බැලූ අසල්වැසියන්ට දැකගන්නට ලැබුණේ මිදු‍ලේ ‍පොරබදමින් වහසි බස් දොඩමින් සිටින තරුණයින් තිදෙනෙකි.
අවසානයේ හෙළි වූයේ අපූරු කරුණකි. මෙම ළාබාල සිසුවිය ෆේස් බුක් හරහා හඳුනාගත් තරුණයන් ගණනාවක් සමගම විවිධාකාරයෙන් සබඳතා පවත්වාගෙන ගොස් තිබුණි. දෙමාපියන් නැති මොහොතක ඇය හමුවීමට අහම්බෙන් එකම මොහොතක පැමිණි තරුණයන් තිදෙනෙකු තරුණියට ඇති තම තමන්ගේ අයිතිවාසිකම් කියන්නට උත්සාහ කිරීම නිසා පෙර කී ගැටුම හටගෙන තිබුණි.

තවත් අවස්ථාවක ප්‍රසිද්ධ රාජ්‍ය බැංකුවක සේවය කළ තරුණියකට ඇගේ ජංගම දුරකථනයට පමණක් නොව නිවසේ සහ රාජකාරි ස්ථානයේ දුරකථනයට පවා ඉතාමත් පහත් මට්ටමේ ඉල්ලීම් රැගත් පණිවුඩ ලැබෙන්නට විය. ඇයට මෙය මහත් පීඩාවක් වූ අතර අවසානයේ හෙළි වූයේ මෙසේ වීමට හේතුව ඇගේ නමින් අන්තර්ජාලයේ පැවැති ෆේස් බුක් ගිණුමක් බවය. මෙම තරුණිය සැබවින්ම ෆේස් බුක් වබේ අඩවියේ සිටියේ නැත. එනමුදු වෙනත් කිසිවෙකු ඇගේ නමින් ඇගේ ඡායාරූප කිහිපයක් යොදාගෙන ඉතා පහත් මට්ටමේ ෆේස් බුක් ගිණුමක් සාදා තිබුණි. කෙසේ හෝ මේ කරදරය විසඳාගත්තද, එම ෆේස් බුක් ගිණුම සකස් කළ පුද්ගලයා නම් අදටත් රහසකි. එම තරුණිය අනුමාන කරන්නේ රාජකාරිමය කටයුත්තකදී සිදු වූ අමනාපවීමක් නිසා එම අදාළ පුද්ගලයා මෙය සිදුකරන්නට ඇති බවය. මේ අපට අහම්බෙන් මෙන් වාර්තා වූ සිදුවීම් කිහිපයක් පමණි. සත්‍ය තත්ත්වය මීට වඩා දරුණු නොවෙතැයි පැවැසීමට හැකියාවක් අපට ඇත්තේ නැත. (උපුටා ගැනීම : ලක්බිම)

පසුගිය දිනක, ලොව සුප්‍රකට සමාජ ජාල වබේ අඩවිය වන “ෆේස් බුක්” වබේ අඩවිය හිමි “ෆේස් බුක් සමාගම” අපූරු හෙළිදරව්වක් කළේය. අන්‍යයන් පිළිබඳව නොව තමන් පිළිබඳවම සිදුකළ මේ අනාවරණයෙන් ඔවුන් පැවසූයේ මේ වන විට බිලියනයකට ආසන්න තම සාමාජිකයන් අතුරෙන් මිලියන 83ක්ම සැබවින් සිටින්නන් නොවන බවය. එනම් ෆේස් බුක් ගිණුම් අතුරෙන් මිලියන 83ක්ම සැබවින්ම පවත්වාගෙන යන්නේ සැබවින්ම එහි සඳහන් පුද්ගලයන් විසින් නොවන බවය. ඒවා විවිධාකාර නාඳුනන පුද්ගලයන් හෝ ආයතන විසින් විවිධ අරමුණු උදෙසා පවත්වාගෙන යන ගිණුම්ය. නැතහොත් විවිධ නරක අරමුණු උදෙසා භාවිතා වන ගිණුම්ය.

තරමක පුදුම සහගත වුවත් මේ කතාව කියන්නේ වෙන කිසිවෙක් නොව, ෆේස් බුක් සමාගමම නිසා එය ඇත්තක් බවට වාද විවාද ඇත්තේ නැත. එසේ නමුදු වෙනත් ස්වාධීන සමීක්ෂණ ආයතන හා අන්තර්ජාල විශේෂඥයන් පවසන්නේ ෆේස් බුක් සමාගම ලෝකයාට පෙන්වන මේ ඉලක්කම “සැර බාල කර” සාදාගත් කතාවක් මිස සැබවින්ම පවතින ව්‍යාජ ගිණුම් සංඛ්‍යාව නොවන බවය. මාක් සූකර්බර්ග් ෆේස් බුක් සමාගමට තමන් පිළිබඳවම තක්සේරුවක් ලෝකයාට ඉදිරිපත් කරන්නට සිදු වූයේ ෆේස් බුක් වබේ අඩවියේ ඇති ව්‍යාජ ගිණුම් හරහා සිදුවන සමාජ අපරාධ පිළිබඳව බොහොමයක් පාර්ශ්වවලින් දැඩි චෝදනා එල්ල වීමත් සමගය. එනම් ෆේස් බුක් සමාගම මෙවැනි හෙළිදරව්වක් කළේ “බැරිම තැන හන්දියට” පැමිණීමෙන් පසුවය.
අපේ ලංකාවේ වුවද මෙම ෆේස් බූක් හරහා නොයෙකුත් අපරාධ මුදා හරිණු ලබයි. මෙහි අද ප්‍රධාන වන්නේ ආගම සම්බන්ධයි. බොහෝ ජාතිවාදී අදහස් හා බොරු ප්‍රචාරයන් ඉතා ඉක්මනින් පතුරුවා හැරීමේ මාර්ගයක් ලෙස මෙය පවිච්චිවේ. සමහරු සිංහ රූප වලින්ද තවත් සමහරු ආගමික නාමයන් වලිද පෙනී සිට මෙම ජාතික ව්‍යසනය ගජ වාසියට කරගෙන් යයි. කිසිම ඉරිකිතයක් නැතුව අන්‍ය ජාතීන්ට හා  ආගමික නායකයන්ට අසැබි වචන වලින් බැන වැදීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. සමහරුන්ට තමන්ගේ මානසික ආතතිය මුදවාගැනීමට මෙවනි ආකාරයේ ආගම් හා ජාතීන් අතර ගැටුමක් ඇති කරන අකාරයේ දේවල් මෙම ෆේස්බුක් ගිණුම් මගින් මුදා හරිනු ලබයි.


මේ වන විට ෆේස් බුක් වබේ අඩවියේ සාමාජිකයින් සංඛ්‍යාව බිලියනයකටත් වඩා වැඩි අගයක් ගනී. ආරම්භයේ සිට මේ දක්වා යෙදුණු “ෆේස් බුක් ලයික්”  සංඛ්‍යාව ට්‍රිලියන 1.13කි. හුවමාරු වී ඇති ඡායාරූප මිලියන 220ක් පමණ වෙයි. ඊට අමතරව ඡායාරූප මිලියන 300ක් අලුතෙන් ෆේස් බුක් වෙත එකතුවෙයි. මේ යෝධ සංඛ්‍යාවලින් ෆේස් බුක් වෙත කෙතරම් පිරිසක් වහ වැටී ඇත්දැයි සිතා ගැනීම අපහසු නොවේ.
ෆේස් බුක් වබේ අඩවිය තුළ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ නමින් පවත්වාගෙන යන ගිණුම් 20ට අධිකව අපට හමුවිය. ජනප්‍රිය නිළි අනර්කලී ආකර්ශාගේ නමින්ද ෆේස් බුක් ගිණුම් 20ට අධිකව පවතී. උපේක්ෂා ස්වර්ණමාලි ගේ නමින් ගිණුම් 15කි. රන්ජන් රාමනායකගේ නමින්ද ගිණුම් 15ක් පමණ හමුවේ. යොවුන් ගායිකා නටාෂා පෙරේරාගේ නමින් පවත්වාගෙන යන ගිණුම් 10ක් පමණ හමු විය. (උපුටා ගැනීම: ලක්බිම)

කෙසේ වෙතත් ඊජුප්තුව වැනි ඒකාධිපති පාලකයන් සිටී රටක ඔවුන් පලවා හැර ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් අත්පත් කරගැනීමට ෆේස්බූක් මගින් සිදුවූ සේවය අති මහත්ය. සෑම සමාජයකම හොඳ මෙන්ම නරක අය සිටිනවා වගේ ෆේස්බූක් සමාජයේත් එය එසේමය. මිතුරා සතුරු කරගැනීමත් සතුරා මිතුරු කරගැනීමත් තමන්ගේම ස්වබුද්ධියෙන්ම සිදුවන්නක් බව කවුරු කවුරුත් සිතට ගෙන ක්‍රියාකළ යුතුව ඇත.

නවීන අබු ජහීල් වරු ( Modern Abu Jahal)


නවීන අබු ජහීල් වරු 
( Modern Abu Jahal)

අබු ජහීල්  යනු ඉස්ලාමීය ඉතාහාසයේ විශේෂයෙන් මුහම්මද් නබි තුමාගේ (එතුමාට ශාන්තිය හා  සමාදානය ඇති වේවා) කාල වකවානුවේ මුස්ලිම් වරුන්ට විරුද්ධව කැරලි ගැසූ හා මුස්ලිම්වරුන්ට විරුද්ධව මහා පරිමාණ බොරු ප්‍රචාරයේ නියැලුනු චරිතයකි.

එදා මක්කා නගරයේ විශේෂ තැනක් උසුළු රදල පරම්පරාවෙන් පැවතෙන්නන්ගෙන් කෙනෙකි අබු ජහල්. එපණක් නොව ඔහු   මුහම්මද් නබි තුමාගේ (එතුමාට ශාන්තිය හා සමාදානය ඇති වේවා) ආශිම් කුලයට  අයත්ය.

මොහු එදා මුස්ලිම්වරුන්ට විශාල තර්ජනයක් වූ අතර මුස්ලිම්වරුන්ව නානාවිද හිංසන පීඩනයන්ට පත් කල පුද්ගලයකි. නබිතුමාගේ සියලුම කාර්යයන්ට මොහු බාධා කල අතරම නබි තුමාගේ අනුගාමිකයන්ව ඝාතනයද කරන්නට විය. මොහු මොහුගේ අපරාධයන් ආරම්භ කලේ මුස්ලිම් කාන්තාවක් ඝාතනය කිරීමෙනි. 

මේසා විශාල අපරාධ හා කූට උපක්‍රම යෙදුවත් ඔහුට ඉස්ලාමය ජයගැනීමට නොහැකි වූ අතර අවාසනා වන්ත අවසානයකට ඔහුට මුහුණ දීමට සිදුවූ බව සියලුම අය දන්නා කාරණයකි.

මොහුගේ සත්‍ය නම උමර් බින් හිශාම්වේ. මොහු එදා අඳුරු යුගයේ (අයියාමුල් ජාහිලියා) අඥානයන්ගේ නායකයා වූ බැවින් ඔහුට අබු ජහල් හෙවත් අඥානයන්ගේ පියා (මෝඩයන්ගේ පියා)යනුවෙන් ඔහුව ආමන්ත්‍රණය කරන ලදී. 

මොහුගේ මෙම තත්වයට හේතුව ලෙස ඉතිහාසඥයයින් දක්වන්නේ පහත කරුණුය.

* ඔහු සාතාන්ගේ මිත්‍රයකි එනිසා ඔහු සියලුම අංශයන්හි ඉස්ලාමයට හා මුස්ලිම්වරුන්ට විරුද්ධව 
   ක්‍රියා කළා
* සත්‍ය දැන දැන එයට විරුද්ධව කැරලි ගැසූ නම්රූද්, ෆිරවුන් වැනි භයානක පුද්ගලයකි.
* ඔහුට ඉස්ලාමය නිසා ඔහුගේ නායකත්වය අහිමිවේ යන බිය තිබු බැවින් ඉස්ලාමයට විරුද්ධ වුනා.
* බොරු ආටෝපය සහ ගෞරවය
* වෛරය, ක්‍රෝධය, මානසික ආතතිය.
* ඔහුගේ වස්තු තණ්හාව
* වහල්භාවයේ සිටින්නන්ට සහන සැලසීමට සිදුවීම
* තවදුරටත් දුප්පතුන්ට හා පීඩිතයන්ට අයුක්ති සහගතව ක්‍රියා කල නොහැකි වීම හා ඔවුන්ගේ ශ්‍රමය 
   සුරා කෑමට නොහැකිවීම.
* අසික්කිත හා අසීලාචාර ක්‍රියාවන් නතර කිරීමට සිදුවීම. (මත්පැන් වැනි)


මෙහිදී අප පෙන්වාදීමට අදහස් කරන්නේ අද නවීන යුගයේ වුවද නොයෙක් ආකාරයේ අබු ජහල් වරු ඉස්ලාමයට හා මුස්ලිම්වරුන්ට විරුද්ධව ක්‍රියාකරන අතර ඔවුන් නවීන අබුජහීල් වරු වන නිසා ඔවුන්ගේ ස්වරුපය වෙනස් විය හැකිය. එනම් මෑතකදී ලක්ෂ ගණනින් මුස්ලිම් වරු මරා දැමු ජෝජ් බුෂ් වුවද නවීන අබුජහල්ය. ඔහුගේ බල තණ්හාව හා වස්තු තන්හාවම මෙයට හේතුවයි. 
මීට අමතරව මුස්ලිම් වරුන්ගේ දියුණුව නොරුස්සන සමහර නවීන් අබුජහල් වරු මුස්ලිම්වරුන්ගේ ගෞරවය කෙලසන විදිහේ බොරු ප්‍රචාර කරගෙන යයි. තවඳ එය ඔප්පු කිරීමට කූට උපක්‍රම යොදා මුස්ලිම්වරුන්ව උසිගන්වයි. 


ඉතා සමීපව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකුවන රන්ජන් රාමනායකද එවන් චරිතයක් විය හැකිය. තමන්ගේ අඥානභාවය ප්‍රදර්ශනය කරමින් සවුදි අරාබියේ ගෘහ සේවයේ යෙදී සිටින කාන්තාවන් ලිංගිකව අපයෝජන කිරීමට එහි ඇති ෂරීයා නීතිය ඉඩ සලසා ඇතිබවට පාර්ලිමේන්තුව තුල පට්ටපල් බොරු චෝදනාවක් කළේය. එසේ නම් ශ්‍රී ලංකාවේ වැඩිම විදේශ අදායමක් ලබා දෙන අපේ අම්මලා අක්කලා නංගිලා ලක්ෂ ගණන් ලිංගිකව දුෂණය කරන බව දැන දැනම අපේ රජය ඔවුන්ට අරාබි රටවල් වලට යාමට අවසර දී තිබේද? යන ප්‍රශ්නය ගොඩ නැගෙන අතර විදේශ සේවා කාර්යාංශය ඒ සඳහා අපේ කාන්තා පක්ෂයට පාඨමාලා මගින් පුහුණු කරනවද?. මෙයින් ඔහුගේ බුද්ධි මට්ටම ඉතා පැහැදිලිය. ඔහු චිත්‍රපටි තුලින් යථාර්තය දකින්න උත්සහ කිරීම මෝඩකමක් ලෙස දැනගැනීමට තරම් මොහුට ඥානයක් තිබේද යන්න ප්‍රශ්නයකි.

ශ්‍රී ලංකාවේද මෑතකදී සිට මුහුණු පොතේ හා වෙබ් අඩවි වල ඉස්ලාම් විරෝධී බොරු ප්‍රචාර විශාල සංඛ්‍යාවක් දකින්නට ලැබෙන අතර සමහරු මෙය තමන්ගේ විනෝදාංශයක් ලෙසද හරවා ගෙන ක්‍රියා කරයි. මුහුණු පොතේ හෝ වෙබ් අඩවිවල ඉතා නින්දිත ලෙස ඉස්ලාමයට හා මුස්ලිම්වරුන්ට බොරු චෝදනා එල්ල කරන සමහර නවීන අබුජහල් වරු සිංහයකුගේ රූපයෙන් හෝ යම් දහමක සංකේතයක් යොදා මුස්ලිම්වරු කුපිත කරන ආකාරයට ක්‍රියා කරමින් සිටීම අති භයානක තත්වයකි. මොවුන්ගේ බොරු ප්‍රචාරයන් නිසා යහපත් අන්‍ය ආගමිකයන්ගේ ප්‍රශ්නාර්ථයන්ට මුස්ලිම් වරුන්ට මුහුණ පෑමට සිදුවෙයි.

අවාසනාවකට මෙන් අපගේ සමහර නාමික මුස්ලිම් වරු හෝ උපතින් මුස්ලිම් බවට පත් අය මේවා දැක ආවේගවන අතර  කුමක් කලයුතුද යන්න නොදැන මෙම නවීන අබු ජහල්වරුන්ගේ ක්‍රියා කලාපය අනුගමනය කරයි. පෙරලා ඔවුන්ට හා ඔවුන්ගේ ආගමික නායකයන්ට අසික්කිත ලෙස බැනවදින අතරම ඔවුන් මෙන් බොරු නම්වලින් පෙනී සිටියි. මෙය ඉස්ලාම් විරෝධී ක්‍රියාවන්ය. ඉස්ලාමයට අනුව බොරු කීම එකට එක කිරීම කෙනෙකුට අපහස කිරීම් පාපක්‍රියාවන්ය.

මුහම්මද් නබි තුමාගේ (එතුමාට ශාන්තිය හා සමාදානය ඇති වේවා) හදීසයකින් මෙසේ කියවෙයි

 "අල්ලාහ් හා පරමාන්තය ගැන විශ්වාස කල මිනිසා හොඳ දෙයක්ම කතා කරන්න. නැත්නම් නිශ්ශබ්දව සිටින්න" (බුහාරි)

අල්ලාහ්ට කීකරුව ජීවත්වන විශ්වාස වන්තයෙක් තමාගේ ජීවිතය හැඩ කිරීමට අවශ්‍ය ගති ගුණාංගවලින් "සත්‍ය කතාකිරීම" ඉතාමත් උතුම් ගතිගුණයකි. මෙය මිනිසාව තැන්පත්භාවයට පත්කරන කුසලකි. සත්‍ය කතාකරන විශ්වාසවන්තයින් තුල අවංකකම, නීතිගරුකබව ඇතිවේ යන්න පැහැදිලිය.  සත්‍ය කතාකිරීම විශ්වාසවන්තයෙකුගේ ගතිගුණයක් සේම  අසත්‍ය කතාකිරීම මුනාෆික් (කුහකයා) වරයකුගේ ගතිගුණයකි. 

"බොරු කියන්නා විනාශ වන්නේය" (අල් කුරාන් 51:10) 

මිනිසාගේ සියලු දුර්චරිතයන්ට පාදක වන්නේ බොරුකීමය. එය විශ්වාසවන්තයකුගේ හදවත අන්ධකාරයට ලක්කරයි. බොරු දෙඩීම නැවැත්වීම පව්වලින් නිදහස් වීමට හේතුවේ.
"ඔබ සත්‍යයම පිළිපදින්න. එය ඔබව කුසල් පිරී මගකට යොමුකරයි. ඒ මග ඔබව ස්වර්ගය කරා යොමුකරයි." (අල් කුරානය)

එසේ නම් අප මොවුන් සමග ක්‍රියා කලයුත්තේ කෙසේද?

අප මෙහිදී පෙන්වාදීමට උත්සහ කරන්නේ මේ සියලු දෙනා අබු ජහල්ගෙන් පැවත එන්නන් අතර මුහම්මද් තුමා හා සහභාවරු ක්‍රියාකළ ආකාරයෙන්ම ඔවුන්ගේ විෂයෙහි ක්‍රියාකළ යුතුය යන්නය. අල්කුරානයේ මෙසේ සඳහන්වේ.
" තවද නිෂ්පල කතා ඔවුන් ශ්‍රවණය කලේ නම් ඔවුහු එයින් තුරන්ව, අප කළ කම් අපටය. නුඹලා කළ කම් නුඹලාටය. නුඹලාට සාමය වේවා! අඥානයින්ගේ මඟ අපි නොපිලිපදිමුයි කියති"  (28:55)


අසභ්‍ය වචන පාවිචි කරන්නන් අඥානයින් බව ඉතා පැහැදිලිව මෙහි අල්ලාහ් සඳහන් කර ඇති අතර අප කල යුත්තේ ඔවුන්ට පිළිතුරු නොදී සිටීමය. මුස්ලිම් සහෝදරයකු ඔහුගේ ආවේගයට ඉඩදී අබුජහල් වරයකුට ඔහු මෙන්ම පිළිතුරු දීමට තැත්කිරීම අල්කුරණයට විරුද්ධව යාම වන අතරම මුස්ලින්වරුන්ව අපහසුතාවයට පත්කිරීමද වේ. 

මුහම්මද් නබි තුමාගේ (එතුමාට ශාන්තිය හා සමාදානය ඇති වේවා) තවත් හදීසයකින් මෙසේ කියවෙයි.

"නිරයේ වාසීන් වර්ග පහකට වෙන්වේ. ඔවුන්ගෙන් සමහරු ලෝබයන්, බොරුකාරයන් හා කවුරු වෙනත් පුද්ගලයන්ව නින්දාවට පත් කිරීමට අසික්කිත ලෙස අසභ්‍ය වචන පාවිච්චි කරන්නේ ඔවුන්ය.(මුස්ලිම් ග්‍රන්ථයෙන්) 

තවත් හදීසයක් මෙසේද සඳහන්වේ.

මතක තියා ගන්න, විනිශ්චය දිනයේ අල්ලාහ් ඉදිරියේ සිට ගන්නා ඉතා නින්දිතම පුද්ගලය වන්නේ, අසභ්‍ය හා නින්දිත වචන කතා කරන අයයි. ඔවුන් කවුරුන්ද යත් ඔවුන්ගේ මුවින් අපරාධ කරන්නන්ය එනම්, ඔවුන්ගේ මෙම නින්දිත අසභ්‍ය වචන පාවිචිය නිසා අන් අය ඔවුන්ගෙන් දුරස් වනු ඇත."   
(බුහරී ග්‍රන්ථය)

කෙසේ වෙතත් අප කාරුණික මුහම්මද් නබි තුමා (එතුමාට ශාන්තිය හා සමාදානය ඇති වේවා) අබුජහල් වෙනුවෙන් ඔහුගේ යහපත වෙනුවෙන් ප්‍රර්ථනා කළහ. ඔහුටද යහමඟ ලැබිය යුතුය යන්න ඒ උත්තම සත්පුරුශයානන්ගේ කැමැත්ත විය. එවැනිම මුහම්මද් තුමාව මරා දැමීමේ චේතනාවෙන් පැමිණි අයකි උමර් තුමා. නමුත් මුහම්මද් තුමාගේ ප්‍රාර්ථනාව හේතුවෙන් උමාර් තුමාට යහමාර්ගය ලැබුණි. එසේනම් අපෙන් කියෙන් කී දෙනාද මෙම නවීන අබු ජහල්ලා වෙනුවෙන් ප්‍රර්ථනා කරන්නේද?

ඊළඟ වැදගත්ම දේ වන්නේ ඔබ නොදන්නා දෙයක් ගෙන ඔවුන් අසනවා නම් ඒ පිළිබඳව මනා දැනුමක් නොමැතිව එයට පිළිතුරු නොදිය යුතුය. ඔවුන් විසින් යොමු කරන සියලුම ප්‍රශ්න අලුත් ප්‍රශ්නයන් නොවේ. සෑම ප්‍රශ්නයකටම පිළිතුරු ඇති අතර එය සොයාගත යුතුය. ඒ සඳහා වැඩි වැඩියෙන් අල් කුරානය සහ හදීස් කියවීම පුරුද්දක් හැටියට ගත යුතුය.  අද  අපට බොහෝ වෙබ් අඩවි මාර්ගයෙන් ඉස්ලාමිය අදහස් හා ප්‍රශ්නවලට පිළිතුරු සිංහල මාධ්‍යයෙන්ම තිබෙන අතර ඒ තුලින් ඔබේ ඉස්ලාමීය ඥාණය දියුණු කල හැකිය.
එයින් සමහරක්.

* http://www.anvermanatunga.com
* http://yahamaga.com
* http://www.yayuthumaga.com 
* http://islaamaya.blogspot.com

එසේ ඔබට යමක් සොයාගැනීමට නොහැකි වූ විට ඔබ දුක්විය යුතු නැත. ඔබේ උත්සාහයට අල්ලාහ්ගේ දායාදය අනිවාර්යයෙන්ම ඔබට ලබනු ඇත.

"අල්ලාහ් හා පරමාන්තය ගැන විශ්වාස කල මිනිසා හොඳ දෙයක්ම කතා කරන්න. නැත්නම් නිශ්ශබ්දව සිටින්න" (බුහාරි)

"ඔබ සත්‍යයම පිළිපදින්න. එය ඔබව කුසල් පිරී මගකට යොමුකරයි. ඒ මග ඔබව ස්වර්ගය කරා යොමුකරයි." (අල් කුරානය)

මැවීම් අතරින් ශ්‍රේෂ්ටතම මැවීම මිනිසාවේ. නමුත් සමහර මිනිස්සු ඒ  ශ්‍රේෂ්ටත්වය තමන්ගේ දිව නිසා අහිමිකරගනී. ඒ නිසා සීමාව ඉක්මවා යාමෙන් වැලකී සිටිය යුතුය. අවසාන වශයෙන් කිව යුත්තේ අප කොතෙක් කරුණු පහදා දුන්නද මොවුන්ගෙන් සමහරුනට පිළිගැනීමට අපහසුවන අතර අප කුපිත කිරීම සඳහා නැවත නැවත ඒ ආකාරයටම මොවුන් ක්‍රියා කරයි.


අල් කුරානය ඔවුන්ව පහත පරිදි සඳහන් කර ඇත. 

"ඔවුන්ට හෘදයන් ඇත, නමුත් ඔවුන් එමගින් අවබෝධ කර නොගනිති. ඔවුන්ට නෙත් ඇත නමුත් එමගින් ඔවුහු අවධානයෙන් නොබලති. ඔවුන්ට සවන් ඇත නමුත් ඔවුන් එමගින් ශ්‍රවණය කර නොගනිති.ඔවුහු තිරිසන් මනි, නැත, ඔවුහු එයටත් වඩා පහත්ය." (ශු අල් කුරානය 7:179).

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons